ට්‍රිප් එකක් කිවුව ගමන් ඔලුවට එන්නේ මොකද්ද? වෑන් එකක් බුක් කරගෙන, ඇඳුම් බෑග් වල ඉඳලා හට්ටි මුට්ටු දක්වා දේවල් ඒකේ පටවගෙන සිංදු කිය කියා යන ගමනක්නේ. හැබැයි බැක්පැක් සංචාරයක් ඊට වෙනස්. සංචාරය කරන්න ආස මනුස්සයෙක් ජීවිතේ එක වතාවක් හරි තනියෙන් හරි කීප දෙනෙක් එක්ක හරි බැක්පැක් එකක තමන්ගේ සංචාරය අතරතුරේදී වුවමනා වෙන හැමදෙයක්ම දාගෙන, සුවපහසුව ගැන වද නොවී සංචාරයේ රස විඳලා තියෙන්න ඕන. මෙතනදී බැක්පැක් එක සෑහෙන වැදගත්. මොකද, තමන්ගේ ගමනේදී අත්‍යාවශ්‍ය වෙන හැම දෙයක්ම තියෙන්නේ මේක ඇතුළේ. ඉතින් මේ වගේ සංචාරයක් කරන්න කලින් තමන්ගේ ගමනට වුවමනා දේවල් හරි හැටි බැක්පැක් එකට පැක් කරගන්න එකත් වෙනම හිතන්න ඕන දෙයක්. ඉතින් එහෙම අත්‍යාවශ්‍ය දේවල් ලිස්ට් එකකට ගත්තට පස්සේ, පහසුවෙන්ම ඒ දේවල් බැක්පැක් එකේ පැක් කරගෙන සංචාරය සාර්ථක කරගන්න පුළුවන්.
1. ඇඳුම් පැළඳුම්
බැක්පැක් එකක් කියන්නේ සූට්කේස් එකක් නෙවෙයි කියන එක මුලින්ම මතක තියාගන්න ඕන. ඒ නිසා අල්මාරියේ තියෙන හොඳම ඇඳුම් ටික සංචාරයක යනකොට බැක්පැක් එකේ ඔබාගෙන ගිහින් හරියන්නේ නෑ. ඇඳුම් සම්බන්ධයෙන් ඥාණවන්ත වෙන්න සිද්ධ වෙන්නේ මේ වෙලාවට තමයි. සාමාන්‍යයෙන් ඩෙනිම් කලිසමක් ඇඳගෙන යනවා නම්, ගමනට අමතර කලිසම් වුවමනා වෙන්නේ නැති තරම්. තමන් සංචාරය කරන ප්‍රදේශයේ දේශගුණයට ගැලපෙන විදියට පුළුවන් අවම ඇඳුම් ප්‍රමාණය තෝරාගන්න වෙනවා. සෑහෙන්න දින ගාණක් සංචාරයට ගතවෙනවා නම් හෝද හෝද අඳින්නත් සිද්ධ වෙන්න පුළුවන්. හැබැයි යට ඇඳුම් නම් එක දවසකට එක සෙට් එක ගාණේ පැක් කරගත යුතුමයි. මොකද පුද්ගලික සනීපාරක්ෂාවට පිරිසිදු යට ඇඳුම් වැදගත් වෙන නිසා. මීට අමතරව ඔය තුවායක් වගේ දේවල් එහෙමත් අමතක නොකර දාගන්න ඕනෑ! සෙරෙප්පු කුට්ටමක් එහෙමත් අමතක කරන්න එපා!
2. සනීපාරක්ෂක සහ රූපලාවණ්‍ය අනං මනං
මෙතනදී සනීපාරක්ෂාවට වැදගත් වෙන අයිතමයන් බැක්පැක් එකේ තිබීම අනිවාර්යයි. කාන්තාවක් නම් සනීපාරක්ෂක පෑඩ් එහෙම තියෙන්න ඕන. වඩාත් පරිසර හිතකාමීයි අර Menstrual cup කියලා හඳුන්වන, ආර්ථව කාලෙට පාවිච්චි කරන්න පුළුවන් කප් එකක් එහෙම පැක් කරගත්තොත්. එතකොට පෑඩ්ස්, ටැම්පෝන් වුවමනා නෑ. එතකොට පොදුවේ ෂැම්පු, ඔයිල් වගේ දේවල් තිබුනට කමක් නෑ. රූපලාවණ්‍ය ගැන කියනකොට මේකප් සෙට් පිටින් බැක්පැක් එකේ ඔබාගෙන යන එක ප්‍රායෝගික නැහැනේ. හැබැයි ඉතින් ඔය සෙන්ට් එකක්, කොලෝන් එකක් වගේ තිබ්බට කමක් නෑ. සන්ස්ක්‍රීන් එහෙමත් ප්‍රායෝගිකව අවශ්‍ය වෙනවා.
3. ප්‍රථමාධාර
තනියෙන් වුනත්, කණ්ඩායමක් එක්ක වුනත් සංචාරය කරන කෙනෙක්ගේ බැක්පැක් එකේ අනිවාර්‍යයෙන්ම තියෙන්න ඕන තවත් දෙයක් තමයි හුරුබුහුටි ප්‍රථමාධාර කට්ටලයක්. මේකේ ඔය හදිසි කැපුමක් එහෙම ආවරණය කරන්න පුළුවන් ඖෂධීය ප්ලාස්ටර්, තුවාලයක් වහන්න පුළුවන් ගෝස්, ප්ලාස්ටර්, පුළුන් වගේ දේවල්, තුවාලෙකට ගාන්න ඇන්ටිබයොටික් ක්‍රීම් එකක්, විෂබීජ නාශක හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වගේ දෙයක්, පැනඩෝල්, ගැස්ට්‍රයිටීස් වලට ඖෂධ, ජීවනී වගේ විජලනයට අවශ්‍ය දෙයක් වගේම තමන්ගේ විශේෂිත රෝගී තත්වයක් තියෙනවා නම් ඒකට ගැලපෙන බෙහෙතක් හේතක් එහෙමත් මේ ප්‍රථමාධාර කට්ටලයේ තිබිය යුතුයි. මේ බඩු ඔක්කොම වතුර නොයන, ශක්තිමත් ඒත් සැහැල්ලු පොඩි පසුම්බියක අසුරගන්න පුළුවන්.
4. ෆෝන් චාජර්, බැටරි චාජර්
සාමාන්‍යයෙන් දැන් එන නවීන ස්මාට්ෆෝන් එකක චාර්ජ් එක දවස් දෙකක්වත් තියාගන්න පුළුවන්, ඔය ගේම් ගහනවා වගේ වැඩ නොකර හිටියොත්. ඒත් ඉතින් අපි ෆෝන් එකේ චාර්ජර් එක දාලා රැයක් පිට ඉන්න ගමනක් යන්නේ නැති තරම්නේ. ඒ නිසා ෆෝන් චාජර් එක ගන්න ඕන. සමහර වෙලාවට අපි කැමරා අනං මනං එහෙමත් අරගෙන යනවා නම් බැට්‍රි චාජර් එකක් තියෙන එක වඩාත් පහසුයි. මෙතනදී සැලකිලිමත් වෙන්න ඕන දේ තමයි, ෆෝන් චාර්ජර්, ලැප්ටොප් චාජර්, බැටරි චාජර් මේ හැම එකක්ම නියමාකාර විදියට කේබල් රවුම් කරලා ඔතලා, වෙන වෙනම පැක් කරගන්න එක. චාජර් එකේ කේබල් එක රවුමට ඔතලා රබර් බෑන්ඩ් එකක් දැම්මත් කමක් නෑ. ඒ වගේම අපි යන තැන තියෙන පවර් සොකට් ගැන ලොකු විශ්වාසයක් නැතිනම්, පවර් ඇඩැප්ටර් එකක් එහෙමත් දාගත්තට කමක් නෑ. එහෙම නැතිනම් හතරැස් පින් ප්ලග් එක රවුම් පින් සොකට් එකේ ගහගන්න බැරුව ලතවෙන්න තමයි වෙන්නේ.
අනික දවස් දෙකතුනක් වගේ උපරිම ගතවෙන ගමනක් නම්, චාජර් පැත්තක තියලා හොඳට චාජ් කරපු පවර් බෑන්ක් එකක් අරගෙන යන්නත් පුළුවන්!
5. කෑම සහ බීම
සාමාන්‍යයෙන් අපි සංචාරයක් යනකොට, අර වෑන් එකක ට්‍රිප් යනකොට වගේ හාල්පොල් පටවගෙන යන්නෙ නැහැනේ. ගොඩක් වෙලාවට සංචාරයක් අතරමග තැනකින් තමයි කෑම බීම ලෑස්ති කරගන්නේ. එහෙම වුනාට ඉතින් බැක්පැක් එකේ තියෙන්න ඕන කෑම බීම වලට අදාළ දේවල් තියෙනවා. මෙතනින් අනිවාර්‍ය දේ තමයි වතුර බෝතලයක්. සංචාරයකදී අපිට මහන්සි වෙන්න සිද්ධ වෙනවනේ. එතකොට වතුර නැතුව, නවතින තැනකදී විතරක් වතුර බොනවා කියලා හිතන එක තේරුමක් නෑ. අපිව ඉක්මනටම විජලනය වෙන වැඩක් ඒක. ඒ නිසා වතුර බෝතලයක් බැක්පැක් එකේ පැත්තේ සාක්කුවක හැම වෙලේම තියාගන්න ඕන. ඊට අමතරව බැක්පැක් එකේ ඔය පොඩි බිස්කට් පැකට් එකක්, චොක්ලට් එකක් තියෙන එකත් වටිනවා. වඩාත් හොඳයි අර ප්‍රෝටීන් බාර් කීපයක් තියාගන්න පුළුවන් නම්. කෑම වේල වැරදුනත් එතකොට ඇඟට අවශ්‍ය ශක්තිය ලැබෙනවා.
6. වටින කියන දේවල්
වටිනා කියන දේවල් කියලා අපි මෙතනදී අදහස් කරන්නේ රන්, රිදී, මුතු, මැණික් නෙවෙයි. එව්වා ගෙදර තියලා ආවට කාරි නෑ. ඒත් මුදල් හදල්, තමන්ගේ ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්ස්, හැඳුනුම්පත් සහ ගමන් බලපත්‍ර තමයි වටිනා කියන දේවල් විදියට මෙතනදී සැලකෙන්නේ. විශේෂයෙන්ම මුදල් හදල් සංචාරයක් අතරතුර ගෙනියනකොට පරිස්සම් වෙන්න ඕන. හොඳම දේ තමයි තමන්ගේ වොලට් එකේ ප්‍රමාණවත් තරම් මුදලක් තියාගෙන, හදිසියකට ගන්න තවත් යම් මුදලක් මොකක් හරි ආරක්ෂිත ආවරණයක දාලා බැක්පැක් එකේ තමන්ට විතරක් හොයාගන්න පුළුවන් තැනක හංගලා තියන එක. ඒ හදිසියක් වුනොත්. මීට අමතරව පාස්පෝට්, වීසා වගේ දේවල් සාක්කුවේ තියාගන්නවට වඩා හොඳයි, ආරක්ෂිත ආවරණයක දාලා තමන්ගේ බැක්පැක් එකේ ඇතුළු සාක්කුවක දාලා තියන එක.
තමන්ගේ වොලට්, ජංගම දුරකථන, හැඳුනුම්පත් හා පාස්පෝට් වගේ දේවල් ආරක්ෂිතව සහ වියළිව තියාගන්න අර ඩ්‍රයි බෑග් කියලා කියන වතුර නොයන පොඩි බෑග් එකක් එහෙමත් තියෙන එක හොඳයි.
ඒ වගේම විශේෂම තව දෙයක් තියෙනවා. බැක්පැක් එකේ ප්‍රධාන කොටස් සහ වැදගත් දේවල් තියෙන කොටස් ලොක් කරන්න පුළුවන් ශක්තිමත් පැඩ්ලොක් එකක් හෝ කීපයක් යොදන එකත් ආරක්ෂාවට හොඳයි.
7. තවත් අත්‍යාවශ්‍ය දේවල්
මෙතනදී අපි ගෙනියන දේවල්, අපි යන්නේ කොහේද කියන එක මත වෙනස් වෙන්න පුළුවන්. හැබැයි පොදුවේ ඕනම සංචාරකයෙක්ගේ බැක්පැක් එකක තියෙන්න ඕන දේවල් තමයි පොඩි ටෝච් එකක්, දඩයම් පිහියක් හරි ස්විස් පිහියක් හරි, ලයිටරයක් වගේ දේවල්. මේ දේවල් වල වුවමනාව ඇත්තටම නොහිතන මොහොතකදී තමයි මතුවෙන්නේ. මීට අමතරව ඉතින් තමන්ගේ වුවමනාවේ හැටියට බොට්ල් ඕපනර් එකක් එහෙමත් තිබ්බට කමක් නෑ. කොහොමත් අර බහුකාර්‍ය ස්විස් පිහියක් වගේ දෙයක් බෑග් එකේ තියෙනවා නම්, බොට්ල් ඕපනර්, ඉස්කුරුප්පු නියන්, අඬු වගේ හැම දෙයක්ම ඒකේ තියෙනවනේ. මීට අමතරව ඉතින් සන්ග්ලාසස්, රීඩින් ග්ලාසස් දාලා තියෙන පොඩි පසුම්බි එහෙමත් බැක්පැක් එකේ දාගන්න එක හොඳයි. නතර වෙන තැනකදී තමන්ගේ කණ්ණාඩි ආරක්ෂා කරගන්න පුළුවන් ඒ විදියට. තව හිතලා බැලුවොත් ෂොපින් බෑග් දෙක තුනක්, අර හුළං නොවදින විදියට සිප් කරලා වහන්න පුළුවන් පොලිතීන් බෑග් දෙක තුනක් එහෙමත් බැක්පැක් එකට වටිනවා.
නියම ක්ලැසික් සංචාරකයෙක් නම්, මැප් එකක්, මාලිමාවක් වගේ දේවලුත් බැක්පැක් එකට දාගන්න අමතක කරන්නේ නෑ.
දැන් මේ බැක්පැක් එක මේ විදියට පිළියෙල කරගත්තහම, ලෝකේ කෙළවරට වුනත් ගිහින් එන්න පුළුවන්!
Leave a Reply