2005 වර්ෂයේ ජූලි මස පළවෙනිදා සිදු වූ රෝයල් පාර්ක් ඝාතනය මුළු රටම තිගැස්මකට ලක් කරන්න සමත් වුණ ඝාතනයක්. ඒකට හේතු වුණේ ඝාතනයට ලක් වූ තරුණිය මරා දමා තිබූ අමානුෂික ආකාරය. නමුත් වැඩි කාලයක් ගත වන්නට පෙර මිනීමරුවා කොටුකර ගන්න ශ්‍රී ලංකා පොලීසිය සමත් වුණා. මෙම ඝාතනය සම්බන්ධ නඩු විභාගයත් ලංකාවේ ඉතාමත් ආන්දෝලනාත්මක නඩු විභාගයක් බවට පත් වුණා. ඉහළ යැයි සම්මත සමාජ පන්තියේ දරුවන් ගත කරන විනෝදකාමී ජීවිත පිළිබඳව උසාවිය ඉදිරියේ සතිපතා හෙළිවුණා. මේ නිසාම මේ නඩුව පිළිබඳව කියවීමට ඒ කාලය තුළ බොහෝ දෙනෙක් පෙළඹී සිටියා. මහාධිකරණයෙන් ඇරඹුණු නඩු විභාගය අවසානයේ දී ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කෙළවර වුණා. ඒ ලංකාවේ නීතියටත් නව අර්ථකථන එක් කරමින්. හදිසියේම රෝයල් පාර්ක් ඝාතනය නැවතත් කරළියට එන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මෙහි ඝාතකයාට ජනාධිපති සමාව දීමට තමන් සූදානම් බව ප්‍රකාශ කිරීමත් සමග. මේ නිසා අපි හිතුවා රෝයල් පාර්ක් ඝාතනය ගැන කෙටි සටහනක් ඔබ වෙත ගෙන එන්න.
1. ස්වීඩන් – ශ්‍රී ලංකා කැදැල්ල
බොහෝ දෙනෙක් සිතා සිටින්නේ රෝයල් පාක් සිදුවීමේදී ඝාතනයට ලක් වූ තරුණිය විදේශික කාන්තාවක් බවක්. නමුත් මේ කතාව අර්ධ සත්‍යයක්. ඉවෝන් ජොන්සන් නම් වූ ඇගේ පියා වූණේ ස්වීඩන් ජාතික රොජර් ජොන්සන් නම් කෝටිපති ව්‍යාපාරිකයෙක්. මව චමල්කා නම් ශ්‍රී ලාංකික කාන්තාවක්. රොජර් ජොන්සන් මහතා ලංකාවට පැමිණ ව්‍යාපාර කටයුතු ආරම්භ කර ගැනීමේදී ඇතිවුණු දැනහැඳුනුම්කමක් ප්‍රේමයකට පෙරළී අවසානයේ ඔවුන් දෙදෙනා විවාහ වුණා. මේ විවාහයෙන් ඔවුන්ට ඉවෝන් සහ කැරොලයින් නමින් දියණියන් දෙදෙනෙක් ලැබුණා.
2. ඉවෝන් සහ කැරොලයින්
තම දියණියන් දෙදෙනා වෙනුවෙන් සියලු සැප විහරණ ලබාදුන් ජොන්සන් මහතා ඔවුන් දෙදෙනාව කොළඹ ප්‍රකට ජාත්‍යන්තර පාසල් දෙකකට ඇතුළත් කරනු ලැබුවා. එම සමාජ පංතියේ ගති සිරිත් වලට ඔවුන් දෙදෙනාම තදින් ඇබ්බැහි වුණා. රාත්‍රී සමාජ ශාලා, රාත්‍රී සාද, මත්පැන් සාද ආදියේ නිත්‍ය සාමාජිකයන් දෙදෙනෙක් බවට ඔවුන් දෙදෙනා පත්වුණා.
මේ අතරතුර කාලයේ දී ඉවෝන් රූපලාවණ්‍ය පාඨමාලාවක් හැදෑරීම සඳහා විදේශගත වුණා. මුලු ජීවිත කාලය පුරාවටම තමන් ළඟින් සිටි අක්කා විදෙස්ගත වීම නිසා කැරොලයින්ට පාළුවක් දැනුණත් ඇය වටා සිටි මිතුරු කැළ නිසා එම පාළුව ඇයට කෙමෙන් කෙමෙන් නොදැනෙන්නට පටන් ගත්තා.
3. ඉවෝන් හිත ළඟ නතර වුණු පවිත්‍ර සහ ශාමන්ත
මේ කාලය තුළ දී කැරොලයින්, පවිත්‍ර නම් තරුණයෙකු සමග පෙම් සම්බන්ධතාවයක් ඇති කර ගෙන තිබුණා. නමුත් එම පෙම් සම්බන්ධතාවයට වැඩි ආයුෂ තිබුණේ නැහැ.
ඉන් පසුව කැරොලයින්ගේ හිත නැවතුනේ ජූඩ් ශාමන්ත ජයමහ නම් වූ පාසල් වියේ සිට ඇය හඳුනා ගෙන සිටි තරුණයෙකු වෙතයි. ඇත්ත වශයෙන්ම කිවහොත් මේ පෙම් සම්බන්ධතාවයට මුල් පිරුවේ ශාමන්ත විසින්. ඇතැම් වාර්තා වලට අනුව ශාමන්ත මින් පෙර ඉවෝන්ගේ ද පෙම්වතාද වී තිබෙනවා.
4. හිත බිඳුණු සාදය
මේ අතරතුර කාලයේදී ඉවෝන් නිවාඩු ලබා කැරොලයින් ඇතුළු පවුලේ සියලු දෙනා සමග මහා බ්‍රිතාන්‍යයේ විනෝද සංචාරයක නිරත වී නැවතත් ලංකාවට පැමිණෙනවා. දිගුකලකට පසුව ලංකාවට පැමිණි ඉවෝන් සමග රාත්‍රී සාදයකට යෑමට කැරොලයින් තීරණය කරනවා, මේ සඳහා ශාමන්තවත් සහභාගි කර ගැනීමට ඔවුන් දෙදෙනා එකඟතාවයකට පැමිණෙනවා.
නමුත් එම සාදයට පවිත්‍ර පැමිණ කැරොලයින් සමග කතා බහ කිරීමත් සමගම සියලු දේ වෙනස් වෙන්නට පටන් ගන්නවා. ඒ අවස්ථාවේදී මහා හඬින් කෑ ගසන ශාමන්ත කැරොලයින් තමන් හා වහාම මේ ස්ථානයෙන් පිටතට යා යුතු බව ප්‍රකාශ කරනවා. ඉන් පසුව දිගින් දිගටම ඔවුන් දෙදෙනා රණ්ඩු වන්නට පටන් ගන්නවා. මේ අවස්ථාවේදී මැදිහත් වුණු ඉවෝන් තම නැගණිය සමග රණ්ඩු නොකරන ලෙස ශාමන්තට බැන වදිනවා.
5. මරා දැමුණු සමනළිය
අවසානයේදී ශාමන්ත සහ කැරොලයින් රෝයල් පාර්ක් සංකීර්ණයේ පිහිටි කැරොලයින්ගේ නිවසට යෑමට තීරණය කරන අතර ඉවෝන් නැවතත් සාදයට සහභාගි වීමට යනවා. දිගු වේලාවක් කැරොලයින්ගේ කාමරේ ගතකරන ශාමන්ත ඇයට සමු දී විදුලි සෝපානය අසල අසලට ගමන් කරනවා.
නමුත් අහම්බෙන් මෙන් ඉන් පිටතට පැමිණෙන්නේ ඉවෝන් (ඇතැම් වාර්තාවලට අනුව ඉවෝන් කෙරෙහි ඇති වුණු දැඩි කේන්තිය මත ඇයව ඝාතනය කිරීමට අවශ්‍ය වූ නිසා විදුලි සෝපානයෙන් ඇය එනතෙක් ශාමන්ත රැක සිට තිබෙනවා) ශාමන්ත දුටු වහාම කෝපයට පත්වූ ඉවෝන් තමන්ගේ නැගණියගේ ජිවිතය විනාශ කළ බව කියමින් ඔහුට පහර දෙන්නට පටන් ගෙන තිබෙනවා.
මෙහිද ශාමන්ත ප්‍රතිප්‍රහාර දෙන්නට වූ අතර ඒවා දරාගැනීමට නොහැකි වූ ඉවෝන් ඔහුගෙන් බේරීමට විසි වෙනි තට්ටුව දක්වා දුවගෙන යනවා. ඇය පසු පස ලුහුබැඳ ගිය ශාමන්ත ඇගේ හිස අල්ලා වතාවන් කීපයක් බිත්තියේ ගසනු ලබනවා. මේ පහරදීම්වලින් ඇගේ හිස් කබලට දැඩි ලෙස හානි සිදු වූ අතර ඇයව දහනම වැනි මහළ තෙක් පඩිපෙළ දිගේ පෙරළීගෙන යනවා. නමුත් ශාමන්තගේ කේන්තිය සංසිඳවීමට එය ප්‍රමාණවත් වුණේ නෑ. ඔහු කරන්නේ ඉවෝන් ඇඳ සිටි කලිසම බාගයට ගලවා ඒ මගින් ඇගේ ගෙල සිර කිරීමයි.
ඉන් අනතුරුව සිහිය එළවාගත් ශාමන්ත, රිල්වාන් නම් තමාගේ මිත්‍රයකුගේ සහයෝගයෙන් එම ස්ථානයෙන් පළා යනවා. නමුත් ඉවෝන්ගේ රුධිරය ගෑවුණු ඔහුගේ අත්ලේ සටහනක් එම ස්ථානයේ ඉතිරි කරමිනුයි ඔහු යන්නේ. මේ නිසා කෙටි කාලයක් තුළ ශාමන්තව නීතියේ රැහැනට කොටු කර ගනු ලබනවා.
6. ඓතිහාසික නඩු තීන්දුව
පළමුව මෙම සිද්ධිය විභාග කළ මහාධිකරණය ශාමන්තට වසර 12ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් සහ ලක්ෂ 3ක දඩයක් නියම කරනු ලැබුවා. ඒ ඔහු මිනීමැරුමක් නොවන සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයක වරදකරුවෙකු බවට පත් කරමින්. නැවතත් ඉවෝන්ගේ දෙමව්පියන් සහ නීති අංශ අභියාචනාධිකරණය වෙත ගිය අතර අභියාචනාධිකරණය මගින් ශාමන්තට මරණ දඬුවම ලබා දෙනු ලැබුවා. ඒ අවස්ථාවේ දී ශාමන්තගේ දෙමව්පියන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මෙම නඩුව ගෙන ගියත් කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය මරණ දඬුවම ලබා දීමට අභියාචනාධිකරණයට හැකියාවක් පවතින බවට තීන්දුවක් ලබා දුන්නා. මෙය ලංකා ඉතිහාසයේ අභියාචනාධිකරණය මගින් මරණ දඬුවම ලබා දුන් පළමු අවස්ථාව ලෙස සලකන්න පුළුවන්.
7. ඉන්පසුව
කෙසේ වෙතත් මරණ දඬුවම ක්‍රියාත්මක නොවීම නිසා ශාමන්ත සිරගත වී සිටින කාලය තුළ ආචාර්ය උපාධියක් දක්වා ඉගෙන ගෙන තිබුණා.
ශාමන්තට නිදහස ලැබේද යන්න අපට ඉදිරියට බලා ගන්න පුළුවන්. මේ බව ඇසීමෙන් පසුව කැරොලයින් විසින් ඉතා සංවේදී ලිපියක් පුවත්පත්වල පළ කර තිබුණා. ඉවෝන්ගේ මරණයත් සමග තමන්ගේ මුළු පවුලේම සතුට ද වැළලී ගිය බව ඇය ප්‍රකාශ කර තිබුණා.
ඔබ සිතන පරිදි ශාමන්තට ජනාධිපති සමාව ලබා දියයුතුද නැද්ද? ඒ ගැන ඔබේ අදහස් පළ කරන්න කමෙන්ට් තීරුව අපි ඔබ වෙනුවෙන් විවෘත කරලා තියෙනවා. ඒ වගේම මේ ආටිකල් එක ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා.
මේ සිදුවීම පාදක කරගෙන නිර්මාණය වුණු මියුසික් වීඩියෝ එකක් ගැන අපි මීට සති කීපයකට කලින් ඔබට කිව්වා. ඒ ආටිකල් එකේ ලින්ක් එකත් අපි මේ සමඟ අමුනනවා.
ඇත්ත කතා වලින් හැදුණු ලංකාවෙ මියුසික් වීඩියෝස්
Leave a Reply