ෆෝන් ලෝකේ කොච්චර ඉක්මනට වෙනස් වෙනවාද? අද ඊයේ වගේ මතක, අවුරුදු දෙකකට ඉස්සර වෙලා කැමරා හිල් දෙකක් ආපු අලුත්ම ෆෝන් වල දැන් කැමරා හිල් තුනක්ම එනවා. දැන් ඉතින් පොකට් කැමරා වලට ආයිබෝන් කියලා ෆෝන් කැමරා එකෙන් සෑහෙන වැඩක් ගන්න පුළුවන්. ඇයි මේ ෆෝන් වල කැමරා හිල් ගාණ එන්න එන්න වැඩිවෙන්නේ? මේකත් තවත් එක මාකටින් සෙල්ලමක් විතරයිද? නැත්නම් ඇත්තටම මේ කැමරා හිල් තුනෙන්ම මොනයම්ම හෝ වැඩක් වෙනවාද? මේ ගැන අපි ටිකක් සොයා බලන්න තීරණය කළා.
1. හිල් තුන එන ෆෝන්
අලුතින්ම ආ ඇපල් එකේ කැමරා සිදුරු තුනක් තියෙනවා. ඉතින් ඒ වගේම…
- Samsung Galaxy S10 and S10 Plus
- LG V50 ThinQ
- Xiaomi Mi 9
- Sony Xperia 1
- Huawei P30
- OnePlus 7 Pro
- ZTE Axon 10 Pro
- Redmi K20 Pro
කියන ෆෝන් ලැයිස්තුවේ කැමරා සිදුරු තුනක් එනවා. ඒ වගේම මෑතකදී නිකුත් වෙන ගොඩක් ෆෝන් වල දැන් කැමරා සිදුරු තුන සාමාන්‍ය දෙයක් වෙලා. කැමරා සිදුරු පිහිටන ආකාරය එකිනෙකාට ටිකක් වෙනස්. ඒ වගේම ඒඒ සිදුරු වලින් කරන කාර්යයත් එක එක ෆෝන් වලදි වෙනස් වෙනවා. කොහොම වුනත් කැමරාව කියන ගැජට් එකට ෆෝන් එක තුල වැඩි අවකාශයක් මේ කැමරා හිල් තුන මගින් ලැබෙනවා.
2. ඇයි මේ හිල් වැඩිවෙන්නේ?
කැමරාවක් ගත්තාම ෆෝන් එකට වඩා අනිවාර්යයෙන් ඒක ඝනකමින් පළලින් වැඩියි. ඉතින් ආලෝකේ හරියට කළමනාකරණය කරගෙන හසුරුවන්න සාමාන්‍ය එස් එල් ආර් හෝ මිරර්ලස් කැමරාවකදි ලොකු අවස්ථාවක් ඒවට හම්බෙනවා. ඒත් ෆෝන් එකක් කියන්නේ එහෙම කැමරාවක් මට්ටමට ලොකු කරන්න පුළුවන් භාණ්ඩයක් නෙමෙයි. ඒත් ඉතින් අපිට ෆෝන් එකෙන් ලොකු කැමරාවක් මට්ටමටම ලස්සන පිංතූර ගන්නත් උවමනා වෙනවා. ඒ කාරණාවෙදි ඇතුළට එන ආලෝකය සෙන්සර් කීපයක් හරහා හඳුනාගෙන ලස්සන ෆොටෝ අරන් දෙන්න ෆෝන් වල කැමරා හිල් තුනක් පාවිච්චි කරලා තියෙනවා.
3. කැමරා සිදුරු තුන හැසිරවීම
මිනිහෙක් හමුදාවකට බඳවාගන්න ගියත් මුලින්ම එයාගේ අතපය, මූණ, කඳබඩ හොඳට තියේද කියලා ශරීර තත්ත්වය බලනවා. ඉන් පස්සේ මනස හොඳට තියේද කියලා බලනවා. අතපය හොඳට තිබුනත් හොඳට මනස, ඔලුව වැඩකරන්නේ නැතිනම් ඒ කෙනා ඵලදායී වැඩකට යොදවන්න අමාරුයි. ෆෝනුත් ඒ වගේ. හරියට කැමරා සිදුරු තුනක් තිබිලා ඒවායෙත් ඉටිකිරිස් හොඳම සෙන්සර් තිබුන පලියටම කැමරාවෙන් හොඳ ෆොටෝවක් එන්නේ නැහැ. අපි ඡායාරූපයට අදාළ වස්තුවේ ආලෝකයට අදාළව ෆෝන් එක ඇතුලේ සෙටිංග්ස් ටික හදාගන්න ඕනි. ඉන් පසුව ඒ අනුව බිහිකරන පිංතුරය තමයි අපිට හැඩට පේන්නේ. ට්‍රිපල් කැමරාව, ට්‍රිපල් කැමරාව හසුරුවන කැමරා ඇප් එක වගේම මෘදුකාංගත් කැමරාවේ ෆොටෝ ලස්සන වෙන්න බලපානවා.
4. හාඩ්වෙයාර්
කැමරා ගාණ වැඩිවෙද්දි ෆෝන් එක ඇතුලේ තියෙන ග්‍රැෆික් සහ චිප්ස් වලටත් වැඩ ටිකක් වැඩි වෙනව. වෙනදා එක කැමරාවක ආපු සිග්නල් ආදිය කෙලින්ම පිංතුර බවට හරවපු ෆෝන් එකට දැන් කැමරා සිදුරු තුනකින්, තව තවත් සෙන්සර් වලින් එන තොරතුරු අනුව හැසිරෙන්න සිද්ධ වෙලා. ඒ නිසා ට්‍රිපල් කැමරා එක්ක එන අද ෆෝන් ගොඩකට සෑහෙන උඩ මට්ටමේ ග්‍රැෆික් සහ මූලික චිප් එනවා.
5. ෆොටෝ මාදිලි ගාණ වැඩි වීම
කැමරා සිදුරු තුනක් තියෙන ෆෝන් එකක සාමාන්‍යයෙන් එන මූලිකම වාසියක් තමයි ෆොටෝ මාදිලි ගාණ වැඩි වීම. අපිට කන්දක් උඩට නැග්ගාම ඇස්ගෙඩි දෙකට විසාල පළාතක් පේනවා. ඒ පේන විශාල පළාත කැමරාවට හසුකරගන්න වයිඩ් ඈන්ගල් ලෙන්ස් හරහා පුළුවන් වෙනවා. ඒ වගේම අපේ මූණේ තියෙන කැත අඩුකරලා ෆොටෝ ගන්න, මේක මූණක්ය කියලා අඳුනාගෙන තවත් ඒ මූණු ලස්සන කරන්නත් දැන් ෆෝන් කැම් වලට පුළුවන්. ස්ලෝ මෝශන් කැමරා පහසුකම වගේම නයිට් මෝඩ් ෆොටෝ ගන්න තියෙන අවස්ථාවත් කැමරා සිදුරු තුනක් හරහා වැඩිදියුණු වෙනවා. ඉස්සර වගේ ෆොටෝ වලින් ඉස්සරහට ගිහින් වීඩියෝ වලටත් ෆෝන් ලඟා වෙලා තියෙන නිසා දැන් වීඩියෝ වල ගැස්සීම් අඩු කිරීම, කලර් ටෝන් වෙනස් කිරීම වගේ පහසුකමුත් මේ හිල් තුනේ කැමරා ෆෝන් වලට ඇවිල්ලා තියෙනවා.
6. සූමින් හැකියාව සහ නයිට් ෆොටෝ
රෑට හෝ කළුවර පසුබිමකදි අපි ෆොටෝ ගන්නට තනන වස්තුවට වැටෙන්නේ ආලෝකය ටිකයි. ඒ මද ආලෝකය හින්දා පරණ ෆෝන් කැමරා වල නම් නයිට් ෆොටෝ කියන්නේ එච්චරම සාර්ථක දෙයක් නෙමෙයි. ඒත් දැන් ඇස් තුනකින් ලොව බලන ෆෝන් කැමරා වල නයිට් ෆොටෝ සෑහෙන දුරට හොඳට තියෙනවා. සූමින් ගැන කතා කළොත් කොච්චර කළත් ෆෝන් කැමරාවට ඉතින් ඈත ගහක් උඩ අඹයක් කන කුරුල්ලෙක් පැහැදිලිව ෆොටෝ ගහන්න හැකි මට්ටමට නම් සූමින් දියුණු වෙලා නැහැ. ඒත් ගෙදර බල්ලාගේ සෙල්ලම් ටිකක්, ඈත ඉන්න යාලුවෙක්ගේ වැඩ කිඩ වගේ පොඩි දුරකට ෆොටෝ එකේ කොලිටිය අඩු නොවී සූම් කරගන්න හැකියාව මේ ඇස් තුනේ කැමරා ෆෝන් වලට ඇවිල්ලා තියෙනවා.
7. ඉතින් අපිටත් ලොකු ගාණක් දීලා හිල් තුනකට යන්න වෙයිද?
ඔබ අවසාන වරට ෆෝන් කැමරාවෙන් ෆොටෝවක් ගැහුවේ කවදද? ඒ වගේම සාමාන්‍යයෙන් සතියකට මාසෙකට කී වතාවක් ෆෝන් කැමරාව පාවිච්චි වෙනවාද? ඇත්තටම ගත්තොත් ෆෝන් එකේ කැමරාවට වහ වැටිලා ෆෝන් ගත්තාට සමහර උදවියගේ කැමරාව පාවිච්චි වන්නේ නැතිම තරම්. එහෙම කැමරා ගාය නැති කෙනෙක්ට නම් පිටුපස්සේ කැමරාව කොටසට තව හිලක් එකතු වීමේ ලොකු ලල් එකක් දැනෙන එකක් නැහැ. ඒ වගේම තවත් අය ඉන්නවා එයාලට ෆෝන් එකේ තියෙන වටිනාම වස්තුව තමයි කැමරා එක. ඉන්ස්ටා, එෆ් බී, ට්විටර්, වට්සැප් ආදී හැමතැනම ෆොටෝ වලින් ගනුදෙනු කරන්න එයාල හරි ආසයි. ඉතින් ඒ වගේ දෙවනියට කිව්ව ෆොටෝලෝලී කෙනෙක්ට නම් සල්ලි ලොකුවට අවුලක් නැත්නම් අලුත් ට්‍රිපල් කැම් ෆෝන් එකකට යන එක වාසියක් වෙයි.
ෆොටෝ ගැහීම කියන්නෙ තවදුරටත් මහ විසාල මැජික්ස් එකක් නෙමෙයි. රීල් දාලා ඉස්සර කරකවලා අමාරුවෙන් ආම්බාං කරපු කැමරා කියන දේ අද ෆෝන් එකටත් ඇවිත්. කැමරා එකක් නෙමෙයි, දැන් සිදුරු තුනකින් ම කැමරා ෆෝන් ඇවිත්. මේ එක්ක තවත් කැමරාවක් උවමනා නොවන තරමට ෆෝන් එක එදිනෙදා ට්‍රැවල් කැමරාවක් විදිහට පාවිච්චි කරන්නත් අද පුළුවන් වෙලා තියෙනවා. ඉතින් ට්‍රිපල් කැම් ගැන පොඩි හරි දෙයක් ඔයාලට මේ හරහා දැනගන්න ලැබෙන්න ඇති කියලා ලයිෆි අපි විශ්වාස කරනවා.
Leave a Reply