ඉස්සර ඔය කොම්පියුටර් වැඩ වලට අත් පොත් තියපු කාලේ අපි වැඩ කලේ ෆ්ලොපි ඩිස්ක් එක්කනේ. ඇත්තටම මෙගාබයිට් දෙකකවත් මෙමරියක් නැති ෆ්ලොපි ඩිස්ක් වලින් අපි වැඩ කළා කියලා හිතනකොටත් පුදුම හිතෙනවා. ඊට පස්සේ ඔන්න සීඩී ආවා. ඊටත් පස්සේ මෙමරි කාඩ්ස්, පෙන් ඩ්‍රයිව්ස්, ඩීවීඩී, බ්ලූරේ ඩිස්ක්, එක්ස්ටර්නල් හාඩ් ඩිස්ක් වගේ එක එක විදියේ මතක ධාරිතා එන්න පටන් ගත්තා. දැන් කාලේ ගැන කථා කළොත් එහෙම, ටෙරාබයිට් එකක එක්ස්ටර්නල් හාඩ් එකක් කියන්නේ බොහොම සාමාන්‍ය දෙයක් වෙලා. ඒ විතරක් නෙවෙයි, ටෙරාබයිට් 4 හාඩ් පවා මතක ධාරිතා විදියට ගොඩක් අය පාවිච්චි කරනවා. හැබැයි මේ තමන් ගාව තියෙන මතක ධාරිතා උපාංග වල දත්ත සුරක්ෂිත කරන එකත් යල් පැනගෙන එන්නේ. ඒ වෙනුවට දැන් කාලේ ජනප්‍රිය භාවිතාවක් වේගෙන එන්නේ ක්ලවුඩ් මතක ධාරිතා පාවිච්චි කිරීම. ඉන්ටර්නෙට් සම්බන්ධතාවයක් විතරයි ඕන.
දැන් ක්ලවුඩ් මතක ධාරිතාවක් පාවිච්චි කරනවා නම්, ඒකට තමන්ට හරියන ක්ලවුඩ් මතක ධාරිතා සේවාව තෝරගන්න වෙනවනේ. හැබැයි දැන් කාලේ ක්ලවුඩ් මතක ධාරිතා සේවාවන් සෑහෙන්න තියෙන නිසා ඒක ලොකු ප්‍රශ්නෙකුත් නෙවෙයි. ඒ නිසා බලන්න මේ ක්ලවුඩ් මතක සේවාවන්ගෙන් මොකද්ද තෝරගන්න හොඳම කියලා.
1. Google Drive
අපි හිතන්නේ ලෝකේ ගොඩක්ම දෙනෙක් දන්න ක්ලවුඩ් ධාරිතා සේවාව මේක වෙන්න ඇති කියලා. ඒකට හේතුව ගූග්ල් එකවුන්ට් එකක් තියෙන ඕනම කෙනෙක්ට නොමිලේ ගූග්ල් වෙතින් ගිගාබයිට් 15 ක් ලැබීම. හැබැයි මේ ගිගාබයිට් 15 සාමාන්‍යයෙන් නම් ලැබෙන්නේ ඊමේල්ස් සහ ක්ලවුඩ් මෙමරි කියන දෙකටම තමයි. ඒ නිසා අවුරුදු ගණන් පරණ ඊමේල්ස් තියාගෙන ඉන්න අයට ඔය ඉඩකඩ ප්‍රශ්න එන්න පුළුවන්. කොහොම වුනත් භාවිතයට අතිශයින්ම පහසු වීමත්, පුද්ගලික දේවල් පවා විශ්වාසයක් ඇතුව රඳවා තියන්න පුළුවන් විදියේ හොඳ ආරක්ෂාවක් තිබීමත්, අපි පාවිච්චි කරන ගූග්ල් නිෂ්පාදන එක්ක ගූග්ල් ඩ්‍රයිව් එක පාවිච්චිය වඩාත් පහසු වීමත් කියන හැමදේම ගත්තහම ගූග්ල් ඩ්‍රයිව් කියන්නේ ඕනම කෙනෙක්ට ගැලපෙන හොඳම ක්ලවුඩ් මතක ධාරිතාව කියන්න පුළුවන්.
2. Dropbox
විශේෂයෙන්ම ඔය ඔෆිස් වල එහෙම ඉතාම ජනප්‍රිය ක්ලවුඩ් ධාරිතා සේවාවක් තමයි ඩ්‍රොප්බොක්ස් කියන්නේ. ඒකට හේතුව ඩ්‍රොප්බොක්ස් සේවාවේ තියෙන ප්‍රබලත්වය විතරක් නෙවෙයි. මේකේ තියෙන ඉතාම හොඳ බැකප් සේවාවත් ඒකට හේතුවක්. ඒ කියන්නේ තමන්ගේ දත්ත නැතිවෙන්නේ නැහැයි කියලා වැඩිමනත් විශ්වාසයක් තියෙනවා කියන එක. ඒ වගේම මේකේ තියෙන easy sync හැකියාව හරහා තමන්ගේ ඕනම උපාංගයක් එක්ක තමන්ගේ ඩ්‍රොප්බොක්ස් එක යාවත්කාලීන කරලා තියන්න පුළුවන්. හැබැයි ඉතින් ලොකු මතක ධාරිතාවක් නම් මේ අය දෙන්නෙ නෑ. නොමිලේ දෙන්නේ ගිගාබයිට් 2 යි!
3. OneDrive
ගූග්ල් පාවිච්චි කරන අයට ගූග්ල් ඩ්‍රයිව් වගේ, මයික්‍රසොෆ්ට් නිෂ්පාදන පාවිච්චි කරන අයට ලේසිම ක්ලවුඩ් ධාරිතා සේවාව තමයි මයික්‍රසොෆ්ට් වන් ඩ්‍රයිව් කියන්නේ. මයික්‍රසොෆ්ට් එක්ක රෙජිස්ටර් වුණහම ඕනම කෙනෙක්ට එක්කෙනෙක්ට ගිගාබයිට් 5 ක ක්ලවුඩ් ධාරිතාවක් නොමිලේ ලබාදෙනවා. විශේෂයෙන්ම වෘත්තිකයෝ අතරේ වන් ඩ්‍රයිව් එක සෑහෙන්න ජනප්‍රියයි. එතකොට මයික්‍රසොෆ්ට් ඔෆිස් පැකේජයන් පාවිච්චි කරන අයටත්, අවුට්ලුක් ඊමේල් සේවාව පාවිච්චි කරන අයටත් වන් ඩ්‍රයිව් එකත් එක්ක බොහෝම ඵලප්‍රයෝජන ලබාගන්නත් පුළුවන්!
4. iCloud
අනික් හැම සේවාවකම ක්ලවුඩ් ධාරිතාවන් ලබාදෙනවා වගේම, අයිෆෝන් හරි මැක් හරි ඒ වගේ ඇපල් උපාංග පාවිච්චි කරන අය වෙනුවෙනුත් ඇපල් සමාගම ක්ලවුඩ් ධාරිතා සේවාවක් හඳුන්වලා දීලා තියෙනවා. මේකේ නම අයි-ක්ලවුඩ්. විශේෂයෙන්ම තමන්ගේ ෆයිල්ස් සහ ෆෝල්ඩර්ස් කළමනාකරණය කරගන්න එක අයි-ක්ලවුඩ් එක්ක බොහොම පහසු කාරණාවක්. ගිගාබයිට් 5 ක මතක ධාරිතාවකුත් මූලිකව එක පරිශීලකයෙක්ට ලැබෙනවා. ඔය ප්‍රමාණය වැඩි කරගන්නත් පුලුවනිනේ. තමන්ගේ මැසේජස් පවා ස්වයංක්‍රීයව අයි-ක්ලවුඩ් එකේ සුරක්ෂිත වෙන විදියට ඕන නම් සැකසුම් කරන්නත් හැකියාව තියෙනවා.
5. Amazon Cloud Drive
ඇමසන් ඩ්‍රයිව් කියන්නේ ඇමසන් සේවාවන් පාවිච්චි කරන පරිශීලකයින්ට සමාගමෙන්ම ලබාදෙන ක්ලවුඩ් ධාරිතා සේවාව. නොමිලේ ලබාදෙන මේ සේවාව එක්කත් ගිගාබයිට් 5 ක් එක පරිශීලකයෙක්ට ලැබෙනවා. ඒ වගේම බොහොම ප්‍රබල හැකියාවන් සහ විශේෂාංග ගණනාවකුත් මේ එක්කම ලබාදෙනවා. එතකොට ඇමසන් සමාගම කියන විදියට 24*7 කස්ටමර් කෙයාර් සහායත් තියෙන නිසා මොකක් හරි ප්‍රශ්නයක් වුනත් ලේසියෙන් විසඳගන්න පුළුවන්. ෆොටෝස්, වීඩියෝස් සහ ඩොකියුමන්ට්ස් වගේ ඕනම දෙයක් සුරක්ෂිත කරන්න, ෂෙයාර් කරන්න පාවිච්චි කළ හැකි මේ සේවාව ඔය ඇමසන් කින්ඩ්ල් උපාංග පාවිච්චි කරන අයටත් වැදගත් වෙයි.
6. Media Fire
මීඩියා ෆයර් කාලෙකට කලින් නම් පාවිච්චි වුනේ ඔන්ලයින් ඩොකියුමන්ට්ස් සහ ෆොටෝස් එහෙම ෂෙයාර් කරගන්න තමයි. හැබැයි දැන් වෙනකොට ක්ලවුඩ් මතක ධාරිතාවක් විදියටත් මීඩියා ෆයර් ජනප්‍රිය වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් මූලිකවම මීඩියා ෆයර් එකෙන් නොමිලේ ලබාදෙන්නේ ගිගාබයිට් 10 ක ඉඩක් විතරයි. හැබැයි ඒ නොමිලේ දෙන ධාරිතාවය ගිගාබයිට් 50 ක් දක්වා වැඩි කරගන්නත් අවස්ථාව ලබලා දීලා තියෙනවා. ඉතින් ක්ලවුඩ් ධාරිතා සේවාවන් සම්බන්ධයෙන් සලකන කොට මේක ඉතාම ඉහළ ධාරිතාවක් කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. එක පාර ෆයිල්ස් ගණනාවක් අප්ලෝඩ් කරන්නත් මීඩියා ෆයර් එකේ පුළුවන්.
7. Mega
මෙගා කියන්නෙත් ටිකක් ඩ්‍රොප්බොක්ස් එකට සමාන ක්ලවුඩ් ධාරිතා සේවාවක්. හැබැයි මෙගා සේවාවෙන් ගිගාබයිට් 50 ක් වගේ විශාල ධාරිතාවක් පරිශීලකයින්ට ලබා දෙනවා. මෙගා ඇප් එකකුත් තියෙන නිසා ඕන වෙලාවක මොබයිල් එකෙන් ඩේටා අප්ලෝඩ් කරන්නත් පුළුවන්. නොමිලේ පාවිච්චි කරන්නත් පුළුවන්. ඒ වගේම පහසුවෙන්ම ෆයිල්ස් ගණනාවක් වුනත් zip ෆෝමැට් එකෙන් ආයෙ ඩවුන්ලෝඩ් කරන්නත් පුළුවන්. සෑහෙන්න හොඳ ආරක්ෂාවකුත් අපේ දත්ත වලට ලැබෙනවා. ඒ වගේම හොඳ බැකප් ෆයිල් සේවාවකුත් මේ අය ලබාදෙනවා.
ක්ලවුඩ් මතක ධාරිතාවයක තියෙන ලොකුම වාසිය වෙන්නේ අන්තර්ජාලය ඔස්සේ තමන්ගේ දත්ත සුරක්ෂිත කරලා තියන්න තැනක් ලැබෙන එකම විතරක් නෙවෙයි. තමන්ගේ ඕනෑම උපාංගයකින්, ලෝකේ ඕනෑම තැනක ඉඳලා ඒ දත්ත වලට ප්‍රවේශ වෙන්න ඉඩ ලැබීම වගේම ඕනම කෙනෙක් එක්ක බොහොම පහසුවෙන් විශාල ගොනු පවා ෂෙයාර් කරගන්න හැකියාව ලැබීමත් විශේෂයි.
Leave a Reply