හොඳම යාළුවෝ හොයාගන්න එක අද කාලේ හැටියට ලේසි පහසු දෙයක් නෙවෙයි. මොන ලොරි ටෝක දුන්නත් මේ සමාජයේ මනුස්සයෙක්ට තනියම ජීවත් වෙන්න අමාරුයි. ඉඳ හිට හෝ ආතල් එකක් ගන්න මිත්‍රයෙක් ඕනි. ඉතින් මෙච්චර මේ කියන්නේ එහෙම එකෙක් හරි ජීවිතේ ඉන්නවා නම් නැති කරගන්න එපා කියලයි. හරි ඉතින් ඔයැයිගේ අතේ කිසි වැරැද්දක් නැතුව එයා අවුල් වුණා කියලා හිතමු. එහෙම වුණොත් පොර දෙපිටකාට්ටුවෙක්, නැත්නම් පහළින් තියෙන මොකක් හරි දෙයක් හේතු වෙලා තියනවා.
1. කේලම්
අංක එක. අපිව විශ්වාස කරලා මොකෙක් හෝ කියන වචනයක් තව කාටවත් කියන්න නරකයි. මොකද කේලම් කියන ඒවා අපි අතින් ලීක් නොවුණත් කොහෙන් හෝ ලීක් වෙන්න ඉඩ තියනවා. අපේ බොක්ක ගැන අපි කිව් හෝ නොකිව් ඕනිම දෙයක් එයාගේ කනට වැටෙන්න ඕනි නරකම විදියට වැටුණොත් ගොඩ එනවා අමාරුයි. හැබැයි ඉතින් අවබෝධයක් තියන අය එවෙලෙට කතා කරලා ගොඩ එනවා. නමුත් මිනිස්සු එක එක විදියයි නේ. ඉතින් මොකටද අවදානමක් ගන්නේ? කට වහන් ඉන්න එක දාහෙන් සැපතයි. යාළුවත් ඉතුරුයි.
2. ලව්
මේ අනික් රෙද්ද. ලව් කරන එක කොච්චර හොඳ දෙයක් ද? ඒත් ඕක හොඳම යාළුවො දෙන්නෙක් අතර මතභේදයක් වුණත් ඇතිකරලන්න පුළුවන් තරමට අන්තිම භයානකයි. ඉස්සර තමයි ඇයි මස්සිනේ පෙම් කළේ අපි එක මලට කියලා කිව්වේ. දැන් නම් ඉතින් ඔහොම වුණොතින් දෙපාර්ශ්වයක් අතර ගුටිබැට නැතත් වචන හුවමාරුවක් සහතිකයි. පොඩි කාලේ ඉඳන් ම එකට හිටපු අයට පවා එක පාරට දෙන්නා මැද්දට පැනපු ගෝතකරුමයක් ලොකු වෙනවා. ඇයි බං මිනිස්සු එහෙම?
3. වැරදි වැටහීම්
ඕනම සම්බන්ධතාවක දී වගේ ම හොඳම යාළුවන් අතර සම්බන්ධයටත් වැරදි වැටහීම් මාරකයක් වෙන්න පුළුවනි. අපි අපේ උන්ට ආදරෙයි. ඒ ආදරේ නිසාම අපි කරන සමහර දේවල් ගැන පමණට වඩා අනවශ්‍ය විදියට හිතලා අන්තිමේ වැරදි වැටහීමක් ඇති කරගන්න තැනට වැඩ සිද්ධ වෙනවා. ඒ කියන්නේ ආදරේ වැඩි වුණාමත් යාළුකම්වලට කෙලවෙනවා කියලා. උදාහරණයක් වශයෙන් කෙල්ලයි කොල්ලයි හොඳම යාළුවෝ වෙලා ඉන්නවා කියලා හිතමු. ඉතින් මේ සම්බන්ධතාවෙ දී එකිනෙකා අතර බෙදාගන්නා ආදරය එක්කෙනෙක් වැරදි විදියට දකින්න පුළුවන්කමක් තියෙනවනේ.
4. විහිළු
යාළුවෝ අතර නැති විහිළු තහළු වෙන කාට කරන්න ද? හොඳ යාළුවෙක් වෙනවා නම් ඕනිම කුණු විහිළුවක් විඳගන්න හැකියාවක් තියෙන්න ඕනි. එහෙම නොවුණොත් ඉතින් අමාරුයි. ඒ කියන්නේ වැඩේ බිඳෙන්න පුළුවන්. අපේ හිතේ කිසිම කහටක් නැතුව කරන අහිංසක විහිළුවක් වුණත් යාළුවට හිත් රිදවීමක් වෙන්න ඉඩ තියනවා. යාළුවන්ට විතරක් නෙවේ සමාජයේ ගනුදෙනු කරන ඕන ම කෙනෙක් එක්ක පමණට වඩා විහිළු අනවශ්‍යයි.
5. මුදල්
බල්ලොත් නොකන සල්ලි කියනවා. හැබැයි පැවැත්මට සල්ලි අත්‍යවශ්‍ය සාධකයක්. ඒ සම්බන්ධයෙන් මොකක් හරි අකටයුත්තක් වුණා නම් යාළුකම් එතනින් අහවරයි. යාළුවොන්ගෙන් කවදාවත් ණය ගන්න එපා කියලා කියන්නේ අන්න ඒකයි. අන්තිමේ සල්ලි ගන්න එකත් අවුලෙන් ඉන්නේ සල්ලි දුන්න එකත් අවුලෙන්. ආදරේ ප්‍රකාශ කරන්න බැරුව කෝලම් කරන ඉස්කෝල කපල් එක වගේ සල්ලි ප්‍රශ්න යට කරන් ඉන්නවා. හැබැයි ඒක නැති වුණ ගමන් ආයේ අම්මා මෝ නෑ.
6. ඊරිසියාව සහ කුහක බව
පොඩි කාලේ විභාගයක දී වුණත් දුකක් දැනුණේ තමන් ෆේල් වෙච්චි විභාගේ ෆේල් වුණ එකට නෙවේ හොඳම යාළුවා උඩින් ම පාස් වුණ නිසා. එතන ඉඳන් නිර්මාණය වුණ රැල්ල දිගටම පවතිනවා. අන්තිමේ නොහිතන මොහොතක අනිවාර්යයෙන් ම මේ දේවල් එළියට එනවා. ජීවිතේ තියන පුදුමාකාර ගතිය එළියට එන තැනක් මේක. අපි දේවත්වයෙන් අදහපු මිනිස්සු අන්තිම සක්කිලි කුහකයෝ කියලා දැනුණු දාට ඔක්කොම හබක්.
7. දේශපාලනය
දේශපාලනය අපි කන බත් කටක් ගානේ හැම රෙද්දටම සම්බන්ධයි. ඒකෙන් අපිට කිසි ගැලවීමක් නෑ. අත්‍යාවශ්‍ය සාධකයක් වුණත් දේශපාලනය පිළිකාවක් වගේ මනුස්සයෙක්ගේ ඇඟේ පැතිරෙන්න පුළුවන්. එහෙම වුණාම වෙනස් මතයක් දරන ඔබේ මිතුරාව දෑහෑට පේන්න බැරි වෙන්න පුළුවන්. ඒ නිසා බුදු සන්තෝ මොන හේතුවකට වෙන් වුණත් දේශපාලනය නිසා නම් වෙනස් වෙන්න එපා. විලි ලැජ්ජයිනේ.
Leave a Reply