තමන්ට කියවන්න ආස හිතෙන, හොඳ පොතක් තෝරගන්නේ කොහොමද?

ගොඩක් දෙනෙක් කියනවනේ දැන් කාලේ පොත් කියවන පුරුද්ද අඩු වෙලා, මිනිස්සු ස්මාට් ෆෝන් වලටයි, වෙන වෙන ස්මාට් ගැජට් බැජට් වලටයි හුරු වෙලා කියලා. හැබැයි ඉතින් ඔය කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනේ, නුවර පොත් ප්‍රදර්ශනේ, තඩි නපුරු වෘකයගේ පොත් ප්‍රදර්ශනේ වගේ එව්වල පොඩ්ඩක් කරක් ගහලා බැලුවහම හිතෙනවා ඔය නව තාක්ෂණ ඇලජික් උදවිය කියන තරමට පොත් කියවන පුරුද්ද අභාවයට ගිහිල්ලා නෑ කියලා. ඇත්තටම ශ්‍රී ලංකාව ගත්තොත් තාමත් සෑහෙන්න පිරිසක් පොත් කියවනවා. හැබැයි මේ පොත් කියවන උන්දැලත් දෙකොටසකට බෙදන්න පුළුවන්. එක කොටසක් තමයි පුංචි කාලේ ඉඳලම පොත් කියවලා, අදටත් පොත් කියවන සීසන් වෙච්ච කියවන්නෝ. මේ වගේ උන්දැලව ඔය බොරු ෂෝ වලින් අන්දන්න, ලස්සන කවර, ලස්සන ඇඩ් පෙන්නලා පොත් ඇඟේ ගහන්න බෑ. ඒ අය හොඳ පොත් තෝරගන්නත් පුරුද්දෙන්ම දන්නවා. හැබැයි එහෙම සීසන් නොවුණු පොත් කියවන උන්දැලාත් බර තොගයක් ඉන්නවා. ඒ අයට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි කොහොමද කියවන්න හොඳ පොතක් තෝරගන්නේ කියන එක. ආන්න ඒ නිසා, ඒ ප්‍රශ්නේ තියෙන අයට උපකාරයක් කරන්න තමයි අපි මේ ආටිකල් එක ලියන්නේ!

 

1. තමන්ගේ කැමැත්ත සහ අවශ්‍ය දේ මුලින් හොයාගන්න

 මේ කියන්නේ තමන් කැමති විදියේ පොත් මොනවද කියන එක ගැන සහ, තමන් කියවන්න හුරු විය යුතු පොත් මොනවද කියන එක ගැනයි. පැහැදිලි නැද්ද? අපි මෙහෙම ගමු. පොත් කියවන්න පටන් ගන්න කෙනෙක් බරසාර පොත් වලින් පටන් ගන්න එක ගොඩක් වෙලාවට වෙන්නේ නැති දෙයක්. ඇයි? පොත් කියවන එක සාමාන්‍යයෙන් ගොඩක් දෙනෙක්ට විනෝදාංශයක්. ඉතින් බරසාර පොත් කියවන එක විනෝදයක් වෙන්නේ එහෙමත් කෙනෙක්ට තමයි. අනික බරසාර පොත්, ක්ලැසික් එහෙම කියවන්න පොඩි ප්‍රැක්ටිස් එකකුත් ඕන. ආන්න ඒ නිසා පටන් ගැන්මට තමන් ආස පොත් වර්ගෙකින් පටන් ගත්තට කමක් නෑ. ඒ කියන්නේ රහස් පරීක්ෂක කථා, හොල්මන් කථා, ආදර කථා වගේ එව්වා. ඒ ජාතියේ පොත් හොයාගන්න අමුතුවෙන් දඟලන්න ඕනෙත් නෑ. ඩීමන් ආනන්දගේ, චන්ද්‍රසේනද සිල්වාගේ ඉඳලා දැන් කාලේ ලේඛකයොත් ත්‍රිලර් එහෙම ලියනවා. ෂර්ලොක් හෝම්ස් හොඳ පරිවර්තනත් ඕනෑ පදම් හොයාගන්න තියෙනවා. ඕක තමයි කැමැත්ත කියලා කිව්වේ.

හැබැයි ඉතින් පොත් කියවන්න පොඩ්ඩක් හුරු වුනාට පස්සේ ටිකක් ආනන්දයෙන් ප්‍රඥාවට යන්නත් හිතන්න ඕනෑ. ආන්න ඒකට පොඩ්ඩක් බරසාර පොත් කියවන්නත් හුරු වෙන්න ඕනෑ. ආන්න ඒක තමයි අවශ්‍ය දේ. ඉතින් ඔන්න ඔය කියපු කාරණා දෙක මුලින්ම පැහැදිලි කරගන්න වෙනවා.

 

2. පොත් බකට් ලිස්ට්

මෙන්න මේ විදියේ ලිස්ට් වලට පොත් කියවන එකත් එක්තරා විදියක ජොලි වැඩක්. දැන් ඔය සරල ගූග්ල් සර්ච් එකකින් වුනත් හොයාගන්න පුළුවන් මැරෙන්න කලින් කියවිය යුතු පොත් ලිස්ට්. මේවලින් ඔය බීබීසී, ගුඩ්රීඩ් වගේ වෙබ් අඩවි වලින් එහෙම ඉදිරිපත් කරන ලිස්ට් සෑහෙන්න හොඳයි. හැබැයි ඉතින් මෙව්වා ඉංග්‍රීසි පොත්. ගොඩක් වෙලාවට ඔය විශ්ව සාහිත්‍යය කියලා හඳුන්වන විදියේ පොත්. ඒවා වෙන වෙන භාෂා වලින් ලියැවිලා තිබුණත් ඉංග්‍රීසියට අනිවාර්‍යයෙන්ම පරිවර්තනය වෙලා තියෙනවා. සමහර වෙලාවට සිංහලෙනුත් හොයාගන්න පුළුවන්. ඉතින් මේ විදියේ විශ්වාසය තියන්න පුළුවන් ලිස්ට් එකක් අරගෙන, ඒ ලිස්ට් එකේ පොත් කියවන එකත් හොඳ ක්‍රමයක්.

එහෙම නැතිනම් අපි පහළින් සඳහන් කරන ක්‍රම පාවිච්චි කරලා තමන්ගේම ලිස්ට් එකක් හදාගන්නත් බැරි කමක් නෑ!

 

3. පරිවර්තන තෝරගන්න එකනේ වැඩේ!

ඇත්තටම කියවන්න හොඳ පොත් තෝරන එකේ අමාරුම කෑල්ල තමයි දැන් කාලේ හොඳ පරිවර්තන තෝරන එක. ඒකට හේතුව මේකයි. දැන් කාලේ පරිවර්තන ගොඩක් එව්වා ආප්ප බානවා වගේ තමයි සිද්ධ වෙන්නේ. ප්‍රකාශකයන්ටත් ඕන කරන්නේ කොලිටිය බල්ලට දාලා, කවුරු හරි ලව්වා පොත් පරිවර්තනය කරගන්න. ආන්න ඒ නිසා පරිවර්තන තෝරගන්න කොට මුලින්ම හොයලා බලන්න පරිවර්තකයා ගැන. අවුරුද්දට පොත් දහයක් පහළොවක් පරිවර්තනය කරන හාදයෙක් නම් කෙලින්ම නොසලකා හරින්න පුළුවන්. ඒ වේගෙන් කොලිටියට පොතක් පරිවර්තනය කරන්න අමාරුයි කියන එක අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. අනික ප්‍රකාශකයා ගැනත් හොයලා බලන්න ඕන. දෙවෙනියට පරිවර්තනයක අඩුපාඩු තියෙනවා කියලා පේනවා නම්, ඒත් මොකද කථාව තේරෙනවනේ කියලා අරගෙන වැඩක් නෑ. හොඳ පොතක් නම් ඒකේ මුල් කතුවරයා එක වචනයක් වුනත් ලියන්නේ තේරුමක් ඇතුව. එතකොට එව්වා පරිවර්තකයාට ඕන ඕන විදියට හලන්න හෝ වෙනස් කරන්න බෑ!

 

4. ෆේස්බුක් පොත් ගෘප් 

දැන් කාලේ පොත් කියවන අය එකතුවෙලා ඉන්න ෆේස්බුක් ගෘප් හැටහුටහමාරක්ම තියෙනවා. ඒක හොඳයි. ඉතින් පොත් කියවන්න ආස කෙනෙක් මේ ෆේස්බුක් ගෘප් වලින් එකකට හෝ කීපෙකට හෝ එකතුවෙන එකේ කිසිම වැරැද්දක් නෑ. හැබැයි මතක තියාගන්න ඕන දෙයක් තියෙනවා. මේ ගෘප් වල හොඳයි කියලා පෝස්ට් කරන හැම පොතම කියවන්න යන එක අමාරුවේ වැටෙන වැඩක්. ඒකට එක හේතුවක් තමයි පොත් උඩින් පල්ලෙන් කියවන හෝ නොකියවාම අනික් අයට පොත පෙරළන්න එන ඩයල්ස් පොත් ගැන දාන පෝස්ට් සතපහකට විස්වාස කරන්න බැරි වීම. දෙවෙනියට ඔය සමහර කතුවරුන්ගේ, ප්‍රකාශකයන්ගේ යාලු මිත්තරයෝ සහ එහෙයියෝ එහෙමත් තමන්ගේ කෙනාගේ පොත් මාරම මාරයි කියලා පෝස්ට් දානවා. අන්න ඒවාත් සමහර වෙලාවට තාර බර ඇරලා ගන්න වෙන්නේ. හැබැයි ඔය කියපු දෙවිදියේම අය වගේම ඉතාම හොඳට පොත් කියවන, පොත් පත් වල ගුණාගුණ දන්න නීයම පාඨකයෝත් පෝස්ට් දානවා. ආන්න ඒ විදියේ පෝස්ට් අනුගමනය කරලා අපිට කියවන්න හොඳ පොත් තෝරගන්න පුළුවන්.

 

5. සම්මාන පොත් සෙට් එකත් බලමුද?

සම්මාන දිනන පොත් කියවනවා කියන එකෙත් දෙපැත්තක් තියෙනවා. දැන් ලංකාවේ සම්මාන උළෙලවල් කීපයක්ම තියෙනවා. ස්වර්ණ පුස්තක සම්මාන උළෙල තමයි ඒකෙන් අති ජනප්‍රියම. එතනින් එහාට රජත පුස්තක, විද්‍යෝදය සම්මාන, ගොඩගේ සම්මාන, රාජ්‍ය සම්මාන, ෆෙයාර්වේ සාහිත්‍ය සම්මාන වගේ සම්මාන උළෙලවල් වුනත් ජනප්‍රියයි. දැන් ඔය සම්මාන උළෙලවල් වල අන්තිම වටයට එන සහ ජයග්‍රහණය කරන පොත් කියවන අය සෑහෙන්න ඉන්නවා. ඒකේ වැරැද්දක් නෑ. හැබැයි ඉතින් විශේෂයෙන්ම ස්වර්ණ පුස්තක සම්මාන වලට එහෙම සෑහෙන්න දෝෂාරෝපණයන් එල්ල වෙනවා හොඳ පොත් හලලා, ඒ තරම් වැඩක් නැති පොත් උඩට ගේනවා කියලා. අපි නම් ඔය චෝදනා ගැන මොකුත්ම කියන්නෙ නෑ. ඒත් ඉතින් සම්මාන උළෙල වල අවසාන වටේට එන පොත් ටික කියවන්න ගත්තට කමක් නෑ. පොත් හරි නැත්තං සම්මාන උළෙලට පලු යන්න බණින්න හරි පුළුවන්නේ!

 

6. දන්න කෙනෙක්ගෙන් අහගමු!

අපි ෆේස්බුක් පොත් ගෘප් ගැන කියනකොට කිවුවනේ පොත් පෙරළන රටේ වෙද්දු ගැන. හැබැයි බොහොම හොඳ රහක් තියෙන, පොත් පත් ගැන හොඳ දැනුමක් තියෙන උදවියත් සෑහෙන්න ඉන්නවා. හැබැයි මේ අය උදේටයි හවසටයි පොත් ගැන ෆේස්බුක් ගෘප් වල දාන්නේ, සාහිත්‍ය නගා සිටුවන්න උදේ ඉඳන් නැහෙනවා කියලා කියන්නේ නෑ. හැබැයි මේ විදියේ අය ඉඳලා හිටලා හරි පොත් ගැන කියන දේකින් හෝ ලියන දේකින් තේරෙනවා පොත් පත් ගැන හොඳ දැනුමක් තියෙනවා කියලා. ආන්න එහෙම කෙනෙක්ගෙන් මේ ගැන උපදෙස් ගන්න එක වටිනවා. මුලින්ම ඒ කෙනාට කියන්න ඕන තමන්ගේ පොත් රුචිකත්වයන් ගැන. ආන්න එතකොට ඒ රුචියට අදාළ හොඳ පොත් ගැන හොඳ නිර්දේශයන් ටිකක් ලබාගන්න පුළුවන්.

 

7. කඩේට ගිහින් හොඳ පොතක් තෝරගමු!

තමන්ටම හොඳ පොතක් හොයාගන්න සාත්තරේ පුරුදු වෙන්නත් එක්ක මෙන්න මේක හොඳ ක්‍රමයක්. දැන් අලුතින්ම පොත් කියවන්න පුරුදු වුණු කෙනෙක්ට නම් පොත් කඩේකට ගියහම ෆුල් අන්දොස්. ඇයි, බැලූ බැලූ අත ලස්සන ලස්සන කවර තියෙන පොත්. හැබැයි සාමාන්‍යයෙන් හැමෝම හොඳයි කියන, සෑහෙන්න විකිණෙන පොත් විශේෂයෙන්ම ඉස්සරහින් පේන්න තියලා තියෙනවා දකින්න පුළුවන්. එහෙම පොතක් වුනත් පෙරළලා බලලා ගන්න පුළුවන්.

එතකොට ඔය පොතක් අතට අරගෙන පෙරළලා බලලා ගන්න එකත් ලොකු අමාරුවක් නෑ. ඔන්න මුලින්ම පිටු කීපයක් කියවලා බලනවා. අන්න එතකොට රසවත් භාෂා ශෛලියක් තියෙනවා නම්, කියවගෙන යන්න හිතෙනවා නම් ඒ පොත ගන්න පුළුවන්. හැබැයි එහෙම කියවලා බලනකොට ඔය ව්‍යාකරණ අක්ෂර වින්‍යාස එහෙම මරලා තියෙනවද කියලත් බලන්න ඕන. එහෙම බැලූ බැලූ අත වියරණ දෝෂ, අක්ෂර වින්‍යාස දෝෂ නම් ඒ කියන්නේ ඒ පොත කිසිම උනන්දුවකින් කරපු එකක් නෙවෙයි කියන එක. හැබැයි එතනින් වෙනස් වෙන පොත් එහෙමත් තියෙනවා. හොඳම උදාහරණය අජිත් තිලකසේනගේ පොත්. අජිත් පොත් ලියන්නේම තමන්ගේම අක්ෂර වින්‍යාස ආකාරයකට. ඒවා වැරදිලා ප්‍රින්ට් කරපුවා නෙවෙයි!

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *