1962 රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණය සිදුවූ ආකාර​ය

ලංකාවේ එතෙක් මෙතෙක් ආරක්ෂක අංශ මගින් රාජ්‍ය බලය අල්ලා ගැනීම සඳහා  සිදු කරපු එකම කුමන්ත්‍රණය සිදු වුණේ 1962 වර්ෂයේදී. අද අපි කතා කරන්න යන්නේ අන්න ඒ කුමන්ත්‍රණය ගැන. 

 

1. පටන් ගැන්ම

මේ කුමන්ත්‍රණයේ පසුබිම 1956 වර්ෂය දක්වාම දිව යනවා. මේ කාලයේදී හමුදාව සහ පොලිසිය බහුතරයක් සිටියේ කතෝලික සහ ක්‍රිස්තියානි භක්තිකයන්. ඒ වගේම බර්ගර් සහ දෙමළ ජාතිකයන් වැඩි වශයෙන් ආරක්ෂක සේවාවලට ඇතුළත් වී තිබුණා.1956 ලබපු විශිෂ්ට ජයග්‍රහණයෙන් පස්සේ එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා ආරක්ෂක සේවා වල පවතින මේ විෂමතාවය වෙනස් කිරීමට කටයුතු ආරම්භ කළා.

 

2. බණ්ඩාරනායක පළමු සිංහල බෞද්ධ පොලිස්පති ඉවත් කරයි

කෙසේ නමුත් එවකට සිටි පොලිස්පතිවරයා වූ ඔස්මන්ඩ් සිල්වා මහතා බණ්ඩාරනායක මහතාගේ මෙම නියෝග ක්‍රියාත්මක කිරීම ප්‍රතික්ෂේප කළා. විශේෂත්වය වන්නේ ඔහු මෙරට පළමුවන සිංහල බෞද්ධ පොලිස්පතිවරයා වීමයි. ඒ වෙලාවේ බණ්ඩාරනායක මහතා කළේ ඔහුව එම ධූරයෙන් ඉවත් කොට ඩබ්ලිව්. එෆ්. අබේකෝන් නම් සිවිල් නිලධාරියාව පොලිස්පති ධුරයට පත්කිරීම. මේ පත්කිරීමත් එක්ක පොලිස් සේවය තුළ අතිමහත් නොසන්සුන්තාවයක් ඇතිවුණා. එහිදී බහුතර පොලිස් නිලධාරීන්ගේ මතය වූයේ අගමැතිවරයා බලාපොරොත්තු වන්නේ බෞද්ධ පොලිස්පතිවරයෙකු නම් එවකට කනිෂ්ඨයෙකුව  සිටි ස්ටැන්ලි සේනානායක මහතාව පොලිස්පති ධූරයට පත් කළ යුතු බවත් කිසි විටෙක පොලිස් සේවයේ නිරත නොවන පුද්ගලයෙකු එම ධූරය සඳහා පත් කිරීම නුසුදුසු බවත්. නමුත් මේ ඉල්ලීම් ගැන සැලකිල්ලක් නොදැක්වූ එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා අභයකෝන් මහතාව පත් කිරීමේ තීරණය වෙනස් කිරීම කරේ නැහැ.

 

3. වසර හයක් අළු යට සැඟවුණු ගිනි පිපුරු

අබේකෝන් මහතා 1962 වන තෙක් එම ධූරයේ රැඳී සිටියා. ඒ වෙනකොට එස්. ඩබ්ලිව්. ආර්. ඩී බණ්ඩාරනායක මහතා ඝාතනය වී අගමැති ධූරය ස​ඳහා එතුමාගේ බිරිඳ  සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය පත්වී අවසන්. නමුත් බණ්ඩාරනායක ප්‍රතිපත්ති ඉදිරියට ගෙනියමින් ඇය විසින් කතෝලික පාසල් රජයට පවරා ගැනීම වැනි නිර්භීත තීන්දු ගනු ලැබුවා. මේ නිසා දිවයිනේ කිතුනු ප්‍රජාව අතර යම් නොසන්සුන්තාවයක් ඇතිව තිබුණා. එසේම දිවයිනේ උතුරු ප්‍රදේශයේ සත්‍යග්‍රහ ඇතිවුණු අත​ර දිවයින පුරා වැඩ වර්ජන නිරන්තරයෙන් පාහේ ඇතිවුණා.

 

4. සී.සී විසින් ස්ටැන්ලිට කියූ රහස පිට ගිය හැටි

දිනක් එවකට කොළඹ නගරයේ ආරක්ෂාව භාරව සිටි ස්ටැන්ලි සේනානායක මහතාව මුණ ගැසුණු නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වු සී. සී දිසානායක මහතා රටේ බලය අල්ලා ගැනීමට තමන් ඇතුළු නිලධාරීන් පිරිසක් කටයුතු කරන බවත් ඒ සඳහා ස්ටැන්ලි සේනානායක මහතාගේ සහාය අත්‍යවශ්‍ය බවත් දන්වනු ලැබුවා.

මේ පිළිබඳව ඇසීමෙන්  වික්ෂිප්ත භාවයට පත්වුණු ස්ටැන්ලි සේනානායක මහතා ඒ පිළිබඳව තමන්ගේ බිරිඳ වූ මායා සේනානායක මහත්මිය දැනුවත් කළා. මායා සේනානායක මහත්මිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයෙකු සහ එවකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ පී. ද එස්. කුලරත්න මහතාගේ දියණියයි. ඇය විසින් මේ පිළිබඳව තමන්ගේ පියා දැනුවත් කරනු ලැබුවා. ප්‍රතිඵලය වූයේ අගමැතිනිය සහ අගමැති උපදේශක ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක මහතා කුමන්ත්‍රණය පිළිබඳව සියලු තොරතුරු දැන ගැනීමයි. මේ පිළිබඳව කරුණු හෙළි වීමෙන් පසුව ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක මහතා මෙම කුමන්ත්‍රණය ව්‍යාර්ථ කිරීමට කටයුතු ආරම්භ කළා. ඒ අනුව කුමන්ත්‍රණයට සම්බන්ධ වුණු සියලු නිලධාරීන් අත්අඩංගුවට ගනු ලැබුවා.

 

5. කුමන්ත්‍රණයේ සමාජිකයෝ

මේ කුමන්ත්‍රණයේ ප්‍රධාන මොළකරුවන් වී තිබුණේ බණ්ඩාරනායක මහතාගේ ඥාති සහෝදරයෙකු වන කර්නල් ෆ්‍රෙඩ්‍රික් ඩි සේරම් සහ කර්නල් මොරිස් ඩි මෙල්. ශ්‍රී ලංකා පොලිසියේ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වන සී. සී දිසානායක සහ එවකට විශ්‍රාමික පොලිස්පතිවරයෙකු වන සිඩ්නි ආටිගල ඒ සඳහා දායක වී තිබුණා. ඊට අමතරව නාවික හමුදාවේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන රොයිස් ඩි මෙල් මෙන්ම සිවිල් සේවයේ ඇතැම් නිලධාරීන්ද මේ සඳහා සහභාගී වී තිබුණා. නමුත් ඔවුන් සියලු දෙනාම ඉක්මනින් අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබුණා.

 

6. කුමන්ත්‍රණය සාර්ථක වූවානම්…

පසුව හෙළි වන පරිදි කුමන්ත්‍රණකරුවන් අගමැතිනිය ඇතුළු රජයේ සියලු දෙනා අත්අඩංගුවට ගැනීමට සැලසුම් කර තිබුණා. කුමන්ත්‍රණයෙන් පසු අගමැතිනිය සහ දරුවන් එක්සත් රාජධානිය වෙත පිටුවහල් කිරීමටත් රටේ පාලනය හිටපු අගමැතිවරුන් වන ඩඩ්ලි සේනානායක, ජෝන් කොතලාවල සහ විජයානන්ද දහනායක යන අයගෙන් සමන්විත අගමැති මණ්ඩලයකට පැවරීමත් ඔවුන්ගේ අභිප්‍රාය වී තිබුණා.

 

7. කුමන්ත්‍රණයෙන් පසුව

කුමන්ත්‍රණයෙන් පසු එවකට අග්‍රාණ්ඩුකාර ධුරය දැරූ ශ්‍රීමත් ඔලිවර් ගුණතිලක මහතා කුමන්ත්‍රණයට සම්බන්ධ වී ඇති ද යන සැකය රජයට ඇති වී තිබුණා. මේ නිසා ඔහුව අග්‍රාණ්ඩුකාර ධූරයෙන් ඉවත් කොට විලියම් ගොපල්ලව මහතා එම ධූරයට පත්කරන ලෙස මහරැජින වෙත සන්දේශයක් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය විසින් යොමු කරනු ලැබුවා. ඒ අනුව විලියම් ගොපල්ලව මහතා මෙරට අග්‍රාණ්ඩුකාර ධුරයට පත්වූ පළමු සිංහල බෞද්ධයා බවට පත්වෙනවා.

මේ කුමන්ත්‍රණකරුවන්ට විරුද්ධව විශේෂ පනතක් සම්මත කර දඬුවම් කිරීමට උත්සහ කළත් ඔවුන් බ්‍රිතාන්‍යයේ ප්‍රිවිකවුන්සිලයට ඇපෑලක් ඉදිරිපත්  කිරීම මගින් නිදහස් වුණා.

 

1962 හමුදා කුමන්ත්‍රණය පිළිබඳව කෙටි සටහනක් ඔබ වෙතට ගෙන එන්නට මේ ආටිකල් එක සමත් වුණා කියලා අපි හිතනවා

මේ ආටිකල් එක ගැන ඔබේ අදහස් කමෙන්ට් සෙක්ෂන් එකේ ප​ළ කරන්න අමතක කරන්න එපා. මේ ආටිකල් එකට ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මත මෑත කාලීන ලංකා ඉතිහාසයේ සිදු වුණු  විශේෂ සිදුවීම් ගැන ආටිකල් කීපයක් ඔබ වෙතට ගේන්න අපේ බලාපොරොත්තුවක් තියෙනවා.