ට්‍රැවලිං කියන්නේ දැන් ජීවන විලාසිතාවක් තරමට ම මිනිස්සුන්ට සමීප වැඩක්. සමහර අයට ඒක තමයි ජීවනෝපාය වෙන්නේ. ඉතින් එච්චර වටිනාමකින් යුත් ඇවිදිල්ල ඩිජිටල් ලෝකයේ දී ටච් කරන තැනක් තමයි යූටියුබ්. මේ ලංකාවේ තියෙන ඒ වගේ යූටියුබ් චැනල් කිහිපයක් හොයා ගත්තේ මේ විදියටයි.
1. Travel with Wife
ජීවන සහකාරයා එක්ක මුළු ජීවිතේ ම ගමනේ යන්න කැපවුණ එකේ එයා එක්ක රට වටේ ඇවිදින එක මොන ගින්නක් ද? ට්‍රැවලිං අලුත් ම කොන්සෙප්ට් එකකට අරගෙන ගියපු මෙයාලා ප්‍රසිද්ධ වෙන්න පටන් ගන්නේ මෑතක දී. ට්‍රැවලිං අත්දැකීමක් කොලිටියට ම ගන්න, ඒ කියන්නේ හරියට අපිත් ඒ ගමන යනවා වගේ හැඟීමක් ඇති කරවන්න මෙයාලා සමත් වුණා. ඒ වගේ ම තවත් පවුල්වලට මෙයාලගෙ වැඩේ ආදර්ශයක් වුණා. අලුත් ම තාක්ෂණය සහ කැමරා උපාංග තමයි භාවිත කරන්නේ. මහත්තයා කසුන් දීගොඩගමගේ. නෝනා චම්රී දීගොඩගමගේ.
2. Infinity Sri Lanka
මේ වෙනකොට මේ වීඩියෝස් කරපු කට්ටිය Travel Today කියන චැනල් එක කරනවා. Infinity Sri Lanka එකේ අවසාන වීඩියො එක දාලා තියෙන්නේ අවුරුද්දකට කලියෙන්. අනේ ඉතින් ඒ වුණාට ඇඟට දැනෙන වීඩියෝ සෙට් එක තියෙන්නේ Infinity Sri Lanka එකේ. මේක නම් කරන්නේ එක්කෙනෙක්. තිරය පිටුපස නම් ඉන්නවා බොහෝ දෙනෙක්. ට්‍රැවල් කරනකොට පරිසරය පිරිසිදු කරන එක ගැන මෙයාලා පුදුම විදියට අවධාරණය කරනවා.
3. Travel with Chathura
ටෙලිවිෂනයේ හිතවතා චතුර තමන්ගේ වැඩසටහනේ යූටියුබ් වීඩියො චැනල් එකක් හදලා තියනවා. කොහොමත් කට්ටිය දැන් වෙලාවට ටීවී බලනවා අඩුයිනේ. ඊට වඩා මේක ලේසියි. හොඳට ම වැඩේ කියා දෙන නිසා බලන්න ආසයි. අනෙක් කාරණේ ඉතින් ක්‍රිස්ටල් ක්ලියර් වීඩියෝ කොලිටිය. මාධ්‍ය ආයතනයකින් කරන නිසා කොහොමත් එහෙම වෙන්න එපැයි. පරිසරය සුරැකීම ගැනත් නිතර මතක් කරනවා. ලංකාවේ පමණක් නෙවේ විදෙස් රටවල පවා ගමන් වෙලාවකට දකින්න පුළුවන්.
4. Trip Pisso
වැඩිය ගොඩ දෙනෙක්ගේ ඇහැ ගැහුණේ නැති මැණිකක් තමයි මේ. දැන් හිතන්නකෝ යූටියුබ් එපියක් කරන්න කියලා හිතන් ට්‍රිපක් යනවා කියලා. එහෙම හිතන්න මෙතන ඉඩක් නෑ. මොකද මේක බලනකොට තේරෙන්නේ නෑ එහෙම වැඩසටහනක් බලනවා කියලා. වැඩේ කරන්නේ කොල්ලෝ තුන් දෙනෙක්. ආතල් උපරිම. හරියට අපිත් එයාලා එක්ක ගමන යනවා වගෙයි. අනවශ්‍ය කැටයම් නැහැ. යන එන තැන් පෙන්වන එක අස්සේ ඒ තුන් දෙනත් සතුටක් ලබනවා. සබ්ස්ක්රයිබර්ස්ලත් සැලකිය යුතු මට්ටමක ඉන්නවා.
5. the sailor
මෙන්න ඉන්නවා හෙට දවසේ ට්‍රැවලිං අනාගතයක් අමුතු විදියකට ගොඩ දාන බුවෙක්. ඇවිදින්නේ තනියම. අවශ්‍ය ම නම් යාළුවෙක් එක් කරගන්නවා. මේ වීඩියෝ තියෙන්නේ vlog වගේ. ඔහුගේ හැම වීඩියෝ එකක් ම GoPro කැම් එකකින් තමයි කරන්නේ. ඉතින් ඒකකින් ට්‍රැවලිං බලන එකත් වෙන ම ආතල් එකක්. යූටියුබ් චැනල් එකක් විදියට ට්‍රැවලිං පටන් අරන් තියෙන්නේ මෑතක වුණත් මේ නාවිකයා කාලයක් තිස්සේ කරලා තියෙන්නේ මේ ඇවිදිල්ලයි.
6. Travel with Saara
ට්‍රැවලිං සීන් එකේ කාන්තා නියෝජනයක් තමයි මේ. 2019 අවුරුද්දේ අපි කරපු සොයාගැනීමක් වුණත් අවුරුද්ද පටන් ගත්තු කාලේ තමයි වැඩේ පටන් අරගෙන තියෙන්නේ. සාරාගේ වීඩියෝ තියෙන්නෙත් vlog විදියට. දැනට සීමිත ස්ථාන කීපෙකට ගිහින් හිටියත් චැනල් එක එන්න එන්න අප්ඩේට් වෙනවා. ඉතින් සබ්ස්ක්‍රයිබ් පාරක් දාලා සෙට් වෙන්න.
7. LoneRider Travel Diaries
ඔක්කොම ට්‍රැවලිං චැනල් පැත්තක දාලා මේක එක්ක විතරක් සෙට් වියන් මචං කියන්න තරමේ කික් එකක් තියනවා එක වීඩියෝ එකක් බැලුවම. අම්මෝ සැප! ෂොට්ස් ඇන්ඩ් එඩිටින් පර්ෆෙක්ට්. ට්‍රැවලිං කරන්න සෙට් වෙන්නේ රෝයල් එන්ෆීල්ඩ් බයික් එකක කියහන්කෝ. ලංකාවේ කොල්ලෙක් මල්ලී. සිංහලින් කියනෝ නම් එහෙමයි. කඩ්ඩෙන් නම් එහෙමයි. දෙකට ම ගැලපෙන විදියට සබ්ටයිටල් හදනවා. මාර ම ආසා හිතෙන vlog series එකක් තමයි. සබ්ස් අඩුයි. ඒත් වැඩියෙන් ම තිබිය යුතුයි.
Leave a Reply