බුද්ධ කාලීන අග්‍ර උපාසකවරු හත්දෙනෙක්

Lifie අපි පහුගිය සතිවල අපේ සම්බුද්ධ ශාසනය බබළවපු බුද්ධකාලීන මහා ශ්‍රාවකයන් වහන්සේලා සහ මහා ශ්‍රාවිකාවන් වහන්සේලා පිළිබඳව කෙටි සටහන් පෙළක් අපි ඔබට ගෙන ආවා. අපි අද කතා කරන්න යන්නේ බුදු රජාණන් වහන්සේ ඇතුළු භික්ෂු සංඝයා වෙනුවෙන් සහ ධර්ම ප්‍රචාරය වෙනුවෙන් විවිධ උදව් පදව් කරපු සහ අධ්‍යාත්මික දියුණුවක් ලබාගන්න සමත්වුණු උපාසකවරු කීප නමක් ගැන.

 

1. සුරම්බට්ඨ උපාසක තුමා 

සුරම්බට්ඨ දිනක් බුදුරජාණන් වහන්සේ මුණ ගැසී ධර්ම ශ්‍රවණය කර සෝවාන් ඵලයට පත් වුණා. අනතුරුව ඔහු නිවසට පැමිණෙන අවස්ථාවේදී මාරයා බුද්ධ ශරීරයක් ඔහු ඉදිරිපිට මවා පාලා, මම කලින්  දේශනා කළ ධර්මය වැරදීමකින් දේශනා කළ බවක් පැවසුවා. සෝවාන් ඵලයට පත් වීමත් සමග තෙරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාවට පත් සුරම්බට්ඨ “ඔබ මාරයෙක්” දැයි විමසුවා. තමන්ව හඳුනාගත් නිසා ලැජ්ජාවට පත්වුණු මාරයා එය පිළිගත්තා. අනතුරුව සුරම්බට්ඨ මේ පිළිබ​ඳ විස්තරය බුදුරජාණන් වහන්සේට දැන්වූවා. සුරම්බට්ඨට ප්‍රශංසා කළ බුදු රජාණන් වහන්සේ ඔහුට වෙනස් නොවන ශ්‍රද්ධාවක් ඇති උපාසකයන් අතර අග්‍රස්ථානය ලබා දුන්නා.

 

2. මහානාම ශාක්‍යයා 

බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝයා වහන්සේ වේරංජාවේ වස් ගත කළ වස් කාලය තුළ යව වැනි රළු ආහාර වැළඳු බව ඇසූ මහානාම ශාක්‍ය බුදුරජාණන් වහන්සේ කපිලවස්තුවට වැඩම කළ අවස්ථාවේ දී වර්ෂයක් පුරා රස මසවුළු සහිත දන් වැටක් පැවැත්වූවා. මේ කාරණය පාදක කොටගෙන බුදුරජාණන් වහන්සේ මහානාම ශාක්‍යයා​ට “ප්‍රණීත දෑ මහා සංඝයාට දෙන්නා වූ උපාසකවරු” අතර අග්‍රස්ථානය ලබා දෙනු ලැබුවා. සුද්ධෝදන රජතුමාගේ බාල සහෝදරයා වූ අමිතෝදන රජුගේ පුත්‍රයකු වූ මහානාම ශාක්‍යයා අනුරුද්ධ මහරහතන් ​වහන්සේගේ සහෝදරයාද වෙනවා.

 

3. උග්ග ගෘහපති 

විශාලා මහ නුවර වාසය කරපු උග්ග ගෘහපතිතුමා බුදුරජාණන් වහන්සේ හමුවේ ධර්ම දේශනාවට සවන් දීමෙන් පසුව අනාගාමී ඵලයට පත් වුණා. භික්ෂූන් වහන්සේලාට නිතර නිතර සිව්පසයෙන් සහ ප්‍රණීත දෑ වලින් සංග්‍රහ කළ නිසා ඔහුට බුදුරජාණන් වහන්සේ විසින් “ප්‍රණීත ලෙස දන් දෙන උපාසකවරුන්” අතර අග්‍රස්ථානය ලබා දෙනු ලැබුවා. උග්ග සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ විසින් උග්ග ගෘහපතිතුමා  කෙරෙහි පවතින ආශ්චර්යමත් කරුණු අටක් පිළිබඳව දේශනා කොට වදාළා. භික්ෂූන්වහන්සේ නමකගේ පරිනිර්වාණය පිළිබඳව ඔහුට ඇතිවුණු කුකුස දුරු කිරීම පිළිබඳව උපාලි සූත්‍රයේ සඳහන් වෙනවා.

 

4. චිත්ත ගෘහපතිතුමා 

මච්ඡිකාසණ්ඩයේ වාසය කළ චිත්ත ගහපති තුමා මිගපථ ගමෙහි ප්‍රධානියා වුණා. මහානාම මහරහතන් වහන්සේගෙන් බණ ඇසීමෙන් පසුව සෝවාන් ඵලයට පත්වුණ, චිත්ත ගෘහපතිතුමා නැවතත් සැරියුත් මහරහතන් වහන්සේ ගේ බණ ඇසීමෙන් පසුව අනාගාමී ඵලයට පත්වුණා. ඉන් අනතුරුව ඔහු විසින්  තමන්ගේ අඹ උයනේ විහාරයක් කොට මහානාම මහරහතන් වහන්සේට පූජා කළා. භික්ෂූන් වහන්සේ දෙපිරිසක් ඇති අතර ඇති වුණු ධර්ම ගැටලුවක් නිරාකරණය කිරීමට චිත්ත ගෘහපතිතුමා මැදිහත් වුණා. මේ ගැන අසා චිත්ත ගෘහපතිතුමාගේ ධර්ම ඥානය අගය කළ බුදුරජාණන් වහන්සේ විසින් ඔහුට “ධර්ම කථික උපාසකවරු” අතර අග්‍රස්ථානය ලබා දෙනු ලැබුවා. 

 

5. හත්ථාලවක රජතුමා 

අලව් නුවර අලව් රජුගේ පුත්‍රයා ලෙස ඉපදී සිටියදී ආලවක නම් යක්ෂයාට බිලිදීමට නියමිතව සිටි කුමාරයා​ට බුදුරජාණන් වහන්සේ විසින් ආලවක යක්ෂයා දමනය කිරීමෙන් පසුව ජීවිත දානය ලැබුණා. ආලවක යක්ෂයාගේ අතින් බුදුරජාණන් වහන්සේගේ අතටත් ඉන් පසුව ඇමතිවරුන් අතින් රජුගේ අතටත් ගිය නිසා මේ කුමරු හත්ථාලවක නමින් ප්‍රසිද්ධියට පත් උනා. වැඩිවියට පැමිණීමෙන් පසුව රජකමට පත් වුණු හත්ථාලවක රජු දිනක් සුවිශාල පිරිසක් සමග බුදුරජාණන් වහන්සේ බැහැ දැකීමට පැමිණියා

මෙතරම් සුවිශාල පිරිසක් හික්මවා ගන්නේ කෙසේදැයි බුදුරජාණන් වහන්සේ විමසූ පැනයට පිළිතුරු ද දුන් හත්ථාලවක රජු තමන් “දානය, ප්‍රිය වචනය, අර්ථ චර්යාව, සමානාත්මතාවය” යන සතර සංග්‍රහ වස්තුවෙන් සියලු දෙනාට සංග්‍රහ කරන බව ප්‍රකාශ කළා. හත්ථාලවක රජු අගය කළ බුදුරජාණන් වහන්සේ “සතර සංග්‍රහ වස්තුවෙන් සංග්‍රහ කරන උපාසකවරු” අතර අග්‍රස්ථානයේ ඔහුව පිහිටවනු ලැබුවා. චිත්ත ගෘහපති සහ හත්ථාලවක රජතුමාව බුද්ධ ශාසනයේ සියලු උපාසකවරුන් විසින් ආදර්ශයට ගත යුතු බව බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට තිබෙනවා.

 

6. ජීවක වෛද්‍ය තුමා 

සාලවතී නම් ගණිකාව කුසේ අභයරාජ නම් කුමාරයාට දාව ඉපදුණු ජීවක නම් බිළිඳාව උපන් මොහොතේදීම කසල ගොඩට බැහැර කරනු ලැබුවා. නමුත් ඉරණමේ  ලියවී තිබූ පරිදි අභයරාජ කුමාරයා විසින් මේ බිළිඳාව කසල ගොඩින් රැගෙන රාජ සම්පත් ලබා දී රාජ කුමාරයෙකු ලෙස ඇති දැඩි කර ගනු ලැබුවා. කල් පිරුණු පසු වෛද්‍ය ශිල්පය ඉගෙනගත් ජීවක, බිම්බිසාර රජුගේ  රාජකී​ය වෛද්‍යවරයා බවට පත් වුණා. බුදු රජාණන් වහන්සේ සහ භික්ෂු සංඝයාට ඇතිවුණු රෝගාබාධ සඳහාද ප්‍රතිකාර කරනු ලැබුවේ ජීවක විසින්. පීතෘ ඝාතක අජාසත් රජු බුදුරජාණන් වහන්සේ මුණ ගැසීමට අදිමදි කරද්දි ජීවක වෛද්‍යතුමාගේ දැඩි ඉල්ලීම මත අවසානයේදී  බුදුරජාණන් වහන්සේ මුණ ගැසීමට එකඟ වුණා. එසේම තමන්ට හිමි අඹ වනයේ විහාරයක් කොට බුදුරජාණන් වහන්සේ වෙත ජීවක වෛද්‍යවරයා විසින් පිළිගන්වනු ලැබුවා.මේ කරුණු හේතුවෙන් “පිරිස පහදවන උපාසකයන්” අතර අග්‍රස්ථානය ජීවක වෛද්‍යතුමා වෙත බුදුරජාණන් වහන්සේ විසින් පිරිනැමුවා.

 

7. නකුල පිතා 

නකුල මාතා සහ නකුල පිතා යුවල සෑම බෞද්ධ අඹුසැමි යුවළක්ම ආදර්ශයට ගත යුතු අඹු සැමි යුවළක් ලෙස ත්‍රිපිටකය තුළ තුළ සඳහන් වෙනවා. පෙර භවයන් 500ක් පුරාවට ඔවුන් දෙදෙනා බෝධිසත්වයාණන් වහන්සේ ගේ මව සහ පියා ලෙස ඉපදී තිබෙනවා. මේ නිසා බුදුරජාණන් වහන්සේ දුටු පළමු අවස්ථාවේදී පුතා ලෙස ඔවුන් විසින් අමතනු ලැබුවා. තමන් දෙදෙනා මරණින් පසුව ඊළඟ භව වලදීත් අඹුසැමියන් ලෙස ඉපදීමට සිතා සිටින බවත් ​ඒ සඳහා සම්පූර්ණ කළ යුතු දෑ පිළිබඳවත් ඔවුන් විසින් බුදුරජාණන් වහන්සේ වෙතින් විමසනු ලැබුවා. ඔවුන්ගේ විශ්වාසය අගය කළ බුදුරජාණන් වහන්සේ “විශ්වාස කතා ඇති උපාසකවරු” අතර අග්‍රස්ථානය නකුල පිතා වෙත පිරිනමනු ලැබුවා.

 

මේ ලිපි පෙළ ගැන ඔබේ අදහස් කමෙන්ට් එකක් විදියට කමෙන්ට් සෙක්ෂන් එකට එකතු කරන්න. ඒ වගේම මේ ආටිකල් එක ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *