දැන් සති කීපයක තිස්සේ අපි අතීතාවර්ජන Lifie හරහා ඔබට ගෙන ආවා. අද අපි කතා කරන්න යන්නේ ඔවුන් ජීවත් වෙලා හිටි කාලයේදී සම්මාන උළෙලවලදීවත් හරියට පිළිගැනීමක් නොලැබුන පිරිසක් ගැන. ඒ තමයි හාස්‍යෝත්පාදක රංගන ශිල්පීන් ගැන. අද වෙන කොට හාස්‍යෝත්පාදක රංගන ශිල්පීන්ට යම් පිළිගැනීමක් ලැබුණත් (උදාහරණයක් විදිහට දෙරණ සම්මාන උළෙලේදී බන්දු සමරසිංහ මහත්තයා සම්මානයට පාත්‍ර වීම) අපි මේ කතා කරන්න යන අය ජීවත් වෙලා සිටි කාලයේ දී කිසිම පිළිගැනීමක් ලැබිලා තිබුණේ නැහැ. මුදලට වඩා කලාවට මුල් තැන දීම හින්දා මේ අයගේ අවසන් කාලයත් ඔවුන්ගේ රඟපෑම් බලලා අපි හිනා වුණා වගේ සුන්දර වුණේ නෑ.
1. එඩී ජයමාන්න
සිංහල සිනමා වංශ කතාවේ පළවෙනි විකට නළුවා වුණේ එඩී ජයමාන්න මහත්තයා. “නෝනගෙ ආලේ ගෙයි මැද සාලේ” ගීතයට මනප්පුවා විදිහට එතුමා කරපු රංගනය එවක සිංහල ප්‍රේක්ෂකාගාරය සිනහවෙන් කුල්මත් කරන්න සමත් වුණා. සැබෑ ජීවිතයේදී රුක්මණී දේවියගේ සැමියා වුණු එතුමා තමන්ගේ මුළු ජීවිතයම කැප කළේ සිනමාව වෙනුවෙන්. විකට නළුවෙක් විදිහට තමන්ගේ සිනමා ගමන ආරම්භ කළ නිසා එතුමා ව හාස්‍යෝත්පාදක රංගනයට පමණක් සීමා වුණා. එතුමාට ඒ සීමාවෙන් බැහැරට යෑමට ලැබුණු අවස්ථා අති සීමිතයි.
2. ෆ්‍රෙඩී සිල්වා
ශ්‍රී ලංකාවේ විකට නළුවන්ගේ රජු විදිහට ෆ්රඩී සිල්වා මහත්මයව අවිවාදයෙන් පිළි ගැනෙනවා. බොහෝ දෙනෙක් නොදන්නවා වුණාට ෆ්‍රෙඩී සිල්වා කියන නම එතුමා භාවිතා කරන්නේ සිනමාව සඳහා විතරයි. එතුමාගේ ඇත්ත නම වුණේ හල්පේ ලියනගේ අතුකෝරාල මොරිස් ජෝශෆ් රණබාහු. හාස්‍යෝත්පාදක රංගනයට වගේම ගීත ගායනයටත් උපන් හපන් කම් දක්වපු ෆ්රඩී සිල්වා මහත්මයා සහ ප්‍රේමකීර්ති ද අල්විස් ගී පද රචකයාගේ සුසංයෝගය නිසා සිංහල ගීත සාහිත්‍යයට ඉතා වටිනා ගීත රාශියක් එකතු වුණා. බැලූ බැල්මට මේ ගීතවල හාස්‍යෝත්පාදක ස්වභාවයක් තිබ්බත් සමහරක් ගීතවල වෙනස් මානයක් තිබ්බා ( උදා: පාංකිරිත්තා තක්කිට තරිකිට)
3. විජය නන්දසිරි
විජය නන්දසිරි මහත්මයා තමන්ගේ රංගන ජීවිතය පටන් ගන්නේ චරිතාංග නළුවෙක් විදිහට. මනමේ කුමාරයාට රඟපාන්න ලැබීම වේදිකා නාට්‍ය නළුවෙක්ට ලැබෙන විශාල භාග්‍යයක්. ඒ භාග්‍යය විජය නන්දසිරි මහත්මයා හිමිකර ගත්තා. නමුත් සිරස ටීවී නාලිකාවේ විකාශය වුණු ‘නෝනාවරුනි මහත්වරුනි’ ටෙලි නාට්‍යයේ රංගනයත් එක්ක එතුමාගේ රංගන ජීවිතය උඩු යටිකුරු වෙනවා. එතැන් සිට එතුමා ට හාස්‍යෝත්පාදක චරිත එක දිගට ගලාගෙන එනවා.
4. දොන් සිරිසේන
කොළඹ සන්නිය, ඇර සොයිසා වගේ චිත්‍රපටි බලපු කෙනෙක්ට දොන් සිරිසේන කියන නළුවාව කවදාවත් අමතක වෙන්නෙ නෑ. ඔහුගේ රඟපෑම වගේම දෙබස් කියන ආකාරය නිසා ප්‍රේක්ෂකයන් සිනා සයුරක ගිල්වන්න ඔහුට හැකියාව ලැබුණා. ටයිටස් තොටවත්ත මහත්මයාගේ “කෝ සතුරෝ” චිත්‍රපටියෙන් ඇරඹුණු එතුමාගේ සිනමා රංගන ජීවිතය 1985 වර්ෂයේ දී තිරගත වුණු “ඔබට දිවුරා කියන්නම්” චිත්‍රපටියෙන් අවසාන වුණා. ඒ එතුමා ප්‍රේක්ෂකයාට සිනහව උරුම කර දී 1986 වර්ෂයේ දී සිය ජීවිතයෙන් සමු ගත් නිසා.
5. ඇන්ටන් ජූඩ්
විජය නන්දසිරි මහත්මයා වගේම වේදිකා නාට්‍ය ක්ෂේත්රයේ සීරියස් චරිත රඟපාපු ඇන්ටන් ජූඩ් ‘සකිසඳ එලියස්’, සහ ‘සබඳ පබිලිස්’ යන ටෙලිනාට්‍යවල රඟපෑමත් එක්ක හාස්‍යෝත්පාදක නළුවෙක් විදිහට ලංකාව ඇතුලේ ජනප්‍රියත්වයට පත් වුණා. ජෝ අබේවික්‍රම මහත්මයා රචනා කරපු “උණ පුරුකේ බලු වලිගේ දාලා” ගීතය තමන්ට වාසනාව ගෙනාවා කියලා ඇන්ටන් ජූඩ් මහත්මයා නිතර කිව්වා. චිත්‍රපටයක රූගත කිරීම් අතර තුර ඇතිවුණු හදිසි රෝග තත්ත්වයකින් එතුමා මියගියේ කලා ක්ෂේත්රයේ මිතුරන් වගේම ප්‍රේක්ෂකයන්වත් එකසේම කම්පනයට ලක් කරමින්.
6. ඇන්තනි සී. පෙරේරා
“මහපටබැඳිගේ ඇන්තනි ක්රිස්මන් කිව්ලෝරියස් පෙරේරා” ඇන්තනි සී. පෙරේරා වෙන්නෙ ‘ශූරයා’ චිත්‍රපටයෙන්. දෙවැනි ලෝක යුද සමයේ යුධ හමුදා නිලධාරියෙක් විදිහට සේවය කරපු ඇන්තනි සී. පෙරේරා සේවය නිමා කරලා කෙටි කාලයක් වෙනත් වෘත්තියක නිරත වෙලා අහම්බෙන් රඟපෑමට පිවිසෙනවා. ඊට කලින් ඔහු වේදිකා නාට්‍යවල රඟපෑමත් ඔහුට වාසියක් වෙනවා. එතැන් ඉඳන් සිංහල සිනමාවට නැතුවම බැරි හාස්‍යෝත්පාදක නළුවෙක් බවට ඇන්තනි සී පෙරේරා පත්වෙනවා.
7. බී. එස්. පෙරේරා
බී. එස්. පෙරේරා කියන්නේ තමන්ට මුහුණ දෙන්න වුණු අවාසනාවන්ත සිදුවීමක් තමන්ගේ වාසනාව බවට පත් කර ගත්ත පුද්ගලයෙක්. ඔහු ට්රෑම් කාර් රථ රියැදුරෙක් විදිහට සේවය කරද්දී සිදුවූ අනතුරකින් ඇස් වපර භාවයට පත් වෙනවා. මේ නිසා ඔහුගේ මූණට විකට පෙනුමක් ලැබෙනවා. ‘ධීවරයෝ’ චිත්‍රපටයේ සුළු චරිතයක් නිරූපණය කරන බී. එස්. පෙරේරාගේ පෙනුම දකින චිත්‍රපටි නිෂ්පාදක කේ. ගුණරත්නම් තමන්ගේ ඉදිරි චිත්‍රපටි සියල්ලටම බී. එස්ව සම්බන්ධ කරගන්න කියලා උපදෙස් ලබා දෙනවා. නමුත් මේ චිත්‍රපටවල රඟපෑමෙන් ඔහුට ලැබෙන්නේ නම් ඉතාමත් සුළු මුදලක්. මෙහි නිසා ජීවිතයේ අවසාන කාලය තුළ විවිධ දුක් කම්කටොලු රාශියකට එතුමාට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා.
Leave a Reply