Lifie අපි පහුගිය සති කීපයේම අපේ මතකයෙන් ඈත් ඈත් වුණු නළු නිළියන් ගැන කතා කළා. රංගනයට සමු දුන්න නළු නිළියෝ වගේම ජීවන රඟමඩලට සමුදුන්නු නළු නිළියෝ ගැනත් මතකය අවදි කරන්න ඒ ලිපි පෙළ සමත් වුණා කියලා අපි හිතනවා. ඒ ලිපි වලට පාඨක ඔබේ ඉහළ ප්‍රතිචාර නිසා. මේ සතියේ අපි කතා කරන්න යන්නේ අපෙන් සමුගෙන ගිය පුංචි තිරයේ අම්මලා සහ ආච්චිලා පිළිබඳව. මේ ලිපියත් ඔබේ සංවේදී මතක අවදි කරන්න හේතු වෙයි කියලා අපි හිතනවා.
1. සීතා කුමාරිහාමි
මීට වසර හයකට පෙර අපෙන් සමු ගෙන ගිය සීතා කුමාරි මහත්මිය දශක ගණනාවක් වේදිකාව සහ සිනමාවට සම්බන්ධ වී සිටි අයෙක්. නමුත් ඇය ජීවිතයේ අවසාන කාලයේදී ටෙලිනාට්‍යවල වැඩි වශයෙන් මවගේ සහ මිත්තණියගේ චරිතය නිරූපණය කළා. අවසාන වශයෙන් ඇය ගිරිකුළ ටෙලි නාට්‍යයේ රංගනයට එක්වී තිබුණා. ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙක් ඇයව ආමන්ත්‍රණය කරලා තියෙන්නේ “සීතා අම්මා” කියන නමින්. තවමත් අලුත් අවුරුද්දට විකාශය වන එක්තරා බීම වර්ගයක වෙළඳ දැන්වීමක් නිසා ඇගේ මතකය අලුත් වෙනවා.
2. රත්නාවලී කැකුණවල
ගුවන්විදුලිය ලංකාවේ ප්‍රධාන මාධ්යයව පැවති සමයේත් ඉන්පසුව රූපවාහිනිය පැමිණි විටත් එකසේම තමන්ගේ ස්ථානය රැක ගන්න සමත් වෙච්ච නිළියක් තමයි රත්නාවලී කැකුණවල. ගුවන් විදුලියේ විකාශනය වූ “මුවන් පැලැස්ස” නාට්‍යයේ කෝරලේ හාමිනේගේ චරිතය රඟපෑ ඇය වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍ය සහ සිනමාවටත් තමන්ගේ දායකත්වය ලබා දුන්නා. රූපවාහිනියේ ආගමනයත් එක්ක ටෙලි නාට්‍ය විශාල ප්‍රමාණයක මවගේ සහ මිත්තණිය ගේ චරිතය නිරූපණය කළා.
3. සෝමලතා සුබසිංහ
අද වෙනකොට ක්ෂේත්රයේ දක්ෂ කම් දක්වන බොහෝ දෙනෙක්ට ළමා නළු නිළියන් වශයෙන් ගුරුහරුකම් දුන්න කෙනෙක් වුණේ සෝමලතා සුබසිංහ මහත්මිය. මුහුදු පුත්තු වේදිකා නාට්‍යයේ රඟපෑමෙන් ඇය මෙරට වේදිකා නාට්‍යය තුළ රන් සලකුණක් තබනු ලැබුවා. ඒ වගේම “විකෘති”, “හිම කුමාරි” වැනි වේදිකා නාට්‍යය නිෂ්පාදනය කිරීමෙන් ළමා නාට්‍ය ක්ෂේත්‍රයට සුවිශාල සේවයක් සිදුකළා. ටෙලි නාට්‍ය කිහිපයක මවගේ චරිතය රඟපෑ ඇය ඇල්ල ළඟ වලව්වේ මව ලෙස කුඩා කාල පරාසයක සිදු කළ රංගනය ඒ අතරින් විශිෂ්ටයි.
4. ට්‍රිලීෂියා ගුණවර්ධන
පළමු මනමේ බිසව වීමේ සුවිශේෂී භාග්‍ය ලබපු ට්‍රිලීෂියා ගුණවර්ධන මහත්මිය, මෙරට ප්‍රේක්ෂකයන් අතර අතිශය ජනප්‍රියත්වයට පත් වුණේ ගිරය ටෙලි නාට්‍යයේ ලුසී හාමි විදිහට රඟපෑම නිසා කිව්වොත් වැරැද්දක් නැහැයි කියලා අපි හිතනවා. ඒ චරිතය නම් මවකගේ චරිතයක් නම් නෙමෙයි. නමුත් ට්‍රිලීෂියා ගුණවර්ධන මහත්මිය ගැන කතා කරද්දී ඒ චරිතය මගහරින්න බැහැ. නමුත් ඉන් පසුව ටෙලි නාට්‍ය කීපයක ඇය මවගේ චරිතය නිරූපණය කළා. ඒ අතරින් බැද්දේගෙදර ටෙලි නාට්‍යයේ තම දරුවන් දෙදෙනාට එකගෙයි කෑම චාරිත්‍ර යටතේ ලේලියක් ගෙන එන මවකගේ චරිතය විශේෂයි.
5. එලන් සිල්වෙස්ටර්
අසල්වැසියෝ අපේ මුල් කාලීන ටෙලි නාට්‍යයක්. සීමිත චරිත ප්‍රමාණයකින් සමන්විත වූ මේ ටෙලි නාට්‍යයේ දියණියන් තිදෙනාට පොහොසත් සහ වැදගත් තරුණයන් විවාහ කර දීමේ අධිෂ්ඨානයෙන් කටයුතු කරන මවකගේ චරිතයක් එලන් සිල්වෙස්ටර් මහත්මිය නිරූපණය කළා. ඉන්පසුව වෙද හාමිනේ පටන් ඉසුරු යෝගය දක්වා ටෙලිනාට්‍ය ගණනාවක ඇය විවිධ චරිත නිරූපණය කළා. බොහෝ විට ඇයට ලැබුනේ මවගේ චරිතය හෝ අසල්වැසි කාන්තාවකගේ චරිතය.
6. රූබි ද මෙල්
සිංහල ටෙලි නාට්‍යයක රඟපෑම නිසා වෛරයට පත් වුණු එකම මිත්තණිය ඇය කියලා සඳහන් කරන්න පුළුවන්. ඒ අඹ යහළුවෝ ටෙලි නාට්‍යයේ නපුරු මිත්තණියගේ චරිතය ඇය රගපෑම නිසා. නමුත් ඇගේ මරණයෙන් පසුව පුවත්පත් වලට අදහස් දැක්වූ නිමල්, සුනිල් සහ නපුරු මෛත්‍රී ගේ චරිතය රඟපෑ නළු නිළියන් තිදෙනාම කැමරාවෙන් පිටතදී ඇය තමන්ට අතිශයින් ආදරය කළ මිත්තණියක් බව සඳහන් කළා.
7. මානෙල් ජයසේන
හුණුවටය වේදිකා නාට්‍යයේ ගෘෂා ලෙස රඟ පෑ මානෙල් ජයසේන මහත්මිය සිංහල ටෙලි නාට්‍යය ක්ෂේත්‍රයේ වඩාත්ම ජනප්‍රිය මව විදිහට සැලකුවොත් වැරැද්දක් නැහැ. ඒ තරම්ම ඇය මවගේ චරිතය මැනවින් නිරූපණය කළා. ඇතැම් අවස්ථාවලදී අහිංසක මවගේ චරිතයටත් සමහර අවස්ථාවලදී නපුරු මවගේ චරිතයටත් ඇය ආරූඪ වුණා.
මේ අම්මලා සහ ආච්චිලා ගැන ඔබේ මතක කමෙන්ට්ස් සෙක්ෂන් එකේ අපිත් එක්ක බෙදා ගන්න. ඒ වගේම මේ ආටිකල් එක ෂෙයාර් කරලා අනිත් අයටත් මේ අම්මලා සහ ආච්චිල ගැන මතක අවදි කරවන්න.
Leave a Reply