මැතිවරණය කියන්නේ ලංකාවට උත්සව සමයක් වගේ කාලයක්. හැමෝම ඒ ඒ අයට අදාළ ආකාරයට සතුට සමරනවා. සමහර අය සතුට ආශ්වාදය කරන්න දේශපාලන පෙලපාලි රැස්වීම් ආදියට සහභාගි වෙනවා. තවත් අය ෆේස්බුක් ට්විටර් හරහා රට ගොඩදාන්න හදනවා. කොහොම වුනත් මේ උදවිය මෙච්චර මහන්සි වෙන්නේ මේ අපේ පුංචි රට ගොඩදාන්න නේද කියලා හිතනකොට හිත වාවන්නේ නැහැ. දේශපාලක උතුමන්ලාත් මේ දවස්වල වැස්සය අව්වය ගමන දුරය කියලා සලකන්නෙ නැහැ. ලංකාව කියන පුංචි රට මේ විශ්වයේ ලස්සන තැනකට ගෙනියන්න දේශපාලකතුමාල ලොකු මහන්සියක් ගන්නවා. අපේ සීලරතන හිමි හැමදාම වගේ මේ පාරත් ඉල්ලනවා. උන්වහන්සේගේ නමින් ගිය වැරදි ප්‍රොෆයිල් එකකින් සාමාන්‍ය ජනයාට දැනෙන ගැටළු ගොඩක් සාකච්ඡා කළා. වෙලාවකට ඒ ප්‍රොෆයිල් එක සීලරතන හාමුදුරුවන්ම රන් කරන ෆේක් එකක්දෝයි කියලාත් සමහරු සැක පළ කරලා තිබුනා.
1. පොදු වැසිකිළි ගැටළුව
ටිකක් සල්ලිය බාගේ තියෙන මිනිහෙක්ට නම් රුපියල් විස්සක් ලොකු අවුලක් නැහැ. ඒත් දවසට රුපියල් විස්සෙ කොළ හතරක් පහක් කියන්නේ දුප්පත්කමේ අඩියේ ඉන්න මනුස්සයකුගේ එක කෑම වේලක වටිනාකම. කොළඹ පිටකොටුව බස් නැවතුම් පොලේ වැසිකිළි පහක් විතර තියෙනවා. මේ හැම වැසිකිළියකම මුත්‍රා කරන්න රුපියල් විස්සක ගාස්තුවක් අය කරනවා. සමහර විට දුර ගමන් බස් වලදි ගමන් යද්දි මගදි මුත්‍රා කරන්න ලැබෙයිදෝ කියලා මගීන් බය වෙනවා. බයවෙලා කෝකටත් කියලා පොඩි මුත්‍රා බර නිදහස් කරගන්න වැසිකිළියට යනවා. මුත්‍රා බර පොඩිය කියලා ගාස්තුව අඩුවක් නැහැ කෙලින්ම රුපියල් විස්සක් අය කරනවා. මේක ලංකාවේ හැම තැනම වගේ කෙරෙන දෙයක්. සමහර වැසිකිළි රුපියල් විස්සක් අය කළත් කිසිම පිරිසිදුකමක් ඇත්තෙත් නැහැ. වැසිකිළි ගාස්තු වැඩිවුනාම මිනිස්සු තාප්ප වලට, බිත්ති වලට, ගස් වලට විතරක් නෙමෙයි මහ පාරෙම වුනත් චූ කරනවා. ඉතින් මේ වැසිකිළි ගැටළුව ඉන්දියාවේ ජාතික ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ලංකාවෙත් මැතිවරණ ව්‍යාපාරයට වැසිකිළි ගැටළුව ගේන්න සීලරතන හිමි ෆේක් සංගමය සමත් වුනා.
2. බාලිකා බාලක පාසල් ප්රශ්නය
මෑතකදි තමාට දෙමළ යාලුවෝ හමුවෙන්න අවස්ථාවක් අධ්‍යාපන ක්‍රමයෙන් උදා කරලා නැහැය කියලා තරුණ යුවතියක් කියලා තිබුනා. ඇත්ත. අපේ පාසල් ක්‍රමය බොහෝවිට මුස්ලිම්, දෙමළ සහ සිංහල විදියට වෙන් කරලා තියෙන්නේ. ඒක නිසා අපිට පිරිමි ළමයි විදිහට ලස්සන මුස්ලිම් ගෑණු ළමයි ටෝක් කරන්න තියෙන අවස්ථාව නැතිවෙනවා. ගෑණු ළමයින්ටත් ඛාන්ලා වගේ ඉන්න මුස්ලිම් කොල්ලන්ව සෙට් වෙන්නේ නැති වෙනවා. ඒක වෙනම පැත්තක්. ඒත් ඒ එක්ක කවුරුහරි කොල්ලෙක් කමෙන්ට් එකක “මට 22යි මට තාම ගෑණු යාලුවෙක් නැහැ” කියලා තිබුනා. මුස්ලිම් සිංහල යාලුකම් හදන්න ඕනි. ඒ වගේම මිශ්‍ර පාසැල් ඇති වුනානම් ගැහැණු පිරිමි යාළුකම් මීට වඩා ඉක්මනින් ඇතිවෙලා තරුණ අසහනය නැතිකරගන්නට ඔවුන්ට හැකි වේවි.
3. දික්කසාද අඩු කිරීම
ළමයි පාසැලට දමලා ඒ ඉදිරිපිට ඉන්න අම්මලා අයථා සම්බන්ධවලට පෙළඹෙනවා කියලා ඉරිදා පුවත්පත් වල වාර්තා වෙනවා. ඒවා සමහර අවස්ථාවල ඉතාම බරපතල ගැටළු විදිහටත් පත්තර නිවුස් වල වාර්තා වෙනවා. ලංකාවේ දික්කසාද වලට ඇත්තටම හේතුව මේ පාසැල් ඉදිරිපිට ඉන්න අම්මලා ද කියන්න නම් අමාරුයි. ඒත් දික්කසාද කියන එක නම් බොහොම සැරට වැඩිවෙලා. සමහර වෙඩින් ආවරණය කරන ඡායාරූප ශිල්පීන්ට මුදල් ලැබෙන්නත් කලින් වෙඩිම කැඩිලා දික්කසාද වෙලා. දික්කසාද ඇති වීම වගේ දේවල් ජෝක්ස් වගේ පෙනුනාට ඒවත් ප්‍රබල සමාජ ගැටළුම තමයි. ඒ දික්කසාද නිසා දරුවන්ට ඇතිවන බලපෑම් ආදිය ගැනත් අපේ මහා සමාජයේ අවධානයට ලක් වෙන්නට ඕනි.
4. සොරු ඇල්ලීම
පොලිසියකට වැඩක් කරගන්න ගිය කෙනෙක්ට පොලිසිය කියන්නේ දශක දෙකකින් විතර අලුත් වෙලා නැති තැනක් කියලා අමුතුවෙන් කියා දෙන්න දෙයක් නැහැ. පොලිසි තාම වැඩ කරන්නේ පැරණි යුගයේ. ඩිජිටල් මීටර් එකෙන් වේගය මැන්නට දඩ කොළේ දෙන්නේ අතින් ලියලා. ඒක අරන් ගෙවන්න තියෙන්නේ තැපැල් කන්තෝරුවට. මේවා සිස්ටම් විදිහට හිතුවාම හරිම කරදරකාරී කාලය නාස්තිවෙන වැඩ. හොරු ඇල්ලීමටත් තැන් තැන්වල මිනිස්සු පුද්ගලිකව සවිකර තිබෙන සීසීටීවී එහෙම වැදගත් වෙනවා. ඒ වගේම පොදු ස්ථානවල සිදුවන වැරදි හොයන්න මේ විදිහට සීසීටීවී නයිට් විශන් කැමරා සවිකරන්න පුළුවන් නම් ඒකත් හොඳ පියවරක් වෙයි. ඡන්දයකදී ජාතිය, ආගම, භෞමික අඛණ්ඩතාවය, ව්‍යවස්ථාව, ණය බර වගේම මේ වගේ මූලික දේවල් ගැනත් අවධානය යොමුවෙන එක වටිනවා.
5. ලිංගික අධ්‍යාපනය
ලිංගික අධ්‍යාපනය පොතට දැම්මත් ගුරුවරු උගන්වන්න බයයි. ශාරීරික අධ්‍යාපනය විෂයට තිබුනු ලිංගික කොටස් සිසුන් බොහොම උනන්දුවෙන් බැලුවත් ටීචර්ලා ඒවා ඉක්මනින්ම ගසල වසල දානවා. සිසුන්ට ලිංගික අධ්‍යාපනය ලබා දීම වැදගත්. එතකොට ලිංගිකව බෝවන රෝග වගේම අනවශ්‍ය ගැබ් ගැනීම් ආදිය අඩු කරගන්නත් හැකියාව ලැබෙනවා. ඒ ලිංගික අධ්‍යාපනයට ලකුණු ලබාදීමට තීරණය කිරීමත් හොඳ වැඩක්.ඒ අදාළ පේජ් ඇඩ්මින්තුමා ඒ වගේ තරුණයින්ට බලපාන ගැටළු වැඩිපුර අවධානයට ලක් කරලා තියෙනවා.
6. අලුත් දඬුවම්
සුළු වරදකට හිරේ ගියාම හිරේදි ලොකු වැරදිකාරයෝ හමු වෙනවා. ඉන් පස්සේ සුලු වැරදි කරන මිනිහා ලොකු වැරදිකරුවන්ගේ ඇසුර නිසා ලොකු වැරදි කරන්න පෙළඹෙනවා. මේක කතාවක් නෙමෙයි. මේ ලංකාවෙ සිර ගෙවල්වල සාමාන්‍ය විදිහ. වැරදි කරන අය පුනරුත්ථාපනය කිරීම, ඔවුන්ට නවීන ලෝකය ගැන දැනුම ලබා දීම, ඔවුන්ගේ ඇති යම් පෞරුෂ දුබලතා වලට පිළියම් කිරීම ගැන දියුණු රටවලදී කතා වෙනවා. ඒත් අපේ හිරගේ ඉස්සරහ සිරකරුවෝ ද මනුෂ්‍යයෝය කියලා බෝඩ් ගහගෙන පැරණි ආකාරයටම සිරගෙවල් පවත්වාගෙන යනවා. සුළු වැරදිවලට මේ වගේ ගස් සිටුවීම සහ ඒවා රැකබලාගැනීම වගේ හොඳ දඬුවම් දෙන්න පුළුවන් නම් ඒක රටට ලෝකෙට වටින සුපිරි වැඩක් වේවි.
7. ඌබර් ඊට්ස් සහ ව්‍යායාම
මේක බැලූ බැල්මට ටිකක් විහිළු සහගත වැඩක්. ඒත් එක්තරා දියුණු රටක බයිසිකල භාවිතා කරන අය පරිගණක මැප් පද්ධතියකින් හඳුනාගෙන බයිසිකලයෙන් නගරයේ වැඩිපුර යන එන උදවියට විශේෂ සහන දෙන්න ක්‍රියා කරලා තිබුනා. දැන් දැන් මිනිස්සුන්ට ව්‍යායාම හුරුකරවන්න වගේම වාහන තදබද හා වාහන භාවිතය අඩු කරන්නත් මේ වගේ විවිධ ක්‍රියාමාර්ග ලෝකේ දියුණු නගර වල අත්හදා බැලෙනවා. නිකම් ජෝක්ස් එකක් වගේ පෙනුනත් මේ වගේ වැඩ තුලින් සංකේතාත්මකව හෝ තරබාරුකම අඩුකරගන්න ඕනි කියන සංඥාව මහත අයට සන්නිවේදනය වෙනවා. මේ වගේ වැඩක් පටන් ගත්තොත් ” අඩේ බලහං ඌබර් එකේ අලුත් වැඩේ නිසා දැන් එපා වෙලා… මට දුවාගන්න බැහැ නේ… ” කියලා යාලුවෙක් කියද්දි නිතැතින්ම අපේ කටින් “ඉතින් උඹ ටිකක් ෆිට් වුනානම් ඔය ප්‍රශ්න නැහැ නේ” කියලා කියවේවි.
8. රාත්‍රී සමාජ ශාලා සහ බස් රිය
රටක පොදු ප්‍රවාහනය කියන්නේ මූලික දෙයක්. මිනිස්සුන්ට හිතේ නිදහසින් යන්න පොදු ප්‍රවාහන සේවාවන් තියනවා නම් ඒ රටේ මිනිස්සු සතුටින් තමුන්ගේ වැඩ පලට යනවා. සතුටින් ගමන බිමන යනවා. ඒත් අපේ රටේ අවාසනාවට හොඳ පොදු ප්‍රවාහනයක් නැහැ. තියෙන ඒවැයිත් කට කපලා තෙරපිලා තමයි යන්න වෙන්නේ. ලොරි බොඩියට චැසිය ගහලා එන ඉන්දියන් බස් වල සීට් වල තියෙන ඉඩ බොහොම පටුයි. ඒ මදිවට ඒවායේ නැග්ග වෙලාවේ ඉඳන් නයිට් ක්ලබ් එකක වගේ කඨෝර සංගීතයකට ඇහුන් කන් දෙන්න වෙනවා. මේ බස් රථ ඉතාම ප්‍රාථමික මට්ටමේ තියෙන ඒවා. කොතරම් මොඩිෆිකේශන් කරත් සැප පහසුව, තිරිංග, සස්පෙන්ශන් ආදිය මේ බස් වල නැහැ. ඉතින් අඩුතරමේ බස් නවීකරණය මොක වුනත් බස් වල නයිට් ක්ලබ් සිරියවත් නැවැත්තුවොත් හිතේ නිදහසින් බස් එකේ යන උදවියට දුර ගමන් යන්නට හැකි වේවි. දේශපාලකතුමාලා බස් වල ගමන් යන්නෙ නැහැ. ඒත් මේ වගේ ප්‍රශ්නත් මිනිස්සුන්ට තියනවා කියලා ඒ උදවිය දැනගන්න එක වටිනවා.
මොඩර්න් ප්‍රශ්න වලට මොඩර්න් විසඳුම් කියලා තමයි මේ සීලරතන හාමුදුරුවන්ගේ එක ෆේක් පිටුවක තිබුනේ. ඒ අතර තිබුන ඇතැම් දේවල් නම් හුදෙක් විනෝදය, හාස්‍යය පිණිස නිර්මාණය වුනු ඒවා වුනා. ඒත් ඉතින් අපි අවුරුදු 71ක් තිස්සේ ජාතිය මුහුණ දී සිටින අවසාන අවස්ථාව කියලා ගිහින් කතිර ගහලා කොරගත්ත මහ දෙයක් නැහැ. තව ටික කාලෙකින් බොහොම දුප්පත් රටවල් වුනු බංග්ලාදේශ, ඉතියෝපියාව වගේ රටවලුත් ලංකාව පසුකරගෙන යනවා. හැට පැනපු නාකි උදවියගේ යල්පැනපු මතවාද තමයි අපි දේශපාලනය විදිහට දකින්නේ. එදිනෙදා මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න ගැන නිර්මාණශිලීව දකින මේ වගේ විකල්ප මතවාදත් ඇත්තටම රටේ පාලනයේදී සැලකිල්ලට ගන්න වටිනවා.
Leave a Reply