සාහිත්‍ය ලෝකයෙන් ගීතයට ආපු ප්‍රේමවන්තියන් 7ක්

මානව සංහතියේ ආරම්භයේ ඉඳන් අද වෙනකල්ම බහුතරයක් පිරිමින්ගේ හදවතේ ඇති එකම නොසංසිඳෙන “ආශාවේ වස්තුව” ගැහැණියයි. සුන්දර හදවතක් ඇති පෙම්වතියකට පුළුවන් මාංශ වලට එහා ගිය ​ආධ්‍යාත්මික ආදරයකින් පිරිමියාගේ ආත්මයම සුවපත් කරන්න. කිසිම අයිතිවාසිකමකින් තොරව වුණත්… එහෙම නිවීමක් උදා කරලා දුන්න සදාදරණීය පෙම්වතියන් වෙනුවෙන් ප්‍රබල සාහිත්‍ය කෘති රැසක් සාහිත්‍යකරුවන් අතින් ලියවිලා තියෙනවා. විශේෂයෙන්ම එම සාහිත්‍ය කතා වල එන පෙම්වතියන් වෙනුවෙන් නිර්මාණය වුණු හෘදස්පර්ෂණීය ගීත රැසකුත් ලාංකීය ගීත සාහිත්‍ය තුළ නිර්මාණය වෙලා අවසන්. අපි බලමු ගී පද රචකයන් විසින් කොච්චර සාධාරණයක් ඒ පෙම්වතියන්ට කරලා තියෙනවා ද කියලා. මේ ඒ වගේ ඔබ ඇසිය යුතුම රමණීය ගීත 7ක්.

 

මේ ගීත එකතුව සැකසීම සඳහා තමන්ගේ දැනුම සහ රසවින්දන අත්දැකීම් නොමසුරුව අප හා බෙදාගනිමින් සහාය වුණු සම්මානනීය කාව්‍ය සහ ගීත රචක රවී සිරිවර්ධන මහතාට Lifie අපගේ විශේෂ ස්තූතිය පිළිගන්වනවා.

 

1. ගජමන් නෝනා

මෙම ගීතය මාතර යුගයේ අතිශය ප්‍රකට කිවිඳියක් වුණ ගජමන් නෝනා සහ ඇලපාත මුදලිතුමාගේ කාව්‍ය සාහිතය ම තිඹිරිගෙය කරගෙන උපන් ආදරයක්. මේ ගීතය සිය අසීමිත ආදරය ප්‍රකාශ කරමින් කථකයා ලෙස ඇලපාත මුදලි විසින් සිය පෙම්වතිය වුණ ගජමන් නෝනාටයි කියන්නේ. මෙය කිසියම් ආකාරයක විසම්මුතික ප්‍රේමයක් විදිහටයි ලියවෙන්නේ. ගජමන් නෝනා කියන්නේ ඉතාම රූපවත්, මුඛරි සහ හරිම ශෘංගාරාත්මක කවි ලියපු කිවිඳියක්. ඒ නිසාම ඇයට පිරිමින්ගේ ආකර්ෂණයෙන් අඩුවක් වුණේ නෑ, ඇලපාත මුදලි කියන්නෙත් කවියෙක් වගේම එකල ජීවත් වුණ ප්‍රභුවරයෙක්. සැමියාගේ අභාවයෙන් පස්සේ තනිව ජීවත් වුණ ගජමන් නෝනා කෙරෙහි ප්‍රේමයෙන් බැඳෙන ඇලපාත මුදලි සහ ඇය අතර දීර්ඝ කවි සංවාද ඇති වී තිබෙනවා. ඇගේ කවීත්වයේ සුවීශේෂී ලක්ෂණය තමයි පුරුෂෝත්තමවාදී පරිසරයක ජීවත් වෙමින් නිර්භයව පිරිමින්ට උත්තර බැඳීම. ඒ ප්‍රේමය ආශ්‍රයෙන් ලියවුණු මෙම ගීතයේ පද රචනය කළේ යමුනා මාලිනී පෙරේරා මහත්මියයි. සංගීත නිර්මාණය විශාරද ගුණදාස කපුගේ මහත්මයාගේයි. මිහිරි ගායනය කරන්නේ කරුණාරත්න දිවුල්ගනේ මහතායි.

 

2. සඳ කිඳුරි​ය 

අපේ ජාතක කතා සාහිත්‍යයේ එන සඳ කිඳුරු ජාතකය ආශ්‍රයෙන් ලියවුණ ගොඩක් දෙනෙක් අහලා නැති මියුරු ගීතයක් මේ. සාමානයෙන් බෞද්ධ සාහිත්‍යයේ එන ප්‍රේම වෘත්තාන්ත වල පරමාදර්ශීම ජාතක කතාව තමයි සඳ කිඳුරු ජාතකය කියන්නේ. රජතුමා විසින් සඳ කිඳුරාට හී පහර එල්ල කිරීමෙන් අනතුරුව ඔහු මරණීය වේදනාව විඳිද්දී සඳ කිඳුරිය ඇගේ අසීමිත ප්‍රේමයේ නාමයෙන් හඬා වැලපෙද්දී සක්විති රජුගේ පඬුපුල් ආසනය උණුසුම් වී ඇයගේ සහයට පැමිණ කිඳුරාට පණ දෙන්නේ ඇගේ ප්‍රේමයට කරන්න පුළුවන් ගරුත්වයක් හැටියටයි. නමුත් ජාතක කතාවේදී කිඳුරා වෙනුවෙන් කිඳුරිය හැඬුවත් මෙම නූතන ප්‍රකාශනයේදී කියවෙන්නේ කිඳුරා ගමේ තනි කරලා නගරයට යන කිඳුරියට කියන අහිමි වීමේ වේදනාවේ ප්‍රකාශනයයි. සඳ කිඳුරු කතාව නූතනවාදී කරලා ගීතය පද රචනය කරන්නේ රත්න ශ්‍රී විජේසිංහ මහත්මයායි. මුදල් නිසා වර්තමාන මිනිස්සුන්ගේ ජීවිත ඇතුළෙන් ප්‍රේමය දුරස් වී ඇති ආකාරය මෙම ගිතයෙන් පිළිබිඹු කෙරෙන්නේ අද කාලයේදී ප්‍රේමයේදී මිනිස්සු මිය යන්නේ හදවතින් බව සිහිපත් කරවමින්. ජානක වික්‍රමසිංහ මහතාගේ ගායනයෙන් හා විශාරද ගුණදාස කපුගේ මහතාගේ සංගීත නිර්මා​ණයෙන් මෙම ගීය හැඩ වී තිබෙනවා. 

 

3. ඇනා සර්ගෙව්නා 

මහා රුසියානු ලේඛක ඇන්ටන් චෙකොෆ්ගේ “බල්ලා කැටුව ඇවිදින කාන්තාව” කෙටිකතාව ඇසුරින් ලියැවුණ මෙම ගීතයත් ඉතාම රසවත්. ඒ කතාවේ එන ඇනා සර්ගෙව්නා සහ ගුරොෆ් කියන පෙම්වන්තයින් දෙදෙනාම විවාහකයි. දවසක් ඇනා තම සුරතලා සමඟ තනිවම වෙරළබඩ සුන්දර ප්‍රදේශයක් වුණ යාල්ටාවේ නිවාඩු නිකේතනයකට යනවා නිවාඩුවක් ගත කරන්න. එතනට නිතරම යන එන ගුරොෆ් එදා ඉතාම සුන්දර ඇනාව දැකීමෙන් පසු පැහැදිලා ඇය සමඟ සුහදව කතා කරන්න පටන් ගන්නවා. ඒ කතා බහේදී ඉතාම විශ්මිත ආකාරයට ඔවුන් දෙදෙනා මානසිකව බැඳෙනවා. එතෙක් කල් දෙදෙනාම ගෙවපු නිල විවාහ ජීවිත ඇතුළේ හමු නොවුණු, ඔවුන් සෙවූ යම් දෙයක් ඒ මොහොතේදී හිමි වෙනවා. ඇන්ටන් චෙකොෆ් මෙම සංසිද්ධිය ඉතාම සුන්දරව විග්‍රහ කරමින් පවසන්නේ ඈත්තටම ප්‍රේමය පවතින්නේ රාමුගත කර හිර වුණු ජීවිත ඇතුලේ නෙමෙයි; ‍රාමුවෙන් පිටතදීයි කියලයි. සම්මුතික ලෝකය ඇතුළේ සමාජ නීති වලට අනුව විවාහ වෙමින්, දරුවන් හදා වඩා, තමන්ගේ විවාහකයන් සමඟ එක වහලක් යට ජීවත් වුණත් එතෙක් කාලයකට ඔවුන්ට ප්‍රේමය හම්බ වෙලා නෑ. අවසානයේදී චෙකොෆ් කියන්නේ සැබෑ ප්‍රේමය ජීවත් වන්නේ අයිතිවාසිකම් වලින් තොර බැඳීම් තුළයි කියලයි. ඇනා සර්ගෙව්නා පිළිබඳව වර්ණනාත්මක පද රචනයකින් ලාංකේය සමාජයට ඒ ප්‍රේමය ගෙන එන්නේ රවී සිරිවර්ධන මහත්මයායි. මෙහි සංගීතය මහේශ් විතාන විසින් සහ ගායනය නව පරපුරේ ගායක රූනි විසින්.

 

4. නොරිකෝ සං

මහාචාර්‍ය එදිරිවීර සරත්චන්ද්‍රයන්ගේ සදාතනික ප්‍රේම කතා ද්විත්වය වූ “මළ ගිය ඇත්තෝ” සහ “මළවුන්ගේ අවුරුදු දා” ඇසුරින් තමයි මේ ගීතය ලිය වී තිබෙන්නේ. ජපන් ජාතික නොරිකෝ සං නැමැති පෙම්වතිය සහ ශ්‍රී ලාංකික දෙවෙන්දරා සං නැමති පෙම්වතා අතර ශෝකාන්තයක් වුණ ප්‍රේමය ගැනයි අතිශය සංවේදී ලෙස මහාචාර්‍යතුමන් අතින් ලියවිලා තිබෙන්නේ. අවසානයේදී දෙවෙන්දරා සං නොරිකෝගේ පවුලේ පාරම්පරික සුසාන භූමියේ මිහිදන් වෙනවා. ප්‍රේමයේදී පෙම්වතුන් ලබන සියුම් වේදනාවන්, අත්දැකීම් හා මනෝභාවයන් අති විශිෂ්ට ආකාරයට ලියවුණු සාහිත්‍යමය ප්‍රේමයක් තමයි ඒ. ඒ ආශ්‍රයෙන් මෙම ගීතය රවී සිරිවර්ධන මහතා අතින් ලියවී තිබෙන්නේ සරත්චන්ද්‍රයන් නිම කළ තැන ඉඳලයි. මෙ​ම ගීතය පිළිතුරු ගීයක්. ඒ ආදරය වස්තු බීජ කරගනිමින් ප්‍රථම වරට නොරිකෝ සංගේ ප්‍රකාශනයක් ලෙස ගීතය ගැයු​වේ නන්දා මාලිනී මහත්මියයි. අමල් පෙරේරාගේ හඬින් වර්තමානයේදී නොරිකෝට මේ ගීය ගයන්නේ දෙවෙන්දරා සං ගේ ආදර ප්‍රකාශනයක් විදිහටයි. දෙවෙන්දරා සං ගේ මිය යාමෙන් පසුව සරත්චන්ද්‍රයන්ගේ නවකතාව නිම වන අතර එතනින් එහාට නොරිකෝ සං ගේ විරහාත්මක ප්‍රේමය සමඟ සිය විප්‍රවාසී ජීවිතය ගෙවන්නේ කොහොමද කියලා විස්තර වෙන්නේ නෑ. මෙම ගීතය ගැයෙන්නේ ඒ නොරිකෝටයි. ගීතයට සංගීතය මුසු කර ඇත්තේ සුරේශ් මාලියද්ද විසින්.

 

5. දම්මි-සුගත්

60 දශකයේ තරුණ යුගයේ ජනප්‍රියම නවකතාකරු වූ කරුණාසේන ජයලත් මහතාගේ “ගොළු හදවත” කතාවේ එන දම්මි සහ සුගත්ගේ ආදරය ගැන ඔබ නොදන්නවා වෙන්න බැහැ. දම්මි කියන්නෙත් සිංහල ප්‍රේම කතා සාහිත්‍යයෙන් පැමිණි රමණීය ආදරයක් හිමි වුණ ප්‍රේමවන්තියක්. ඒ කාලේ ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ යෞවන ප්‍රේමය මූර්තිමත් කරපු මෙ‍ය, තුන්කොන් ප්‍රේමය​ක අත්දැකීමක් ඇසුරින් ලියවුණු ශෝකාන්තයක් වූ ආදරයක්. ඒ කාලේ සමාජයේ පෙම්වතුන් සමහර වෙලාවට සුගත් වෙන්න උත්සහ කළා. එහෙම වුණේ පරාජිත පෙම්වතාගේ මනෝභාවයන් ඒ කාලේ තරුණයෝ රසවින්​ද නිසයි. මේ කතාව හරහා ප්‍රේමයේ විරහව ඉතාම මානුෂීයව විඳින්නේ කොහොමද කියලා ඒ කාලේ තරුණයෝ ඉගෙන ගත්තා. විශේෂයෙන්ම පාසල් ප්‍රේමයට සුවිසල් ස්ථානයක් හිමි වුණ කතාවක් බවට “ගොළු හදවත” පත්වුණා. ඉන්පසුව එය සිනමාවට රැගෙන එන්නේ ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතායි. මේ ගීතය බිහි වෙන්නේ එම චිත්‍රපටිය වෙනුවෙනුයි. ආචාර්‍ය ප්‍රේමසිරි කේමදාසයන්ගේ අද්විතීය සංගීත මාධුර්‍යයෙන් සහ ඉන්ද්‍රාණි සේනාරත්න සහ සිසිර සේනාරත්න යුවළගේ සංවේදී හඬින් මෙය නිර්මාණය වී තිබෙනවා. ගොළු හදවත නවකතාවේ කතෘ කරුණාසේන ජයලත් මහත්මයාමයි මේ ගීයේ පද රචනයෙත් හිමිකරුවා වන්නේ…

 

6. අමල් බිසෝ

අමල් බිසෝ කියන්නේ පැරණි ජන කතාවක් ආශ්‍රයෙන් එන චරිතයක්. මේකේ පැරණි කතාවේ කියවෙන්නේ අමල් බිසෝ නැමැති තරුණියව නිවසේ තබා දෙමවුපියන් ගමනක් යන්න පිටත් වෙන්න කලින් “ගිහින් එනකල් නිවසේ දොර හොඳින් වසාගෙන සිටින ලෙස” ඇයට දෙන අවවාදයයි. ඉන් පසුව රාක්ෂයෙකු පැමිණ ඇයට දොර විවෘත කරන ලෙස ආයාචනා කළත් දෙමවුපියන්ගේ අවවාදයට හිස නමමින් ඇය දොර විවර කරන්නේ නැහැ. ඒ නිසා ඇය ආරක්ෂා වෙනවා. මෙම කතා සංකල්පය නූතනකරණයට භාජනය කරමින් ස්වාමි පුරුෂයෙකු විසින් සිය බිරිඳට දෙන ආදරණීය අවවාදයක් ලෙස ගීතය ලියන්නේ බණ්ඩාර ඇහැළියගොඩ මහතායි. ගී තනු රෝහණ වීරසිංහයන්ගෙන් වන අතර ගායනය සුනිල් එදිරිසිංහ මහතාගේයි. 90 දශකයේ මුල ලංකාවේ වෙරළබඩ ප්‍රදේශයේ සංචාරක ව්‍යාපාරය ඉතාම ප්‍රචලිතව තිබුණා. ඒ අතර විවිධ ලිංගික අවශ්‍යතා පිරිමසා ගැනීම සඳහා විදේශිකයන් විසින් එම ප්‍රදේශ වල ජීවත් වෙන අසරණ දුප්පත් පවුල් වල දරුවන් සහ බිරින්ඳෑවරුන් මුදලට අරගැනීමේ සංකීර්ණ සමාජ ගැටලුවක් ඇති වී තිබුණා. සිය පවුලෙන් පිට රටක රැකියාව කරන නූතන සැමියා විසින් මුහුදුකරයේ ජීවත් වෙන බිරිඳට එම විදේශිකයන්ගේ අනතුරින් ඇයත් දරුවනුත් ආරක්ෂා කරගෙන ජීවත් වන ලෙස ඔහුගේ ආදරයත් සමඟ දෙන අවවාදයක් ගැනයි මේ ගීතයෙන් කියවෙන්නේ.  

 

7. මුතු කුමාරී 

ප්‍රංශයේ පැරිස් නුවර ආශ්‍රය කරගෙන ලියවුණු මෙම සාහිත්‍ය කතාවේදී මුතු කුමාරිය ආදරය කරන්නෙ ඇස්මීසන් කුමරුටයි. මෙම ආදරය අතරමඟ දී බිඳ වැටෙනවා. ඉන්පසුව ඇය එම විරහා වේදනාවෙන් මිරිකෙමින් හඬන්නට පටන් ගන්නවා. එවිට ඇගේ ඇස් වලින් කඳුලු විදිහට වැටෙන්නේ මුතු යි. මෙම මුතු ඉතාම මිල අධිකයි. ඇය හඬනකොට වැටෙන ඒ මුතු වලට ආශාවෙන් විවිධ වර්ගයේ මිනිස්සු, අමනුෂ්‍ය බලවේග ඇය සමඟ ප්‍රේමයෙන් බැඳෙන්න එනවා. විශාල දුක්බර චාරිකාවකින් පස්සේ ඇයට නැවත ඇස්මීසන් කුමරු හමු වෙනවා. එම හමූවීමෙන් සතුටට පත් වෙන ඇයට ඇඬෙද්දීත් ඇයගේ ඇස් වලින් වැටෙන්නේ මුතු යි. ඇයට මුතු කුමාරී කියන නම පට බැඳෙන්නේත් ඒ නිසාමයි. මෙම කතා වස්තුව නූතන අත්දැකීමක් බවට පත් කරන සුනිල් ආරියරත්නයන් විසින් පද රචනය කරන මෙම ගීතයේදී කතා කරන්නේ ප්‍රේමය අහිමි වූ බිරිඳකගේ වේදනාව ගැනයි. සැබෑ ජීවිතයේදී කාන්තාවන්ට උනන්නේ මුතු නොව; ඇගේ හදවත බිඳීමේ අප්‍රමාණ ශෝකයෙන් බිහි වූ කඳුලු බව ගීතය ගායනය කරමින් සමිතා මුදුන්කොටුව විසින් අපිට කියනවා. එහි සංගීතය රෝහණ වීරසිංහයන්ගෙන්.  

 

තිනෙති නානායක්කාර

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *