නින්දෙන් ගොරවන එ​ක සෞඛ්‍ය අවදානමක්ද? මේ කරුණු දැනගන්න!

විඩාබර දවසකට පස්සේ සුව පහසු නින්දක් කියන්නෙ ඉතින් අපි කොයි කාගෙත් ලොකු හීනයක් තමයි. නින්ද කියන්නේ ජීවිතේට කෑම, බීම තරමටම වැදගත් දෙයක්නේ. සුව නින්දක් නොලැබීම පහුකාලීනව මානසික, ශාරීරික කියන දෙපැත්තෙන්ම හුඟක් ගැටළු ඇතිවෙන්න පුළුවන් හේතුවක්. ඉතින් මේ කතා කරන්න යන්නෙ ඔය සුව නින්දට බාධා ඇති වෙන්න පුළුවන් වැඩක් ගැනයි. ඒ කිව්වේ ගෙරවිල්ල ගැනයි. මේ ගෙරවිල්ල හැබැයි බාධාවක් වෙන්නෙ ගොරවන පුද්ගලයටනම් නෙමෙයි. එයාගේ වටේ නිදාගෙන ඉන්න අනිත් අයට. එයා නම් සැප නින්දේ… එහෙමයි නේද අපි හිතන්නේ? හැබැයි ගොරවනවා කියන්නේ හොඳින් සැපට නින්ද ගිහින් කියන එක තහවුරු කරගන්න පුළුවන් සාධකයක් නම් නෙමෙයි කොහොමටවත්ම. ඉතින් බලමුකෝ මේ ගෙරවිල්ල පිටිපස්සෙ තියෙන කතන්දරේ මොකක්ද කියල.

 

 

1. ගෙරවීම

මොකක්ද ඇත්තෙන්ම මේ ගොරවනවා කියන්නේ? අපිට පිටට ඇහෙන්නෙ නම් ලී ඉරන මහා සද්දෙ විතරයි උනාට මේක පිටිපස්සෙ තියෙනව පොඩි කතන්දරයක්. ගෙරවීම කියල කියන්නේ ශ්ව​සන පද්ධතියේ වාතය ගමනාගමනයට සිදුවෙන බාධාවක් නිසා ශ්​වසන ව්‍යුහයේ ඇතිවෙන දෙදරීමක් එහෙම නැත්තම් වයිබ්රේට් වීමක් අපිට පිටට ඇහෙන හැටි. සරලව කිව්වොත් නින්දෙන් හුස්ම ගන්නකොට ඒ ගන්න හුස්ම ගමන් කරන මාර්ගයේ අවහිරවීමක් නිසා අමාරුවෙන් ගමන් කරන වාතයේ ශබ්දය. හිතපු තරම් සරල නැහැ නේද? ඒ කියන්නේ මොනයම්ම හෝ හේතුවක් මත නින්දෙන් තමන්ගේ ශ්​වසන පද්ධතිය හරියට ක්‍රියාත්මක වෙන්නෙ නැහැ කියන එක තමයි සරලම කතන්දරේ.

 

 

2. ගෙරවීමේ වාසි අවාසි

ඇත්තටම කිව්වොත් වාසි අවාසි කිව්වට මේ ගෙරවිල්ලෙන්නම් ඇත්තේම අවාසිම විතරයි. ලොකුම දේ තමයි මේකෙ සෞඛ්‍ය අවදානම. ඒ ගැන පස්සට කතා කරන්න තියමුකෝ… මේ අනික් ගැටළු.

කිසිම තැනක හොරෙන් පොඩි ඇලට් එකක් දාන්නම බැහැ මේ ගොරවන උන්දැලාට නම්. හදිසියකට බස් එකේ, කෝච්චියේ, ටියුෂන් පන්තියකදී වගේ තැනකදී පොඩි නින්දක් ගියත් වටේටම ඇහෙන්න ගොරවල ලැජ්ජ වෙන්න තමයි වෙන්නෙ. අනිත් අවාසිය තමයි තමන් එක්ක නිදියන පාට්නර් ගේ නින්දට සොරි වීම. ගොරවන කෙනෙක් එක්ක නිදාගන්නව කියන්නෙ අනිත් කෙනාට සුව නින්දක් ගැන හිතන්නනම් අමාරුයි. අනික ගෙදරට එන හොරුන්ට එහෙමත් හරිම ලේසී ගෙදර මනුස්සයා හොඳ සැප නින්දේ නේද කියල තහවුරු කරගෙනම වැඩේට බහින්න 😀

 

 

3. ගෙරවීමට හේතු

අපි කලින් කිව්වනේ ගෙරවීම කියල අපිට පිටට ඇහෙන මේ ශබ්දය ඇතිවෙන්න ශරීර අභ්‍යන්තරයෙන් සිද්ධවෙන ක්‍රියාවලිය මොකක්ද කියල. සුළු නින්දේ ඉඳන් තද නින්දට වැටෙන්න වැටෙන්න මේ මාංශපේශි ලිහිල්වීම වැඩිවෙලා ගෙරවීම වැඩිවෙනවා. මුඛයේ පිහිටීම අනුව කෙටි තල්ලක් තියෙන කෙනෙකුගේ වාතය ගමන් කරන්න තියෙන මාර්ගය කෙටි වීම, නින්දට පෙර ඇල්කොහොල් භාවිතා කිරීම නිසා උවමනා ප්‍රමාණයට වඩා ශ්​වසන මාර්ගයේ මාංශපේශීන් ලිහිල් වීම, උපතින්ම පිහිටන නාසයේ හෝ උගුරේ අසාමාන්‍ය තත්ත්වයන්, හොඳ නින්දක් කලින් නොලැබීම නිසා ලබන නින්දේදී මාංශපේශීන් අධිකව ලිහිල් වීම, නිදියන ඉරියව්ව, ඒ කිව්වේ හුඟක් වෙලාවට උඩුබැලි අතට නිදාගැනීමේදී උගුරේ මාංශපේශීන් ගුරුත්වාකර්ෂ​ණයේ බලපෑමට ලක්වීම නිසා ශ්​වසන මාර්ගය පටු වීම කියන දේවල් තමා මේ ගෙරවිල්ලට සවිස්තරාත්මක හේතු. 

 

 

4. ගොරවන එක සාමාන්‍යයි ද?

අපි සුළුවෙන් ගණන් ගත්තට ගෙරවීම කියන්නේ සාමාන්‍ය ක්‍රියාවක්ම නෙමෙයි. ඔය ඉහත කියපු හේතු වලට අමතරව මේ ගෙරවීම කියන්නේ Obstructive Sleep Apnea කියන රෝගයේ මූලිකම රෝග ලක්ෂණය වෙන්න පුළුවන්. ඒ කියන්නේ නිරන්තරයෙන් නැවත නැවත සිදුවෙන ශ්​වසනය නැවතීම හා ආරම්භ වීම නිසා ඇතිවෙන නින්දේ අක්‍රමවත් බවට සම්බන්ධ රෝගයක්. අධිකව ගෙරවීම සහ කොච්චර ලොකු නින්දකින් පස්සේ උනත් අධිකව දැනෙන මහන්සිය මේ රෝගය හඳුනාගන්න පුළුවන් ප්‍රධානම ලක්ෂණ තමයි. 

 

 

5. සෞඛ්‍ය අවදානම

Obstructive Sleep Apnea කියන රෝගයේ සෞඛ්‍ය අවදානම ගැන කතා ක​ළොත් මේන්න මෙහෙමයි. ශ්​වසන ක්‍රියාවලියට බාධා වීම, නින්දට බාධාවීම වගේ පොඩි පොඩි කාරණා වලට අමතරව හෘදය වස්තුවට ඇතිවෙන පීඩනය තමයි මේකෙ ලොකුම ගැටලුව. දීර්ඝ කාලීනව මේ Obstructive Sleep Apnea කියන තත්ත්වයෙන් පීඩාවිඳීම මඟින් හෘදය වස්තුවට සිදුවෙන රුධිර සැපයුමේ පීඩනය ඒ කිව්වේ Blood Pressure එක වැඩිවෙන්නත් ඒකෙ ප්‍රති​ඵලයක් හැටියට හෘදය වස්තුව විශාල වෙන්නත්, ඒ මඟින් හෘදයාබාධ වැළඳීමට ඇති අවදානම ඉහළ යන්නත් පුළුවන් බව තමයි සඳහන් වෙන්නෙ. 

 

 

6. රෝග විනිශ්චය

 

මේ ගෙරවීම නිසා ඇතිවෙන අවදානම් තත්ත්වය හඳුනගන්න වෛද්‍යවරු විසින් විවිධ ක්‍රම අනුගමනය කරනවා. ඔයාගේ රෝග ඉතිහාසයන් ගැන හොයල බලල මේ ගෙරවීම අහන් ඉන්න ඔයාගෙ පාර්ට්නර්ගෙන් ප්‍රශ්න කිහිපයක් අහන්න පුළුවන් මේ ගෙරවීමේ ස්වභාවය, ඒක වැඩිවෙන අවස්ථාවන්, පටන් ගත්ත කාලසීමාව වගේ දේවල් ගැන. ඊට පස්සේ තමයි X-Ray, හෝ එතනින් එහාට ගියපු පරිගණකගත ස්කෑන් පරීක්ෂණ වලට යන්නේ. එතනිනුත් සැහීමකට පත් නොවුනොත් ස්ලීප් සෙන්ටර් කියල ස්ථානයක මුළු රැයක් නින්දේ ඉද්දි මේ තත්ත්වය අධීක්ෂණය කරන්නත් පුළුවන්. 

 

 

7. ප්‍රතිකර්ම

 

මේ ගැටලුවට ප්‍රතිකාර වශයෙන් මුලින්ම වෛද්‍යවරු නිර්දේශ කරන්නේ ඉතාම සුළු දෛනික චර්යාවන් වෙනස් කරගැනීම් කිහිපයක්. ශරීර ස්කන්ධය අඩු කරගන්න, නින්දට ලංවෙලා ඇල්කොහොල් භාවිතය නවත්වන්න, නාසයේ අවහිරතා සඳහා ප්‍රතිකාර, උඩුබැලි අතට නිදාගැනීමෙන් වැලකීම වගේ දේවල්. 

එතනින් ගැටලුව විස​ඳෙන්නේ නැත්තම මුඛයට පළඳින උපකරණයක් හෝ මුඛ ආවරණයක් මඟින් මේ අවහිරතාව මඟ අරින්න උත්සාහ කරන්නත් පුළුවන්. 

ඔය කියන කාරණා දෙකම සාර්ථක නොවුනොත් තමයි ඔන්න ශ්​වසන පද්ධතියේ ඉහ​ළ කොටසට සිදු කෙරෙන ශල්‍ය කර්මයක් මඟින් මේක නිවැරදි කරන්න අවශ්‍යයි කියල වෛද්‍යවරු තීරණය කරන්නේ. ඉතින් ඔය ශල්‍යකර්මවලට යන්න කලින් ඔය පොඩි පොඩි දෛනික චර්යාවන් වෙනස් කරල අපි සුළුවෙන් හිතන් හිටියට එහෙමම නොවන මේ ගෙරවිල්ලේ ප්‍රශ්නේ විසඳගන්න උත්සාහ කළානම් තමයි හොඳ. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *