ලැප්ටොප් එකේ බැටරියෙන් පුළුවන් උපරිම කාලයක් ප්‍රයෝජන ගන්නේ මෙහෙමයි!

දැන් කාලේ වෙනකොට ලැප්ටොප් කම්පියුටර් එකක් කියන්නේ ඔය ඉහළ අධ්‍යාපනය ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ඉඳලා වෘත්තිකයෝ දක්වා හැමෝගේම පරිහරණයට වෙන් වුණු උපාංගයක්නේ. ලැප්ටොප් කම්පියුටර් එකක් එහා මෙහා ගෙනියන්න තියෙන ලේසිය නිසාම ගොඩක් අය ඩෙස්ක්ටොප් කම්පියුටරයක් ගන්නවට වඩා ලැප්ටොප් එකක් ගන්න නැඹුරුවක් තියෙනවා. අනික හැම වෙලේම කරන්ට් එකට ගහලා වැඩ කරන්න ඕනැත් නැහැනේ. කැම්පස් එකේ තෙල් බැම්ම උඩ වාඩි වෙලා උනත් හදිසි වැඩක් කරගන්න ඕන වුනොත් ටක් ගාලා ලැප්ටොප් එක ඔන් කරලා කරගත්තැහැකි. හැබැයි ලැප්ටොප් පාවිච්චි කරන අය දන්නවා ලැප්ටොප් වලට වැළඳෙන පොඩි ලෙඩක් ගැන. ඒ තමයි ලැප්ටොප් එකේ බැටරි ආයුකාලය අවුරුදු කීපෙකට පස්සේ පොඩ්ඩක් අබ්ලික් වෙන්න පටන් ගන්නවා කියන එක. ඒ කියන්නේ එක පාරක් චාර්ජ් වුනාට පස්සේ අල්ලලා හිටින පැය ගාණ ටික ටික අඩු වෙන්න පටන් ගන්නවා. අන්තිමට විනාඩි දහයකට පහළොවකට වඩා බැටරියෙන් කම්පියුටරේ ඔන් කරලා තියාගන්න බැරි ලෙවල් එකකට එනවා. එතනින් පස්සේ බැටරිය ගහලම යනවා. ඊට පස්සේ ලැප්ටොප් එකෙන් වැඩ කරන්න නම් කරන්ට් එකට ප්ලග් කරලා තියන්නම වෙනවා. එතකොට විසඳුම වෙන්නේ අලුත් බැටරියක් දාන එක තමයි.

ලැප්ටොප් එකේ තියෙන ඔය ප්‍රශ්නයට විසඳුමක් නැති වුනත්, ලැප්ටොප් එකේ බැටරියේ ආයුකාලය උපරිමයෙන් දීර්ඝ කරගන්න අපිට කරන්න පුළුවන් දේවල් නං තියෙනවා. ආන්න ඒ ගැන තමයි මේ කියන්න යන්නේ!

 

1. බැටරිය චාර්ජ් කරන චක්‍ර ගාණ අඩු කරමු

සාමාන්‍යයෙන් නැවත නැවත ආරෝපණය කරන බැටරි කිව්වට මේවා වලටත් සීමාවක් තියෙනවනේ. ගොඩක් දුරට මේ සීමාව වෙන්නේ නැවත ආරෝපණය කිරීම් චක්‍ර 500 ක් හෝ ඊට වැඩි ගාණක්. මේ එක චක්‍රයක් නැතිනම් සයිකල් එකක් කියන්නේ බැටරිය සීයේ ඉඳලා බිංදුවට බැහැලා, ආයෙමත් සීය දක්වා සම්පූර්ණයෙන් ආරෝපණය කිරීමක් තමයි. දැන් එතකොට ඔය සීයේ ඉඳලා බිංදුවට යන්න ගත වෙන කාලය ඇතුළත වඩාත් වැඩි වැඩ ප්‍රමාණයක් කරගන්න සැලසුම් කළොත්, තියරියේ විදියට සයිකල් ගාණ සම්පූර්ණ වෙන්න යන කාලයත් වැඩියි. එතකොට වැඩි කාලයක් ලැප්ටොප් එකේ බැටරියෙන් වැඩ ගන්න පුළුවන්! 

මෙන්න මේක වෙනුවෙන් කරන්න පුළුවන් එක දෙයක් තමයි ලැප්ටොප් එකේ පවර් සෙටින්ග්ස් වලින්, ලැප්ටොප් එක වැඩ නොකර යම් කිසි වෙලාවක් තියෙනකොට ඒක ඔටෝ හයිබර්නේට් වෙන්න සැකසුම් කරන එක. එතකොට අපි පැයක් විතර ලැප්ටොප් එක දාලා ගිහින් තිබ්බොත් ඔහේ බැටරියෙන් ක්‍රියාත්මක වෙවී තියෙන්නේ නැතුව, අපි කර කර හිටපු වැඩ ටික සේව් වෙලා ලැප්ටොප් එක ඕෆ් වෙනවා. 

 

2. පවර් සේවර්

විශේෂයෙන්ම වින්ඩෝස් 10 මෙහෙයුම් පද්ධතියත් එක්ක එන පහසුකමක් තමයි “Power saver” කියන්නේ. සාමාන්‍යයෙන් නම් ලැප්ටොප් එකේ බැටරි බලය 20% ට බැස්ස ගමන් පවර් සේවර් මෝඩ් එක ඔන් වෙනවා. ඒකෙන් ස්ක්‍රීන් එකේ බ්‍රයිට්නස් අඩු කරලා, බැක්ග්‍රවුන්ඩ් එකේ ක්‍රියාත්මක වෙන අත්‍යාවශ්‍ය නොවෙන ඇප්ස් නවත්තලා දාලා, ඔය අනං මනං නෝටිෆිකේෂන් එහෙම නවත්තලා බැටරියේ බලය පුළුවන් තරම් සකසුරුවම් විදියට පාවිච්චි කරන්න සෙට් කරලා දෙනවා. මේ පවර් සේවර් ඔප්ෂන් එක ක්‍රියාත්මක වෙන්නේ බැටරියේ බලය කොයි ප්‍රමාණයට ආවහමද කියන එකත් ලැප්ටොප් එක පාවිච්චි කරන කෙනාට ඕන විදියට සැකසුම් කරන්න පුළුවන්. ඉතින් මේ සේවාව ඔන් කරලා තියෙන එක බොහෝම වැදගත් කාරණාවක්.

 

3. බ්‍රයිට්නස්!

සමහරු ඉන්නවා ඒ අයට ලැප්ටොප් කම්පියුටර් එකක බ්‍රයිට්නස් තියෙන්න ඕන 100% ක මට්ටමේ. ආයෙ ස්ක්‍රීන් එක දිහා බැලුවහම ඇස් කඩාගෙන යනවා. හැබැයි ඉතින් ලැප්ටොප් කම්පියුටර් එකක බ්‍රයිට්නස් මේ තරම් වැඩි කරන්න කිසිසේත්ම වුවමනාවක් නෑ. ඒ කියන්නේ දැඩි හිරු එළියේ හිටියත් එච්චර බ්‍රයිට්නස් වැඩි නොකර පහසුවෙන් වැඩ කටයුතු කරගන්න පුළුවන්. ආන්න ඒ නිසා ලැප්ටොප් එකේ බ්‍රයිට්නස් පුළුවන් තරම් ඇහැට සුවදායක අඩු මට්ටමක තියාගන්න එක වටිනවා. ඒ වගේම තමයි ඔය ෆිල්ම් එකක් එහෙම ඩවුන්ලෝඩ් වෙන්න දාලා නිදාගන්නවා නං, ඒකට හරියන වෙනම පවර් සෙටින්ග් එකක් හදලා තියන එක හොඳයි. ඒ කියන්නේ පැයකින් ඔටෝ හයිබර්නේට් වෙන එක ඩිසේබල් කරලා, හැබැයි වඩා අඩු වෙලාවක් ලැප්ටොප් එක වැඩ නොකර තියෙනකොට ස්ක්‍රීන් එක ඕෆ් වෙන්න සෙටින්ග්ස් හදලා, ස්ක්‍රීන් එකේ බ්‍රයිට්නස් වුනත් බිංදුවටම අඩු කරලා තියෙන කස්ටම් පවර් සෙටින්ග් එකක් මේ වගේ වෙලාවකට හදන්න පුළුවන්.

මේ බ්‍රයිට්නස් අඩු කරන නැටුම් ටික නටන්න හේතුවක් තියෙනවා. ලැප්ටොප් එකක ස්ක්‍රීන් එකට සැලකිය යුතු බැටරි ප්‍රමාණයක් යනවා. බ්‍රයිට්නස් වැඩි වෙනවා කියන්නේ ඒකට යන බැටරි බලයත් වැඩි වෙනවා කියන එක!

 

4. වැරදි මත දුරු කරමු

ඉස්සර තිබුණු රීචාර්ජබල් බැටරි වල තිබුණු අවුලක් තමයි 50% ක් වගේ තියෙනකොට චාර්ජ් කළොත්, ඊලඟට චාර්ජින් සයිකල් එකක් පටන් ගන්නේ 50% න් වීම. ඒ කියන්නේ වඩාත් ඉක්මනට බැටරියේ චාර්ජින් සයිකල් ගාණ ක්ෂය වෙලා යනවා. හැබැයි දැන් තියෙන ලිතියම් ඉයෝන් බැටරි වල හෝ ඊටත් වඩා නවීන බැටරි වල එහෙම ප්‍රශ්නයක් නෑ. අන්න ඒ නිසා කෙනෙක් ලැප්ටොප් බැටරියක් චාර්ජ් එකට ගහන්න කලින් බිංදුව වෙනකල්ම බස්සන්න ඕන කියලා නියමයක් නැහැ. බැටරිය 50% තියෙන කොට චාර්ජ් කළොත්, ඒකෙන් කියන්නේ චාර්ජින් සයිකල් බාගයක් සම්පූර්ණ වුනා කියන එක විතරයි!

දැන් ඔන්න ඔය පරණ බැටරි තාක්ෂණය ගැන තියෙන මත වල එල්ලිලා, වැරදි බැටරි භාවිතාවන් නොකරන එක බැටරියේ ආයුකාලය දීර්ඝ කරගන්න ප්‍රයෝජනයක් වෙනවා. ඒ කියන්නේ 0% එනකල් ලැප්ටොප් එක චාර්ජ් නොකර ඉන්නෙ නැතුව චාර්ජ් කරන්න පුළුවන් වෙලාවට චාර්ජ් කරන එක හොඳයි. ඒ වගේම ලැප්ටොප් එක ටික කාලෙකට පාවිච්චි නොකර තියනවා නම්, බැටරි බලය 0% හෝ 100% මට්ටමේ තියන්නේ නැතුව 50% ක හෝ 60% ක මට්ටමේ තියලා තියනවා නම් හොඳයි.

 

5. අනවශ්‍ය ගැජට් බැජට්

දැන් කාලේ තියෙනවා USB පෝට් වලින් පත්තු කරන ලයිට්, ෆෑන් වගේ එක එක ගැජට්. සමහරුන්ගේ ආතල් එකක් තමයි USB හබ් එකක් ගහගෙන මේ එක එක විදියේ USB එකෙන් බලය ලබාගන්නා අනවශ්‍ය ගැජට් ලැප්ටොප් එක වටේට ගහලා තියන එක. මෙන්න මේක හොඳ පුරුද්දක් නෙවෙයි. මොකද මේකෙනුත් වෙන්නේ අනවශ්‍ය විදියට ලැප්ටොප් බැටරියේ බලය ක්ෂය වෙලා යන එක. අනික ගෙදර ඉන්නවා නම්, ස්මාට්ෆෝන් එක චාර්ජ් කරන්න ලැප්ටොප් එකේ USB එකටම ගහන්න ඕන නැහැනේ. පවර් අවුට්ලට් එකකට ගහන්න පුළුවන්. මෙන්න මේ වගේ වැඩ අඩු කරන එකත් ලැප්ටොප් එකේ බැටරියේ ආරෝපණය දීර්ඝ කාලයක් තියාගන්නත්, ඒ අනුසාරයෙන් ලැප්ටොප් බැටරියේ ආයුකාලය වැඩි කරගන්නත් ප්‍රයෝජනවත්.

 

6. රස්නේ!

දැන් කාලේ තියෙන ලිතියම් ඉයෝන් බැටරි වලට ප්‍රශස්ත දේශගුණික තත්ත්ව යටතේ වගේම ඔය දේශගුණික තත්ත්ව කචල් වෙනකොට වුනත් කිසි අවුලක් නැතුව වැඩ කරන්න පුළුවන්. හැබැයි ඉතින් අධික තාපය නම් මොන බැටරියකටවත් දරන්න පුළුවන් දෙයක් නෙවෙයිනේ. ඕක විශේෂයෙන් බලපානවා ශ්‍රී ලංකාව වගේ ඝර්ම කලාපීය රටක ඉන්න අපිට. ඒ නිසා හොඳම දේ තමයි ඉතාම රස්නේ දවසක එහෙම එළිපහළියේ ඉඳගෙන ලැප්ටොප් එක පාවිච්චි කරනවා නම්, ලැප්ටොප් එකට පොඩි බ්‍රේක් එකක් දෙන එක.

දෙවෙනියට, ලැප්ටොප් කූලින්ග් පෑඩ් එකක් පාවිච්චි කරන එක ලැප්ටොප් එකේ බැටරියේ විතරක් නෙවෙයි, ලැප්ටොප් එකේ තියෙන වෙනත් දෘඩාංග වලත් ආයුකාලය දීර්ඝ කරගන්න බොහොම සාර්ථක ක්‍රමයක්. විශේෂයෙන්ම හොඳ කූලින්ග් පෑඩ් එකකින් වෙන්නේ අමතර ෆෑන් එකක් හෝ දෙකක් ඔස්සේ ලැප්ටොප් එකේ අමතර තාපය අයින් කරන එක විතරක් නෙවෙයි, ලැප්ටොප් එක මේසේ පෘෂ්ටයෙන් උස්සලා තියලා, හොඳ තාප සංවහනයකටත් ඒකෙන් ඉඩ හදලා දෙනවා. ඒ නිසා කූලින්ග් පෑඩ් එකක් පාවිච්චිය අනිවාර්‍යයෙන්ම හොඳ අදහසක්.

 

7. ලැප්ටොප් එක ඇතුළේ වැඩ කරන්නේ කවුද?

ලැප්ටොප් එකේ ඇතුළේ ඉන්න සොෆ්ට්වෙයාර් ගැනත් අපිට අවධානය යොමු කරන්න වෙනවා, ලැප්ටොප් එකේ බැටරි බලය ගැන කරදර වෙනවා නම්. එකක් තමයි දකින දකින ලොකු වැඩක් නොවෙන සොෆ්ට්වෙයාර් ඉන්ස්ටෝල් නොකරන එක. ඒක ලැප්ටොප් එකේ ආරක්ෂාවටත් හොඳයි. මොකද, සමහර වෙලාවට ලැප්ටොප් එකක වැඩ කරනකොට බැක්ග්‍රවුන්ඩ් එකෙන් පුදුමාකාර අනවශ්‍ය ඇප්ස් ප්‍රමාණයක් ධාවනය වෙනවා. මේ හැම එකක්ම ඇදලා ගන්නේ ලැප්ටොප් එකේ බැටරි බලයනේ. ඒ නිසා අපිට පුළුවන් අනවශ්‍ය බැක්ග්‍රවුන්ඩ් ඇප්ස් නවත්තලා දාන්න. වින්ඩෝස් 10 වල නම් මේක කරන්න පුළුවන් Setting වල Privacy වින්ඩෝ එකට ගිහින්, ඒකේ යට තියෙන Background Apps එකට ගිහින් ඒකේ තියෙන අනවශ්‍ය එව්වා ඕෆ් කරලා. හැබැයි මේක දැනගෙන කරන්න ඕන දෙයක්. සමහර ඇප්ස් බැක්ග්‍රවුන්ඩ් එකේ රන් වෙන එක මෙහෙයුම් පද්ධතියට අවශ්‍යයි. ඒ නිසා ෂුවර් එකටම ඕන නැහැයි කියලා දන්න එව්වා විතරක් ඕෆ් කරන්න. ඒ ඇරෙන්න Task Manager විවෘත කරලා බලන්න පුළුවන් අපි නොදැන රන් වෙන අනවශ්‍ය සොෆ්ට්වෙයාර් සහ සේවාවන් එහෙම මොනවද කියලා. හැබැයි මේකත් කරන්න ඕන පොඩ්ඩක් ප්‍රවීණ පරිගණක දැනුමක් තියෙන කෙනෙක් තමයි.

 

මෙන්න මේ විදියට වැඩ කළොත්, කොම්පැණියෙන් කියන කාලයටත් වඩා වැඩි කාලයක් ලැප්ටොප් එකේ බැටරියෙන් වැඩ ගන්න එක සිම්පල්! 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *