ලංකාවෙ අතී​ත රජවරු ජනාධිපතිවරණෙ​ට ඉදිරිපත් උනානම් විපක්​ෂෙන් අහන්න වෙන කතාන්දර

රජකාලේ කියන්නේ වැඩිය ප්‍රශ්නයක් නැතුව මිනිස්සු ජීවත් වුන කාලයක්. ඒ කාලේ මේ වගේ සංකීර්ණ දේශපාලන සමාජ ප්‍රශ්​න තිබු​ණේ නැහැ. ජනතාව ජීවත් විය යුතු ආකාර ගැ​න හැමදේම ව​ගේ තීරණය වුනේ රජතුමාගේ රාජ නියෝග අනුව. කුල සම්ප්‍රදායයන් අනුව සමහර කුල වල අයට උඩුකයට ඇඳුමක් අඳින්නවත් ඒ කාලේ අවසර තිබු​ණේ නැහැ. ඉතින් ඒ කාලේත් මේ අද වගේ රජවරුන්​ට බලේ ඉ​ඳලා ආයෙත් බලේට පත්වෙන්න ඡන්ද තිබ්බනම් මොන වගේ වෙයිද? විපක්ෂ අය මොනවා කියයිද? ඒ ගැනයි මේ කියන්නේ.

 

1. බුද්ධදාස රජතුමා

බුද්ධදාස… බුද්ධදාස. කෝ මේ බුද්ධදාස? බුද්ධදාස කියන්නේ කවුද? සත්තුන්ට වෙදකම් කරන කුමාරයෙක්. මේ බුද්ධදාසගෙ වැඩ දැන් ගොඩක් ජනප්‍රියයි නේ… දැන් ඔයාලට ඇහෙනවා ඇති බුද්ධදාස කරන වෙදකම් ගැන. මේ රට ඇත්තටම තියෙන්නේ වෙදකම ගැන ගැටලුවකද? ආන්න එහෙනම් මේ බුද්ධදාස වගේ වෙද්දු රටට හරියයිද? ඊට වඩා ගැඹුරු අර්බුද ගොඩක් එක්ක අද අපේ රට තියෙන්නේ. ඒ නිසා තැන් තැන් වල ගිහින් හුඹස් වල ඉන්න නයින්ට වෙදකම් කරපු පලියට බුද්ධදාසලා ආයෙත් රජ තනතුරු වල තියන්න එපා කියලා මම ඉල්ලන්න කැමතියි… 

 

2. පරාක්‍රමබාහු 

විසාල මාලිගාවක්. තට්ටු හතක්. මේ කාගේ සල්ලිද? දුප්පත් මහජනතාව අර බදු මේ බදු වශයෙන් ගෙවපු සල්ලි. ගඩොල්ම කීයක්ද? මොකද්ද මේ මාලිගා වලින් මහජනතාවට තියෙන අඩුපාඩුව?  මම ආවොත් මිත්‍රවරුනි මේ මාලිගා කාර්මික විද්‍යාල කරලා දරුවන්ට ඉගෙනගන්න තැනක් ඇති කරනවා. මට ඉන්න පොඩි පැ​ළක් ඔ​ය වැවක් ගාවින් අටවගන්නවා. ආන්න ඒ පැ​ළේ ඉ​ඳන් මම මේ රජකම කරගෙන ඔබ තමුන්නාන්සේ​ලට සේවය කරනවා. පරාක්‍රමබාහු මොනවද ක​ළේ? වැව් ටිකක් එකතු කළා, ගැහුවා පරාක්‍රම සමුද්‍රය කියලා. මේ තුමා එහෙම එකතු කරලා නම ගහන් නැහැ… අලුතින්ම හදාල ජනතාවට ඒ අලුත් වැව් වලින් අලුත් කුඹුරු ලබාදෙන්න කටයුතු කරනවා කියලා කියන්න කැමතියි. 

 

3. දුටුගැමුණු 

නංගිල මල්ලිලා දන්නවා ඇති අද එදා දුටුගැමුණු රජතුමා විජිතපුර ගි​යපු කාලේ විසඳුම් හරියන් නැහැ. මේ නංගිලාට ඕනි ලස්සන මාල ව​ළලු. මල්ලිලාට ඕනි අලුතින් මිරිවැඩිස​ඟල. ලොකු වැව් දාගැබ් හැදුවා කියලා මේවා ලබාගන්න මල්ලිලාට නංගිලට බැහැ. අපි අපේ ඊල​ඟ රජ කාලය තුල රටේ ජනතාවගේ අත මිට සරු කරනවා. මේ රටෙන් විතරක් නෙමෙයි, පිට රටිනුත් මාල ව​ළලු ගන්න අවස්ථාව අපි මේ නංගිල මල්ලිලාට උදා කරලා දෙනවා. ඒ වගේම යුද්දෙ දින්නේ දුටුගැමුණු විතරක් තනියමද? නෑ කඩොල් ඇතයි, යෝදයෝ දහ දෙනයි, මහ සේනාවයි කරපු යුද්දේ අද තනියම කළා වගේ දුටුගැමුණුගේ ගෝලයෝ කියනවා. 

 

4. ශ්‍රී වික්‍රම රාජසිංහ 

එයා කිරි මූද හැදුවලු, ද​ළදා මාලිගාවෙ පත්තිරිප්පුව හැදුවාලු, සිංහල ජනතාවට ගොඩක් වැඩ කළාලු? ඒත් කවුද මේ රාජසිංහ? එයා තමයි වඩුග රාජසිංහ. මහජනතාව දන්නවා රාජසිංහ කියන්නේ කවුද කියලා. සිංහල නායකයො එක්ක එකතු වෙලා, දෙමළ අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ පිල්ලි එක්ක එකතු වෙලා මේ රටේ බලය අල්ලගත්තා. ඉන් පස්සෙ ජනතාවට හො​ඳ මූ​ණ පෙන්වන්න පොඩි පොඩි වැඩ ටිකක් කළා. ඒ වුනාට මේ රාජසිංහ කොහෙද ඉන්න ඕනි? මොකද්ද එයාට ලැබෙන්න ඕනි කියලා ජනතාව තීරණය කරලා ඉවරයි. වඩුග රජා ඉන්දියාවට, අපේම අපේ රජෙක් ලංකාවට… ජයවේවා… 

 

5. කාශ්‍යප 

තමුන්ගේ අන්ත:පුරයේ කාන්තාවන් පමණක් තෝරල ඔවුන් සීගිරි ගල වටේ අඳින්නට කාශ්‍යප කටයුතු කරල. එහෙ​ම තමුන්ගේ ගෑණු ටික ගලේ ඇ​ඳගත් කාශ්‍යප සාමාන්‍ය ජනතාවගේ ගෑනුන්ට සීගිරි මාලිගාවේ තැනක් ලබාදීලද? නෑ නෑ… කාලාන්තරයක් තිස්සේ වටිනාකමක් තිබුන ස්වාමින් වහන්සේල වැඩ වාසය කරපු සීගිරි ගල මාලිගා හදා කාශ්‍යප විනාශ කරල. එදා යෝගීන් භාවනා ක​ළ සීගිරියෙ අද මොනවද තියෙන්නේ. ඒක තවත් නගරයක් කරලා… පරිසරය ගැන කිසිදු අනුකම්පාවක් නැති කාශ්‍යප තවත් උද්‍යාන කරමින් තමන්​​ගෙ සුඛ විහරණය පිණිස වැඩ කරනවා. කාශ්‍යප පියාට සැලකුවේ කොහොම​ද කිය​ල මහජනතාව හොඳින්​ම දන්නවා ඇති. ඒ නිසා මීල​ඟ මැතිවරණයේ දී කාශ්‍යප පැරදවීමට එක සිතින් අපි සැවොම කාශ්‍යපට විරුද්ධව එකතු වෙමු. 

 

6. නිශ්ශංකමල්ල 

ශාලාවක් හැදුවද නිශ්ශංක මල්ල, වැවක් හැදුවද එතන නිශ්ශංකමල්ල… කොටින්ම පඩිපෙලක් හැදුවත් එතන නිශ්ශංකමල්ල. මේ ලංකා ඉතිහාසේ ඉන්නවා නම් සෙල්ලිපිවලට ගල් වැඩිපුරම පාවිච්චි කරපු කෙනෙක් ඒ නිශ්ශංකමල්ල වෙන්න ඇති. මේ කාගෙ සල්ලිද? මේ කවුරු වෙනුවෙන්ද? එකම සෙල්ලිපිය පොටෝ කොපි කරලා වගේ තැන් තැන්වල. රජවරුන්ගේ හීනමානයට තැන් තැන් වල ටොන් ග​ණන් ගල් වල සෙල්ලිපි ගහන්න අපේ බදු සල්ලි නාස්ති කරනවා. ඉන් ​පස්සේ සියලු ජනතාවට සෙත සලසනවා කියලා කියනවා… කාටද මේ? කාව​ද මේ රවට්ටන්නේ? 

 

7. සීතාවක රාජසිං​හ

කටේ කිරි සුවඳ යන්නට පවා බැරිවුණා… පොර ගියා යුද්ධෙට. මේ මොකවත් නෙමෙයි මිත්‍රවරුණි. රණගාය… රණගාය. මේ ගාය තියාගෙන ජාතියන්තරයක් ඉස්සරහට අපි රෙද්දක් ඇඳගෙන යන්නෙ කොහොමද? හිතල බලන්න සහෝදරවරුණි. එහෙනම් එළඹෙන ඡන්දෙදි මතක ඇතුව අපේ අපේක්ෂකයා ඉස්සරහින් කතිරේ ගහලා ​මෙයාගෙ රණ ගාය හොඳ කරන එක ඔබ කාටත් භාරයි.

 

ඉතින් විරුද්ධ රජතුමාල එහෙම කිව්වට මේ එක රජ කෙනෙක්වත් නරක කෙනෙක් කියලා අපි කියන්නේ නැහැ. අපි එහෙම කිව්වත් ඒ වචන වල වැදගත්කමකුත් නැහැ. මොකද ඉතිහාසය කියන්නේ විශ්ලේෂ​ණය කරලා යමක් ඉගෙනගන්න පුළුවන් තැනක්. එහෙම නැතුව හරි වැරැද්ද, අපි ආස දේවල් ඉතිහාසය තුලින් බලාගන්න හදන එක එච්චර නුවණක්කාර වැඩක් නෙමෙයි. ඉතින් රජවරුන්ට එදා මේ විදියට විරුද්ධවාදින් ප්‍රසිද්ධියේ බනින මැතිවරණ නැතිවුනත් විරුද්ධ කණ්ඩායම් රහසින් හරි මේ වගේ කතාන්දර කියන්න ඇති නේද? 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *