AL වලින් පස්සෙ උසස් අධ්‍යාපනයට ගැලපෙන අධ්‍යාපන ආයතන

උසස් පෙලින් පස්සෙ මොකක්ද කරන්නේ කියන එක හැමෝටම වගේ තියෙන ප්‍රශ්නයක්. ළමයින්ගේ වගේම අම්මලගේත් ඔලුවේ තියෙන දැවෙන ප්‍රශ්නයක්. ඉතින් අපි අද කතා කරමු උසස් පෙළ ඉවර ක​ළත් රජයේ සරසවි වරම් හිමිවුණේ නැති, එක්කෝ රජයේ විශ්වවිද්‍යාලයකට යන්න අකමැති දරුවන්ට උසස් අධ්‍යාපනයට තෝරාගන්න පුළුවන් අධ්‍යාපන ආයතන කිහිපයක් ගැන. ඒ වගේම තමයි රජයේ කැම්පස් එකකට ගියත් ඒ යන ගමන්ම මේ කියන හුඟක් වෘත්තිමය විභාග සම්පූර්ණ කරන්නත් පුළුවන්. එතකොට එකපාර qualifications දෙකක්ම අතේ. 

 

 

1. CIMA – Chartered Institute of Management Accountants

මේක උසස් අධ්‍යාපනයට යොමුවෙන හුඟක් දෙනෙක් අතරේ ප්‍රසිද්ධ අධ්‍යාපන ආයතනයක්. නමුත් ලංකාවේ එකක් නම් නෙමෙයි. නමේ හැටියටම මේක තමයි කළමණාකාර ගණකාධිකාරීවරුන් පිලිබඳ වරලත් ආයතනය. තියෙන්නෙ එක්සත් ජනපදයේ. හැබැයි මේකට අදාළ සියලුම අධ්‍යාපන කටයුතු ලංකාවේ ඉඳන් කරන්න පුළුවන් විදිහට එයාලගේ ශ්‍රී ලංකා ඔෆිස් එකක් ඇල්විටිගල මාවතේ පිහිටවල තියෙනවා. මේ CIMA කියන්නේ ලංකාව ඇතුලේ වගේම පිටරටවලත් පිළිගත්ත, හුඟක් ගණකාධිකරණය සම්බන්ධ රැකියාවලට ඉල්ලන සුදුසුකමක්. 

CIMA වලටම සමාන ලෝකල්, ඒ කිව්වේ දේශීය සුදුසුකමක් ලබාදෙන ආයතනයක් විදිහට CMA ආයතනය හඳුන්වන්න පුළුවන්. Institute of Certified Management Accountants of Sri Lanka. 2009 වසරේ පිහිටවපු ආයත​නයක් උනත් සුදුසුකම දේශීය වීම නිසාම වෙන්න ඕන මේක CIMA තරම්ම ප්‍රසිද්ධ වෙලානම් නැහැ තාම. හැබැයි වියදම අතින් ගත්තොත්නම් CMA කියන්නෙ CIMA වලට වඩා ගොඩක් ලාභදායී ඔප්ෂන් එකක්.

 

2. CIM – Chartered Institute of Marketing

මේ ආයතනයත් විදේශීය ආයතනයක්. ප්‍රධාන ශාඛාව පිහිටලා තියෙන්නේ එක්සත් ජනපදයේ. මාර්කටින්, ඒ කිව්වේ අලෙවිකරණය සම්බන්ධ වරලත් ආයතනය විදිහට ලෝකෙ ඉහළින්ම පිළිගන්න ලොකුම ආයතනය තමයි මේක. මේ ආයතනයේත් වරලත් අලෙවිකරු කියන සුදුසුකම ලබාගන්න පහසු වෙන විදිහට ලංකාවේ පාර්ක් ස්ට්‍රීට් එකේ එයාලගේ ශාඛාවක් පිහිටුවල තියෙනවා. හැබැයි මීට අදා​ළ අධ්‍යයන කටයුතුනම් කෙරෙන්නෙ සේජිස්, ස්ලිම් වගේ ප්‍රසිද්ධ අධ්‍යාපන ආයතන කිහිපයක. කලින් කියපු ශාඛා කාර්යාලය මඟින් සම්බන්ධිකරණ කටයුතු තමයි කෙරෙන්නේ. අන්තර්ජාතික වශයෙන් පිළිගත්ත අලෙවිකරණ සුදුසුකමක් ලබාගන්න ඕන කෙනෙක්ට මේ CIM ආයතනය තමයි සුදුසුම තැන. 

 

 

3. SLIM – Sri Lanka Institute of Marketing

SLIM කියන්නේ කලින් කියපු අලෙවිකරණ විෂයටම අදා​ළව දේශීය සුදුසුකමක් ලබාගන්න පුළුවන් ආයතනයක්. CIM එක්ක බලද්දි වියදම සැලකිය යුතු මට්ටමකින් අඩුවීම සහ ලංකාවට ගැලපෙන විදිහට හදපු විෂය නිර්දේශය කියන කාරණා තමයි මේ ආයතනය තෝරගන්න කෙනෙකුට වාසිදායක දේවල්. විශේෂම කාරණය තමයි මේ ආයතනයේ සිංහල සහ දමිල කියන භාෂා දෙකෙන්ම සකස් කරපු පාඨමාලා තියෙනවා. විකුණුම් සහ අලෙවිකරණය සම්බන්ධ ලොකු පරාසයක පාඨමාලා තියෙන නිසාම ඒ විෂය ගැන උනන්දු කෙනෙක්ට ලංකාව ඇතුලත සුදුසුකමක් ලබාගන්න හොඳම ආයතනයක් විදිහට මේ  SLIM ආයතනය හඳුන්වන්න පුළුවන්. SLIM Home එක පිහිටල තියෙන්නේ කොළඹ 10 ආනන්ද රාජකරුණා මාවතේ. 

 

 

4. ACCA – Association of Chartered Certified Accountants

ACCA කියන්නේ ගණකාධිකරණයට අදා​ළ වරලත් සුදුසුකම සපයන ගෝලීය වෘත්තිමය ආයතනය විදිහට තමයි හැඳින්වෙන්නේ. ප්‍රධාන ශාඛාව පිහිටල තියෙන්නෙ එක්සත් රාජධානියේ ලන්ඩන් නුවර. මේක තමයි ගණකාධිකරණය සම්බන්ධ වරලත් සුදුසුකම අන්තර්ජාතික වශයෙන් ලබාගන්න කැමති කෙනෙකුට හොඳම තැන. හැබැයි අනික් හැම එකකදීම වගේම දේශීය සුදුසුකමට වඩා මිල ගණන් ටිකක් වැඩියි. ලංකාව ඇතුලේ අධ්‍යාපනය හදාරන්න අවශ්‍ය සිසු සිසුවියන් සඳහා සම්බන්ධිකරණ පහසුකම් සපයන්නේ පාර්ක් ස්ට්‍රීට් එකේ පිහිටුවල තියෙන ශාඛා කාර්යාලයෙන්. 

 

 

5. ICAS – Institute of Chartered Accountants of Sri Lanka

ලංකාවේ උසස්පෙළ හදාරන දරුවෝ අතරේ අතිශයම ජනප්‍රිය උසස් අධ්‍යාපන පාඨමාලාව මේක කියල කිව්වොත් කිසිම වරදක් නැහැ. ඒ තරමටම චාර්ටඩ් කරනවා කියන එක අහන්න ලැබෙනවා අපිට. ඉතින් මේ චාර්ටර්ඩ් කියන්නේ මුල්‍ය ගණකාධිකරණය සම්බන්ධ දේශීය වරලත් සහතිකපත්‍රය පිරිනමන ආයතනය. වියදම බැලුවොත් ඉතාම සහනදායී. හැබැයි හුඟ දෙනෙක් කරන නිසාම විභාග ටිකක් විතර තරඟකාරී බවෙන් වැඩියි. පාස් වෙන්න ටිකක් අමාරුයි. හැබැයි ගොඩ ගිය අය ඕන තරම් ඉන්නවා. කොළඹ 7 මලලසේකර මාවතේ තමයි Chartered Institute එක තියෙන්නෙ. හරියට කරගත්තොත් ලංකාව ඇතුලේ මුල්‍ය ගණකාධිකරණයට සම්බන්ධ රැකියා වලට ඉහළින්ම ඉල්ලන සුදුසුකමක් තමයි මේ chartered එහෙම නැත්තම් වරලත් සුදුසුකම කියන්නේ. 

 

 

6. CIPM – Chartered Institute of Personnel Management

CIPM කියන්නේ මානව සම්පත් කළමනාකරණය සම්බන්ධ වරලත් සහතිකපත්‍රය ලබාගන්න පුළුවන් ලංකාවේ එකම ආයතනය. මානව සම්පත් කළමනාකරණය ගැන වෘත්තීය සුදුසුකම් ලබාදෙන HRMI, NIBM වගේ ආයතන තව ඕනෑතරම් තිබුනත් ලංකාව ඇතුලේ මේ විෂයට Chartered Certification එක ගන්නනම් යන්න ඕන එකම තැන මේ CIPM එක. අදියර කීපයක් යටතේ මානව සම්පත් කළමනාකරණය ගැන පාඨමාලා මේ ආයතනය මඟින් ක්‍රියාත්මක කරනවා. මේක තනිකරම දේශීය සුදුසුකමක්. ආයතනය පිහිටලා තියෙන්නේ නාරාහේන්පිට විජය කුමාරතුංග මාවතේ. 

 

 

7. NIBM – National Institute of Business Management

අපි මෙච්චර වෙලා කතා කරපු අනික් හැම ආයතනයක්ම වෘත්තීය සුදුසුකම් ලබාදෙන ආයතන. හැබැයි NIBM කියන්නේ වෘත්තීය සහ ශාස්ත්‍රීය ඒ කිව්වේ academic කියන දෙවර්ගයේම සුදුසුකම් ලබාගන්න පුළුවන් ආයතනයක්. NIBM ආයතනය මඟින්ම ලබාදෙන දේශීය සුදුසුකම් වගේම විදේශීය විශ්වවිද්‍යාල එක්ක සම්බන්ධ වෙලා ලබාදෙන විවිධ උපාධි වැඩසටහන් විශාල ප්‍රමාණයක් මේ ආයතන මඟින් ලබාගන්න පුළුවන්. මේ ආයතනයට අදාල ශාඛා කාර්යාල ලංකාව පුර විවිධ ස්ථාන වල පිහිටලා තියෙනවා වගේම ආයතනය පුළුල් වීමක් විදිහට NSBM හරිත සරසවියත් ආරම්භ කරලා තියෙනවා. හැබැයි මුල් NIBM ආයතනයත් තවමත් ක්‍රියාත්මක වෙනවා. ආයතනය පිහිටලා තියෙන්නේ කොළඹ 07 විජේරාම මාවතේ.

ඉතින් අපි මේ ක​ළේ උසස් අධාපන ආයතන ගැන ඉතාම කෙටියෙන් හැඳින්වීමක්. අධාපනය ගැන නිසාම මේක ටිකක් පුළුල් මාතෘකාවක්. තව උසස් අධ්‍යාපන ආයතන සහ තෝරාගන්න පුළුවන් විකල්ප, තෝරාගන්න ඕන විදිහ ගැන එහෙම තව හුඟක් දේවල් ඉස්සරහට කතා කරමු. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *