කටට රසට කන්න වඩේ රෙසිපි 5ක්

වඩෙ වඩෙ වඩෙ වඩේ…10ට පහයි වඩේ… කවුද එන්නෙ වඩේ කන්න. ටී ටයිම් එකට?, යාළුවො එකතු උනාම, පවුලෙ අය එක්ක මෙකී නොකී ඕනම වෙලාවට ගැළපෙ​න බයිට් එකක්නෙ වඩේ. වඩේ කිව්වම ඉතින් ජාති ගොඩක් තියනවා. ඒවයින් කීපයක් තමා අද අපි අරගෙන ආවේ. හදලා කාලා අපිටත් රස කියන්න ඕනේ හොඳේ.

 

1. උළුදු වඩේ

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. උඳු පිටි ග්‍රෑම් 250
  2. පාන් පිටි ග්‍රෑම් 50
  3. හාල්පිටි ග්‍රෑම් 50
  4. පොල් වතුර කෝප්ප 1
  5. යීස්ට් තේ හැඳි 1/4
  6. හීනියට කපාගත් ළූණු, කරපිංචා, අමුමිරිස් 
  7. ලුණු ටිකක්
  8. කෑලි මිරිස්

 

  • උඳු පිටි, හාල්පිටි හා පාන් පිටි ටික යීස්ට් එක්ක කලවම් කරලා පොල් වතුර ටික ටික දාගෙන අනාගන්න. වතුර ගාණකට දාගන්න අමතක කරන්න එපා. අපිට ඕන දියාරු මිශ්‍රණයක් නෙවෙයි අතින් හැඩය හදාගන්න පුළුවන් තරමේ මිශ්‍රණයක්. දැන් මේ අනාගත් මිශ්‍රණය පැය 5ක් 6ක් වගේ පිපෙන්න තියන්න.
  • පිපුණට පස්සෙ මේකට ලියාගත් ළූණු, කෑලි මිරිස්, අමුමිරිස්, කරපිංචා දාගෙන හොඳට කලවම් කරගෙන රස අනුව ලුණු දාගන්න. 
  • දැන් අතේ වතුර ටිකක් ගාගෙන මිශ්‍රණයෙන් ටික ටික අරන් පැතලි කරලා අතින් මැද හිලක් හදලා ගැඹුරු තෙලේ අඩු ගින්දරේ බැදගන්න.

 

2. පරිප්පු වඩේ

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. කඩල පරිප්පු කෝප්ප 1
  2. අමුමිරිස් හෝ කොච්චි ටිකක්
  3. ළූණු
  4. කරපිංචා 
  5. වේළුනු මිරිස් කරල් ටිකක්

 

  • පරිප්පු ටික හෝදලා පැය 6ක් විතර පෙඟෙන්න තියන්න. පැය 6කට පස්සෙ වතුර බේරෙන්න තියලා පරිප්පු වලින් මිටක් වගේ අයින් කරලා ඉතුරු ටික අඹරගන්න.
  • මේකට ලියාගත් ළූණු, කුඩාවට කඩාගත් වියලි මිරිස්, කොච්චි, කරපිංචා හීනියට ලියල එකතු කරන්න. 
  • අයින් කරගත් පරිප්පු ටිකත් දාලා රස අනුව ලුණු එකතු කරල අනාගන්න.
  • මිශ්‍රණයෙන් පොඩි පොඩි බෝල හදන් පැතලි කරලා ගැඹුරු තෙලේ යන්තම් රන්වන් පාට වනතුරු බැදගෙන තෙලෙන් ඉවත් කරගන්න. විනාඩි 15ක් විතර නිවෙන්න ඇරල නැවත හොඳින් රත් වූ තෙලේ අඩු ගින්දරේ බැදගන්න. මේ විදියට දෙපාරක් බැද්දම පරිප්පු වඩේ පෙඟෙන්නෙ නැතුව ක්‍රිස්පි ගතියට ගන්න පුළුවන්. 

 

3. ගෝල්ෆේස් වඩේ

මුලින්ම සෝස් එක හදාගමු

 

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. තලාගත් ඉඟුරු, සුදුළූණු ටිකක්
  2. එනසාල්
  3. මිරිස්කුඩු 
  4. තුනපහ කුඩු 
  5. කහ කුඩු 
  6. චිකන් ස්ටොක් 

 

තෙල් ටිකක් රත් වෙන්න තියලා ඒකට ඉඟුරු, සුදුළූණු, එනසාල් ටිකක් තලලා දාගන්න. සුදුළූණු රන්වන් පාටට බැදීගෙන එනකොට මිරිස් කුඩු, තුනපහ කුඩු, කහ කුඩු දාගන්න. දැන් මේකට චිකන් ස්ටොක් එක දාලා හොඳට කලවම් කරල උකු ගතියක් එනකම් අඩු ගින්දරේ හැඳිගාන්න.

 

වඩේ එක හදාගන්න අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. කැරට්, ගෝවා, කරපිංචා, ළූණු
  2. ඉස්සො 10-12
  3. පාන්පිටි කෝප්ප 1
  4. පොල් කෝප්ප 1/2
  5. ලුණු රස අනුව
  6. කහපාට කලරින් ටිකක්
  7. දෙහි බෑයක යුෂ

 

  • කැරට්, ගෝවා, ළූණු කරපිංචා හීනියට ලියා ගන්න. ඉස්සො ටික සුද්ද  කරලා තියාගන්න.
  • දැන් පාන් පිටි කෝප්ප එකට පොල් කෝප්ප භාගය දාලා ලුණු රස අනුව දාලා වතුර යන්තම් දාල රොටී පදමට අනාගන්න. කැමති නම් කලරින් බිංදුවක් එකතු කරන්න. 
  • වෙනම පාන්පිටි පොඩ්ඩකින් පාප්ප වගේ පොඩ්ඩක් හදාගන්න. ඉස්සාව අලවගන්න මේක ඕනෙ. පාන්පිටි මිශ්‍රණය අරන් බෝල කරලා පැතලි කරලා පාප්ප ටිකක් ගාලා ඉස්සව තියලා අලවගන්න.
  • මේ වගේ ඔක්කොම වඩේ ටික හදාගෙනම ගැඹුරු තෙලේ බැදගන්න.
  • ඊට පස්සෙ අර හදාගත්තු සෝස් එක අරන් වඩේ උඩින් ගාලා ලියාගත් ළූණු කැරට් ටික දාලා කැමති නම් දෙහි යුෂ ටිකකුත් උඩින් දාගන්න.

 

4. කඩල වඩේ

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. රැයක් පෙඟෙන්න දාගත් කඩල කෝප්ප 1
  2. ලියාගත් රතු ළූණු
  3. වියලි මිරිස් කරල් ටිකක්
  4. ලියාගත් කරපිංචා 
  5. කෑලිමිරිස් මේස හැන්දක්
  6. ලුණු

 

  • කඩල ටික හෝදලා වතුර පෙරලා අරන් ග්‍රයින්ඩ් කරගන්න. හොඳට කෑලි නොහිටින්න ග්‍රයින්ඩ් කරගන්න. 
  • දැන් මේකට ලියාගත් කරපිංචා, ළූණු දාලා කෑලි මිරිස් ටික දාලා වියලි මිරිස් කරල් කෑලි කඩලා දාගන්න. ලුණු රස අනුව දාලා හොඳට කලවම් කරලා පොඩි බෝල හදල පැතලි කරගන්න.
  • දැන් මේක රන්වන් පාට වෙනකල් ගැඹුරු තෙලේ අඩු ගින්දරේ බැදගන්න.

 

5. උම්බලකඩ වඩේ

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. පැය 2ක් වගේ පොඟවාගත් රතු පරිප්පු ග්‍රෑම් 250
  2. රතුළූණු ගෙඩි 12ක් පමණ
  3. අමුමිරිස් කරල් කිහිපයක් 
  4. උම්බලකඩ කුඩු මේස හැඳි 5
  5. කරපිංචා 
  6. කෑලිමිරිස් ටිකක්
  7. ලුණු
  8. පොල්තෙල්

 

  • පරිප්පු ටික ග්‍රයින්ඩ් කරගන්න. ටිකක් කෑලි ගතිය හිටින්න බ්ලෙන්ඩ් කරගත්තත් කමක් නෑ. දැන් රතුළූණු, කරපිංචා, අමුමිරිස් හීනියට ලියාගන්න.
  • දැන් මේ ටික බ්ලෙන්ඩ් කරගත් පරිප්පු ටිකට එකතු කරන්න. කෑලි මිරිස් ටිකත් දාගන්න. රස අනුව ලුණු දාගන්න. උම්බලකඩ ටිකත් එකතු කරගන්න. 
  • දැන් මේ ඔක්කොම හොඳට කලවම් කරගන්න. උම්බලකඩ වඩේ එක ටිකක් බිත්තර ශේප් නිසා අතින් ඒ හැඩයේ පොඩි බෝල හදාගෙන ගැඹුරු තෙලේ අඩු ගින්දරේ පරිප්පු වඩේ වගේම බාගෙට බැදල තියල නැවත බැදගන්න. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *