තමන්ගේ ලව් එක ප්‍රතික්ෂේප වුණාද? එහෙමනම් කාඩ් එක තියාගෙන වෙන අතක් බලාගන්නේ මෙහෙමයි

ඔය ආදරේ කියන්නේ මාර පුදුම දෙයක්නේ. ඒක ඔය පස් මහ බැලුම් බල බලා ඇතිවෙන එකක් නෙවෙයි. සමහර වෙලාවට අපේ හිත ගිහින් නතර වෙලා බැඳීම් ඇති කරගන්න තැනකින්, අපිටත් ඒ විදියෙම ප්‍රතිචාරයක් ලැබේවි කියලා කියන්න බැහැ. ඒත් ඉතින් එහෙම හිත ගිහින් නතර වුණු තැනකින් හිත ගලවගන්න එකත් ලේසි නැහැනේ. ඉතින් ඔන්න තමන් ගැන ආදරයක් නැති තැනකින් වුනත් ආදරේ ඉල්ල ඉල්ලා පස්සෙන් යනවා. සමහර වෙලාවට චාටර් වෙන්නත් සිද්ධ වෙනවා. හැබැයි ඉතින් මේ හැමදෙයක්ම බොක්කටම වැදුණු ආදරේ නාමයෙන්නේ කියලා ඉවසා දරාගන්නවා. හැබැයි ඇත්තටම එහෙම වෙන්න ඕනද? අපේ හිත ගියපු කෙනෙක්ගේ හිත අපිට හිමි වෙලා නැති නම්, අපේ තත්වය, කාඩ් එක තියාගෙන වෙන අතක් බලාගන්න බැරිද? බැරි නෑ. ආන්න ඒ නිසා ඒකපාර්ශ්වික ආදරයන් උරුම කරගෙන ඉන්න අය අනිවාර්‍යයෙන්ම කියවන්න ඕන ආටිකල් එකක් තමයි මේක.

 

1. මූදේ ඉන්නේ එක මාලුවා නෙවෙයි නේද?

සාමාන්‍යයෙන් මේක ඔය අපේ හිත යන කෙනා අපිට හිත නැති වෙලාවක, අපේ යාලු මිත්තරයින්ගෙන් අහගන්න වෙන කථාවක්. හැබැයි ඉතින් පොඩි ප්‍රශ්නයක් ඔතනත් තියෙනවා. ඒ වෙලාවට අපිට හිතෙන දේ තමයි, මූදේ ඉන්නේ එක මාලුවා නොවුණට අපේ හිත ගියපු මාලුවාව ලැබෙන්නේ නැති නම් වැඩක් නෑ කියන එක. හැබැයි ඇත්තටම “ මෙයා ලැබෙන්නෙ නැති නම් මට වෙන කාවවත්ම එපා” කියලා හිතෙන හැඟීම තාවකාලිකයි. තව හිතට හරියන මාලුවෙක් ලැබුණු මොහොතකදීත් මේ හැඟීම් ටික මේ විදියටම දැනෙනවා කියන එක ඔලුවේ තියාගන්න. හිතට හරියන තව මාලුවෙක් කවදාහරි ලැබෙන්න පුළුවන් කියන එකත් හිතේ තියාගන්න. අන්න එදාට ඒ මාලුවාත් අපිට කැමති වුනොත් ජය සිරි මංගලම් නේ. ආන්න ඒක මෙනෙහි කළොත්, නොලැබෙන ආදරේ අමතක කරන්න පුළුවන් වෙයි.

 

2. තමන් බාල්දු වුනේ නැහැ!

අපි කෙනෙක්ට අපේ හිතේ තියෙන ආදරේ පුදලා, ඒ කෙනා අපිට පෙරළා ආදරේ නොකෙරුවොත් ඒක අපේ මාන්නයට, මමත්වයට පහරක් විදියටත් සමහරු හිතනවා. හැබැයි ඇත්ත කතාව මේකයි. අපි නියම ජෙන්ට්ල්මන් කෙනෙක් විදියට කෙනෙක්ට ආදරේ බව ප්‍රකාශ කළා නම්, ජෙන්ට්ල්මන් ලෙවල් එකෙන් ඒ කෙනා එක්ක හැසිරුනා නම්, කවදාවත්ම තමන්ගේ ආදරේ ප්‍රතික්ෂේප වෙනවා කියන්නේ තමන් බාල්දු වීමක් නෙවෙයි. විශේෂයෙන්ම අනික් කෙනා ගිහින් “අනේ අරයා මගේ පස්සෙන් ආවා” කියලා කිවුවත්, තමන් බාල්දු වුනා කියලා හිතන්න එපා. ඇත්තටම එහෙම නළලේ තියාගෙන ඉන්න ඩයල් අපිට සෙට් නොවෙන එකමයි හොඳ!

 

3. පස්සෙන් වැඳ වැටෙන්න යන්න එපා

ආදරයක් බොක්කටම වැදුණහම ලේසි නෑ. ඒක අපි දන්නවා. එක පාරක් ආදරේ ඉල්ලලා බෑ කිවුවොත් හැරිලා යනවට වඩා තව පාරක් ට්‍රයි කරන්න හිතෙනවා. ඒකත් අපි දන්නවා. හැබැයි එක පාරක්, දෙපාරක් ආදරේ ඉල්ලලා, නොලැබෙනවා නම්, එතනින් එහාට දිගින් දිගටම පස්සෙන් යන එක අපේ තත්වයට හරි නෑ. සමහරු මෙහෙම පස්සෙන් යන්නේ එයාට අපි ගැන අනුකම්පා හිතිලා අපේ ආදරේ භාරගනී කියලා හිතාගෙන. හැබැයි එහෙම වෙන්නේ බොහොම කලාතුරකින්. එහෙම වුනත් ඒක හැබෑ ආදරයක් නෙවෙයි. අන්න ඒ නිසා පස්සෙන් ගිහින් ගිහින් බලෙන් හරි කැමති කරගන්නවා කියන තැනට යන්න එපා.

 

4. කඳුළු සලන්න යන්නත් එපා

පිරිමින්ගේ ඇස් වලින් වුනත් ගැහැණුන්ගේ ඇස් වලින් වුනත්, කඳුළු වැටෙන්න පුළුවන් තැන් තියෙනවා. විශේෂයෙන්ම තමන් බලාපොරොත්තු  වෙන ආදරේ නොලැබෙන මොහොතක දැනෙන දුකත් එක්ක පිරිමියෙක්ගේ වුනත්, ගැහැණියෙක්ගේ වුනත් ඇස් වලින් කඳුළු වැටෙන්න පුළුවන්. හැබැයි තමන් ආදරේ ඉල්ලපු කෙනාට පේන්න මළාට කඳුළු සලන්න යන්න එපා. මොකද, ඒ කඳුළු වල කිසිම වැදගැම්මක් ඒ කෙනාට නොතිබෙන්න පුළුවන්. ඒ වගේම අපි කිසිම පෞරුෂත්වයක් නැති කෙනෙක් විදියට හංවඩු ගැහෙන්නත් පුළුවන්. එහෙම ඕන නැහැනේ. අපිව එපා නං අපිටත් එපා.

 

5. පළි ගැනිලි එපා!

මෙන්න මේක නම් අනිවාර්‍යයෙන්ම එපා කියලා කියන්න ඕන දෙයක්. දැන් ආදරේ ඉල්ලලා නොලැබෙන එක සාධාරණ හේතු උඩ සිද්ධ වෙන්න පුළුවන්, සමහර වෙලාවට කලාතුරකින් අසාධාරණව වෙන්නත් පුළුවන්. කෙනෙක්ට බලෙන් ආදරේ කරන්න බැහැනේ. එතකොට අපි එයාට කොච්චර ආදරේ කළත්, එයාට අපි ගැන එහෙම ආදරයක් නොදැනෙනවා වෙන්න පුළුවන්. ඒක සාධාරණයි. කලාතුරකින් කෙනෙක් අපිව කඩේ යවලා යවලා ආදරේ ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. අන්න ඒක අසාධාරණයි. හැබැයි සාධාරණ හෝ අසාධාරණ වේවා, අපි හිතේ කේන්තියෙන් ආදරේ පුද දීපු කෙනාගෙන් පළි ගන්න යන එක ඉතාම නරක වැඩක්. ඒක ශාරිරික හිරිහැරයක් වුනත්, යාලුවොත් එක්ක චරිතේ පතුරු ගැහීමක් වුනත්, බොරු කතා පැතිරවීමක් වුනත්, ඒ නමට ෆේස්බුක් එකවුන්ට් හදලා හිරිහැර කිරීමක් වුනත් ඉතාම නරකයි. ඒකෙන් තමන්ගේ තත්ත්ව​ය පහළ වැටෙනවා විතරක් නෙවෙයි, තමන්ට නීතිමය කරදර වලටත් මුහුණ දෙන්න සිද්ධ වෙන්න පුළුවන්. ඒ හැමදේටමත් වඩා ඒක මනුස්සකමට තරම් දෙයක් නෙවෙයි.

 

6. අවටින් හොයා බැලිලිත් එපා 

අපි කෙනෙක්ට බොක්කෙන් ආදරේ කරලා, ඒ ආදරේ දරුණු විදියට ප්‍රතික්ෂේප වුනත්, අර අපේ හිතේ තියෙන ආදරේ නිසා සමහර වෙලාවට සම්පූර්ණයෙන්ම ඈත් වෙන්න හිතෙන්නේ නෑ. පොඩ්ඩක් ඈතින් වුනත් ඉඳගෙන හොයලා බලන්න හිතෙනවා. එයාගේ යාලු මිත්‍රයෝ එක්ක සම්බන්ධකම් තියාගෙන එයාගේ දුක සැප හොයන්න හිතෙනවා. හැබැයි අපි කියන්නේ එහෙම එව්වා කරන්න එපා කියලයි. මොකද, අපි ආදරේ කරන්නේ තමන් ගැන බලාගන්න බැරි තොත්ත බබෙක්ට නෙවෙයිනේ. අනික අපි එහෙම වටින් පිටින් හොයන්න යන සීන්, දුරින් හිඳ ඔබ දෙස බලන්නම් සීන් කරදරයක් වෙන්න තියෙන ඉඩ වැඩියි. අන්න ඒ නිසා එපා නම් ඒක භාරගෙන ඈත් වෙන එකයි නුවණට හුරු.

 

7. මහාත්මයෙක් වගේ ප්‍රතික්ෂේපය භාරගන්න

මොකද්ද මහාත්මයෙක් වගේ කියන්නේ? ඒ කියන්නේ ආදරේ ප්‍රකාශ කරනකොට වුනත්, ඒ ආදරේ ප්‍රතික්ෂේප වුණු මොහොතක වුනත් තමන්ගේ තත්ත්ව​ය තියාගෙන හැසිරෙන්න කියන එක. මේ තත්ත්ව​ය කියන්නේ හැබැයි මහන්තත්ව​ය නෙවෙයි. මේ කියන්නේ තමන්ගේ ශික්ෂිත බව, විනීත බව සහ උදාර බව තියාගෙන කටයුතු කිරීම ගැන. තමන්ගේ ආදරේ සාමාන්‍ය විදියට ප්‍රතික්ෂේප වුනොත්, බොහොම ස්තුතියි කියලා හැරිලා එන්න. තමන්ගේ ආදරේ දරුණු විදියට ප්‍රතික්ෂේප වුනොත්, ඒත් බොහොම ස්තුතියි කියලා හැරිලා එන්න. හැම වෙලාවකම තමන් ජෙන්ට්ල්මන් කෙනෙක් කියන එක පෙන්නන්න. අන්න එතකොට සමහර වෙලාවට තමන් බැහැයි කිව්ව එක ගැන එයාට පසුතැවිල්ලක් වුනත් ඇති වෙන්න බැරි නෑ.

 

ඒ වගේම අමතක නොකළ යුතු කාරණාවක් තියෙනවා. අපේ ආදරේ ප්‍රතික්ෂේප කෙරෙනවා නම්, ආදරේ ප්‍රතික්ෂේප කරපු කෙනා එක්ක තියෙන සියලුම සම්බන්ධකම් අත්හිටුවන්න. වෙන මොකක්වත් නිසා නෙවෙයි, ඒකෙන් අපිට හිත හදාගන්න පහසුවක් සැලසෙන නිසා!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *