අපි අද කතා කථා කරන්න යන්නේ ටෙලි නාට්‍යවල ප්‍රධාන චරිත නොලැබුණු නමුත් අතුරු චරිත රඟපාලා මැකී නොයන මතකයක් අපේ හිත්වල තියලා සමු අරගෙන ගිය මිනිස්සු කීපදෙනෙක් ගැන. හැබැයි කලා ක්ෂේත්‍රයට නම් මේ අයව බොහොම ඉක්මනට අමතක වෙලා ගියා. කලා ක්ෂේත්රයේ ස්වභාවය ඒක වෙන්න පුළුවන්.
1. ගුණරත්න රංහොටී
අනුරාධපුර ප්‍රදේශයේ දුෂ්කර ගමක ඉපදුණු ගුණරත්න රංහොටීගේ ඇඟේම කලාව තිබ්බා. ඔහු ටෙලි නාට්‍ය ප්‍රේක්ෂකයන් අතර අතිශයින් ජනප්‍රියත්වයට පත් වුණේ කන්දෙගෙදර ටෙලි නාට්‍යයේ කාලගුණේ චරිතය රඟපෑම නිසා. කන්දෙගෙදර හාමිනේගේ කීකරු සේවකයා විදිහට කන්දේ ගෙදරට සේවය කරපු කාලගුණේ ඇතැම් අවස්ථාවල කන්දෙගෙදර දරුවන්ගේ ආදරයට, කෝපයට වගේම හිනාවටත් ලක් වුණා. ඉන්පසු ඔහු ටෙලිනාට්‍ය කීපයකට තමන්ගේ රංගන දායකත්වය ලබා දුන්නත් ඒ චරිතවලට කාලගුණේ චරිතය තරම් ජනප්‍රියත්වයක් ලැබුණේ නැහැ.
2. ජේ. එච් ජයවර්ධන
අපේ පරම්පරාවේ අයට නම් ජේ. එච්. ජයවර්ධන අමතක නොවන මතකයක් වෙන්නේ ඔහු ‘පිළිම වහන්සේ’ ඒකාංගික ටෙලි නාට්‍යයේ රඟපාපු ලොකු හාමුදුරුවන්ගේ චරිතය නිසා. මේ ටෙලි නාට්‍ය ගැන අදටත් බොහෝ දෙනෙක් කතා වෙනවා.නමුත් ජේ.එච් ජයවර්ධන කියන්නේ වේදිකා නාට්‍යවලට වගේම සිංහල සිනමාවටත් එකසේම දායකත්වය ලබා දුන් පුද්ගලයෙක්. ඔහු වතාවක් කියලා තියන විදිහට ‘අධිෂ්ඨානය’ චිත්‍රපටියේ ඔහුට හාමුදුරු නමකගේ චරිතයක් රඟපාන්න ලැබෙනවා. ඔහු තමන්ගෙ හිතමිත්‍ර භික්ෂුන් වහන්සේ නමක් මුණගැහෙන්න ගිහිල්ලා භික්ෂුවක් දින චර්යාව ගත කරන ආකාරය සම්පූර්ණයෙන්ම අධ්‍යයනය කරනවා. චරිතය රඟපාලා ඉවර උනාම අධිෂ්ඨානය චිත්‍රපටයේ නිර්මාණකරු වුණු සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහත්මයා ඔහු වැළඳ ගන්නේ “මචං මේ පාර නම් හොඳම සහාය නළුවා සම්මානය ෂුවර්” කියලා. සතිෂ්ගේ ඒ අනාවැකිය ටක්කෙටම හරි යනවා. ආර්. ආර් සමරකෝන්ගේ ‘කැලණි පාලම’ වේදිකා නාට්‍යයේ මැම්බර් මහත්තයා විදිහටත් ජේ. එච් මතක හිටින රංගනයක නිරත වෙනවා.
3. සේනක පෙරේරා
සේනක පෙරේරා මහත්මයා අපිට මුලින්ම මතකයේ රැඳී සිටින රංගනයක් ඉදිරිපත් කරන්නේ ‘ඉසිවර අසපුව’ ටෙලි නාට්‍යයෙන්. ඉන් පසුව ‘ඉංගම්මාරුව’ වගේ ටෙලි නාට්‍ය කිහිපයකම චරිත නිරූපණය කරනවා. ‘බහුබූතයෝ’ චිත්‍රපටයේ දී එතුමා හාස්‍යෝත්පාදක සහාය චරිතයක් රඟපානවා. ප්‍රවීණ ගී පද රචිකා යමුනා මාලනී පෙරේරා මහත්මියගේ සැමියා වූ ඒ මහතා 2003 වසරේ දී අප අතරින් හදිසියේම වෙන් වුණා.
4. ක්වින්ටස් වීරකෝන්
ක්වින්ටස් වීරකෝන් මහතා වේදිකාවේ, සිනමාවේ සහ ටෙලි නාට්‍යවල විවිධ චරිත රඟපෑවත් සාමාන්‍ය ජනතාව අතර එතුමා ජනප්‍රිය වුණේ S- Lon පයිප්ප බාස් විදිහට. නමුත් බොහෝ දෙනා නොදන්නවා වුණාට එතුමා ටවර් හෝල් යුගයේ නාට්‍ය ජනතාවට නැවතත් සමීප කරන්න සුවිශාල වැඩ කොටසක් කරපු පුද්ගලයෙක්. බොහෝ ටවර් හෝල් යුගයේ නාට්‍ය නව නිෂ්පාදන විදිහට කරළියට ගේන්න එතුමා කටයුතු කළා. දූ දරුවෝ, ඉංගම්මාරුව, නෝනාවරුනි මහත්වරුනි වැනි ටෙලිනාට්‍ය ගණනාවකට එතුමා තමන්ගේ දායකත්වය ලබා දුන්නා. බහුබූතයෝ චිත්‍රපටයේ මන්තර ගුරුකම් දන්න හාමුදුරුනමකගේ චරිතය එතුමා සිය අවසාන රංගනය වශයෙන් නිරූපණය කළා.
5. එල්සන් දිවිතුරගම
එල්සන් දිවිතුරගම මහත්මයාත් වේදිකාවට, සිනමාවට, ටෙලිනාට්‍යවලට දායකත්වය ලබා දුන් පුද්ගලයෙක්. ඒ වගේ ම එතුමා දක්ෂ හඬ කැවීම් ශිල්පියෙකුත් වුණා. එතුමා කෝපි කඩේ සහ ඉසිවර අසපුව ආදිය ටෙලි නාට්‍යවල සිදු කළ රඟපෑම් විශේෂයෙන් මතක් කළ යුතු වෙනවා. අතිශයින්ම විනෝදකාමී පුද්ගලයෙකු වූ ඒ මහතා තමන්ගේ නම දිවිතුරුගම ලෙස වරදවා උච්චාරණය කරන අවස්ථාවල එය වහා වහා නිවැරදි කරන්න කටයුතු කරලා තියෙනවා. නමුත් සිංහලත් ඉංග්‍රීසිත් එකට කලවම් කරගත් අපූරු භාෂාවකින් එදිනෙදා ජීවිතයේ කතා කරල තියෙනවා. “රට වටේම ගමනේෂන් ගිහින් හරි ටයර්ඩ්සම්” වගේ.
6. අසේල ජයකොඩි
දක්ෂ වේදිකා නාට්‍ය නළුවෙකු වූ අසේල ජයකොඩි ලංකාවේ ජනප්‍රියත්වයට පත් වෙන්නේ ටෙලිනාට්‍යය නළුවෙක් විදිහට. සිරි සිරිමල්, වසුදා, රෝමියෝ-ජුලියට්, ඉතින් ඊට පස්සේ වගේ ටෙලි නාට්‍ය ගණනාවකට ඔහු රංගනයෙන් දායකත්වය ලබා දෙනවා. සලෙළු වරම චිත්‍රපටයටත් ඔහු රංගන දායකත්වය ලබා දුන්නත් ඔහුගේ මතක හිටින සිනමා රංගනය අඩංගු වෙන්නේ ‘ගාමණි’ චිත්‍රපටය .රියදුරෙකුගේ නොසැලකිලිමත් රිය ධාවනය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස අනතුරකට ලක් වන අසේල හදිසියේ අප අතරින් සමු ගන්නවා.
7. කුමා අත්තනායක
ඉතාමත් අහම්බයකින් ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට පිවිසුණු කුමා අත්තනායක කෙටි කාලයක් තුළ ටෙලි නාට්‍ය ගණනාවකට රඟපෑමෙන් දායකත්වය ලබා දුන්නා. ඒ අතරින් සුජාතා ටෙලි නාට්‍යයේ රස්තියාදුකාරයකු ලෙස තමන් රඟපෑ රංගනය තමන්ගේ හොඳම රංගනය විදිහට ඔහු බොහෝ අවස්ථාවල ප්‍රකාශ කළ තිබුණා. වසුදා, සුජාතා, වහින්න මුතු වැස්සක් ඔහු රඟපෑමට එක් වූ ටෙලි නාට්‍ය කිහිපයක්. හදිසි හෘදයාබාධයකින් මියයන විට ඔහු ටෙලි නාට්‍ය කීපයක විවිධ චරිත රඟපාමින් සිටියා.
මේ වගේ නළුවෝ ගැන ඔබටත් මතක නම් ඒ අය ගැන ඔබේ මතක කමෙන්ට් සෙක්ෂන් එකේ අප සමග බෙදාගන්න.ඒ වගේම මේ ආටිකල් එක ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා.
Leave a Reply