බිග් බෑඩ් වුල්ෆ් 2019 බලලා පිස්සුවෙන් පොත් ගන්න යමුද?

සාමාන්‍යයෙන් පොත් කියවන එක විනෝදාංශයක් විදියටනේ සැලකෙන්නේ. හැබැයි පොත් කියවන ගොඩක් අය දන්න දෙයක් තමයි, පොත් ගන්නවා සහ පොත් කියවනවා කියන්නේ විනෝදාංශ දෙකක් කියන එක. ෂුවර් නැද්ද? එහෙමනම් අහලා බලන්න ගිය අවුරුද්දේ කොළඹ බුක් ෆෙයාර් එකෙන් මළු පිරෙන්න පොත් ගත්තු අයගෙන් පොත් කීයක් කියවලා ඉවරද කියලා? තාම කියවගෙන යනවා කියයි. හැබැයි එහෙම වුනාට මේ පාර කොළඹ පොත් ප්‍රදර්ශනේනුත් අපි පොත් ගත්තා. ඒක ඉවර වෙලා තඩි නපුරු වෘකයා පොත් කන්ටේනර් පිටින් අරගෙන ආවහම ඒකට ගිහිල්ලත් අපි පොත් ගන්නවා. ආන්න ඒක තමයි පොත් පිස්සෙක්ගේ විදිය!

ඉතින් මේ පාරත් වෘකයා ඇවිත් ඉන්න නිසා, මමයි අපේ ඩිසයිනර් ලොක්කයි ගියා පොත් ටිකක් ගන්න කියලා පෙර දැකුම් දවසෙන්. ඔව්, ඒ කිව්වේ ප්‍රීවීව් ඩේ එක. ඉතින් ඩිසයිනර් ලොක්කා ෆොටෝ ගන්න අතරේ මම ඇවිදලා බලලා හොයාගත්තු කරුණු කාරණා ටික තමයි මේ කියන්න යන්නේ. එතකොට මේ දවස් ටිකේ බිග් බෑඩ් වුල්ෆ් බලන්න යන ඈයින්ට උදවුවක් වෙයිනේ.

 

1. කවද කවදද ඕක තියෙන්නේ?

බිග් බෑඩ් වුල්ෆ් පොත් ප්‍රදර්ශනේ පෙර දැකුම් දවස තිබුණේ 17 වෙනිදා. හැබැයි එදාට ඇතුළට යන්න පුළුවන් වුනේ පාස් තියෙන අයට විතරයි. පාස් ලැබුණේ බිග් බෑඩ් වුල්ෆ් ෆේස්බුක් පේජ් එකේ තිබුණු එක එක විදියේ තරග ජයග්‍රහණය කරලා. හැබැයි දැන් ඒක ඉවරයිනේ. බිග් බෑඩ් වුල්ෆ් මහා පොත් ප්‍රදර්ශනය ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී (SLECC) මහජනතාවට විවෘත වෙනවා ඔක්තෝබර් 18, ඒ කියන්නේ සිකුරාදා. එදා ඉඳන් ඔක්තෝබර් 28 වෙනකල් පුරා දවස් දහයක් ප්‍රදර්ශනේ විවෘතයි!

හැබැයි එක වෙනසක් තියෙනවා. ගිය අවුරුද්දේ සහ ඊට කලින් අවුරුද්දේ පොත් ප්‍රදර්ශනේ පැය 24 ම විවෘත වෙලා තිබුණනේ. ඒ නිසා සමහරු නිදහසේ පොත් තෝරන්න කියලා මහ රෑ විතරක් නෙවෙයි, පාන්දරත් ගියා. ඒත් මේ පාර පොත් ප්‍රදර්ශනේ තියෙන්නේ හැමදාම උදේ 10 ඉඳලා රාත්තිරී 10 වෙනකල් විතරයි.  හැබැයි සති අන්තේ, ඒ කියන්නේ සිකුරාදා ඉඳන් ඉරිදා වෙනකල් නම් පැය 24 ම පොත් ප්‍රදර්ශනය විවෘතයි!

 

2. වාහන පාකින්!

පොත් ගැන කතා කරන්න කලින් වාහන පාකින් ගැන කතා කරන්න හේතුවක් තියෙනවා. මේක බිග් බෑඩ් වුල්ෆ් බලන්න එන සෑහෙන දෙනෙක්ට තියෙන ගැටළුවක් නිසා. ඉතින් බස් එකක එනවා නම් කොයි පැත්තෙන් ආවත් බිග් බෑඩ් වුල්ෆ් පැවැත්වෙන ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයට එන්න ලේසියි. 120, 125 බස් වල ආවොත් ප්‍රදර්ශනේට අඩි කීපයක් මෙහා බස් හෝල්ට් එකෙන් බැහැ ගන්න පුළුවන්. අනික් 138, 100, 101 වගේ මොන බස් එකක ආවත් රීගල් එක ගාවින් බැහැලා පාර පැනගෙන ලේක්හවුස් පැත්තට එන්නයි තියෙන්නේ. කොටුව පැත්තේ ඉඳන් ආවත් ඒ විදියයි.

වාහන වල එන පිංවතුන් කරුණාකරලා පාර අයිනේ වාහනේ පාක් කරලා එන්න හිතන්න එපා. එකක්, පොලිසියෙන් ඉඩ නොදෙන්න ඉඩ තියෙනවා. අනික පාර අයිනේ වාහන කීයක් නං කියලා පාක් කරන්නද. ඒ නිසා හොඳම දේ තමයි ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයට පොඩ්ඩක් එහායින් කොටුව පැත්තට වෙන්න වලේ වගේ තියෙන වාහන පාක් එකට වාහනේ දාන එක. එතන ඇති පදම් ඉඩ තියෙනවා. පොඩි ගාණක් තමයි පාකින් වලට ගන්නෙත්.

 

3. මොනවද තියෙන පොත්?

ඇත්තටම බිග් බෑඩ් වුල්ෆ් ප්‍රදර්ශනේට එන කෙනෙක් අහන්න ඕන ප්‍රශ්නේ ඕක නෙවෙයි. බිග් බෑඩ් වුල්ෆ් එකේ ගන්න නැති පොත් මොනවද කියන එක තමයි අහන්න ඕන. ඇත්තටම පෙරදැකුම් දවස නම් පොත් පිස්සෙක්ට ඒ තරම් සාර්ථකයි කියලා නොහිතෙන්න පුළුවන්. ඒත් අමතක කරන්න එපා, බිග් බෑඩ් වුල්ෆ් එකේ දවස් කීපෙකට සැරයක් අලුතින් පොත් එකතු වෙනවා කියන එක. 

කොහොමත් මේ පාරත් පොත් විවිධ ෂානර වලට, කාණ්ඩ වලට බෙදලා, වෙන වෙනම කොටස් වල තමයි තියලා තියෙන්නේ. Fiction පොත් ගත්තහම Science Fiction & Fantasy, Young Adult, Literature, Romance, Comic & Graphic Novels වගේ කොටස් වලට බෙදලා තියෙනවා. එතකොට Non-Fiction පොත් ගත්තහම ඊටත් වඩා වැඩි විවිධාංගීකරණයක් තියෙනවා. Popular reads, Architecture & Design, Art & Photography, Baking, Beauty & Fashion, Biographies & Memoirs, Business & Economics, Cook Books, Cookery, Crafts & Hobbies, Family & Relationships, Graphic Design, Health & Wellness, History, Humour, Language, Music & Movies, Pets & Nature, Puzzles & Games, Reference, Religion, Science & Technology, Self-Help, Sports, Transportation, Travel වගේ ඉතාම විශාල මාතෘකා ප්‍රමාණයක් යටතේ පොත් මේ පාරත් තියෙනවා. විශේෂයෙන්ම අධ්‍යාපනය ලබන අයට මේ Non-fiction සෙක්ෂන් ටික ඉතා වැදගත් වෙයි.

ඊට අමතරව ඉතින් පොඩි අයටත් බිග් බෑඩ් වුල්ෆ් කියන්නේ පිස්සු හැදෙන සුන්දර ලෝකයක්. එක එක පාට කරන පොත් වල ඉඳලා එක එක විදියේ ලස්සන ලස්සන ළමා පොත් මෙතන පිරිලා!

 

4. කොහොමද පොත් තෝරන්නේ?

සාමාන්‍යයෙන් ඉංග්‍රීසියෙන් පොත් පත් කියවන, ඉංග්‍රීසියෙන් ලියන ලේඛකයෝ, විශ්ව සාහිත්‍ය කෘති ගැන එහෙම හොඳ දැනුමක් තියෙන කෙනෙක්ට මෙතනින් පොත් තෝරලා හොඳ පොත් ගන්න එක අමාරු වැඩක් නෙවෙයි. හැබැයි එහෙම නැති ආධුනිකයෙක්ට, මොනවද මෙතනින් ගන්න ඕන හොඳ පොත් කියලා තෝරාබේරා ගන්න එක පොඩි ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ආන්න ඒකට කරන්න දෙයක් තියෙනවා. මුලින්ම තමන්ට ඕන ෂානරය මොකද්ද කියලා හිතලා බලලා, ඒ අදාළ සෙක්ෂන් එකට යන්න පුළුවන්. ඉන් පස්සේ තමන්ට හිත යන පොතක් අරගෙන, ගුඩ්රීඩ් වෙබ් සයිට් එකේ පොඩ්ඩක් පොතේ නම ටයිප් කරලා බලන්න පුළුවන්. ඕන නම් කෙලින්ම ගුඩ්රීඩ් ඇප් එක ෆෝන් එකට දාගන්නත් පුළුවන්. එතකොට පෙන්නනවා පොතට කියවපු අය දීලා තියෙන රේටින්ග්ස් සහ ඒක ගැන එක එක්කෙනා ලියලා තියෙන විචාර. සාමාන්‍යයෙන් 4 වගේ අගයක් හෝ ඊට ආසන්නයෙන් යන අගයක් තියෙන පොත් හොඳයි කියන්න පුළුවන්. එතනින් එහාට ඉතින් විචාර වලිනුත් අදහසක් ගන්න පුළුවන්.

ඊලඟට, බිග් බෑඩ් වුල්ෆ් ගියහම දන්න කියන අය ඕන තරම් මුණගැහෙනවා. එතනින් පොත් ගැන දන්න කියන යාලුවෙක්ගෙන් පොඩ්ඩක් හොඳ පොත් ගැන අහලා බලන එකත් සාර්ථක ක්‍රමයක්. විශේෂයෙන්ම අපිට මග ඇරෙන හොඳ පොතක් යාලුවාගේ ඇහැ ගැටිලා තියෙන්න පුළුවන්.

අනික් කාරණාව තමයි, ගොඩක් පොත් සෙලෝපේන් වලින් ආවරණය කරල තිබුණට, එතන තියෙනවා සාම්පල් පොත්. ඉතින් පොතක් අතට අරගෙන පිටු කීපයක් කියවලා බලනකොට තේරෙනවා පොත කොයි වගේද, තමන්ට අල්ලයිද කියන එක. 

 

5. ඩිස්කවුන්ට්!!

බිග් බෑඩ් වුල්ෆ් සහ ඩිස්කවුන්ට් ගැන කථා කරන එකත් ඉතින් බිග් බෑඩ් වුල්ෆ්ට කරන අපහාසයක් වගේ තමයි. ඇයි දෙයියනේ අලුත්ම කිරි කිරි පොත්වලට 50% ඉඳලා 90% වෙනකල් ඩිස්කවුන්ට් දෙනකොට! මෙතන සාමාන්‍යයෙන් පොත් වල මිල ගණන් පටන් ගන්නේ රුපියල් 600 න්. ගොඩක් පොත් යන්නේ රුපියල් 600, 720 සහ 900 වගේ ගණන් වල. හැබැයි ඉතින් ගිය අවුරුද්දේ ගියපු අයට මේ ගණන් දැක්කහම පේනවා ඇති, ගිය අවුරුද්දට වඩා චුට්ටක් විතර ගණන් වැඩි වෙලා කියලා. හැබැයි තාමත් පාඩු නෑ. විශේෂයෙන්ම කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට ගියපු අයට පේනවා ඇති, එතන තිබුණු ගොඩක් සිංහල නවකථා වලටත් වඩා බිග් බෑඩ් වුල්ෆ් එකේ තියෙන පොත් ගණන් ඉතාම අඩු බව.

එතකොට ඔය පොත් සීරීස් එහෙමත් කීපයක්ම දකින්න ලැබුණා අති විශේෂ වට්ටම් එක්ක. ෂර්ලොක් හෝම්ස් පැක්, Divergent පැක්, Percy Jackson පැක් වගේ පොත් සෙට් එකම සාපේක්ෂව ගත්තහම සෑහෙන ලාබෙට තියෙනවා.

මීට අමතරව ගිය අවුරුද්දේ වගේම බිග් බෑඩ් වුල්ෆ්ගේ වුල්ෆ් පැක් එකේ ඉන්න සාමාජිකයින්ටත් අතිවිශේෂ වට්ටම්, සමහර පොත් වලට ලැබෙනවා. ඒ පොත් මොනවද කියලා හොයාගන්න පුළුවන් විදියේ විශේෂ ලේබල් එකක් ගහලා තියෙනවා.  

තව එක එක විදියේ තරගත් බිග් බෑඩ් වුල්ෆ් පැවැත්වෙන දවස් 10 පුරාම තියෙනවා. මේ තරග ගැන දැනගන්න පුළුවන් බිග් බෑඩ් වුල්ෆ් ෆේස්බුක් පේජ් එකෙන්. මේ තරග වලින් දිනන අයටත් පොත් ගන්න වවුචර් අනං මනං ලැබෙනවා.

 

6. රෙඩ් රයිඩින් හුඩ් එක්ක පොත් දානයක්

කැෂියර් එකෙන් පොත් ටික ක්ලියර් කරලා අරගෙන එනකොට ඔන්න පිට වෙන තැනදී හම්බුවෙනවා රතු පාට කේප් බෙල්ල වටේ ඔතාගත්තු ගෑල්ලමයි සෙට් එකක්. බලනකොට මේ අය ඔක්කොම රෙඩ් රයිඩින් හුඩ්ලා. කතාවේ හැටියට නං නපුරු වෘකයා එන්නේ රෙඩ් රයිඩින් හුඩ්ව ගිලින්න වුනාට, මේ කතාවේ හැටියට මේ දෙන්නා යාලුවෝ. රෙඩ් රයිඩින් හුඩ්ලා එතන කරන්නේ බොහොම හොඳ වැඩක්. ලංකාව පුරාම ඉන්න පොත් පත් ගන්න සල්ලි නැති දරුවන් වෙනුවෙන් මේ අය පොත් එකතු කරනවා. අපිට කරන්න තියෙන්නේ එතන තියෙන පොත් වලින් අපිට කැමති පොතක් හෝ දෙකක් හෝ කීපයක් හෝ අරගෙන, රෙඩ් රයිඩින් හුඩ්ලාගේ කැෂියර් එකට සල්ලි ගෙවලා, ඒ පොත් ටික ප්‍රදානය කරලා එන එක. රුපියල් තුන්සීයේ හාරසීයේ ඉඳලා මෙතන ළමා පොත් තියෙනවා. එව්වා යන්නේ Center of Hope පුණ්‍ය ආයතනයට. එතනින් ඒ අය මේ ඉංග්‍රීසි ළමා පොත්, ලංකාව පුරා ඉන්න පොත් කියවන්න ආස, ඒත් මූල්‍යමය ශක්තිය හිඟ දරුවෝ වෙනුවෙන් බෙදා හරිනවා.

ඉතින් පොතුත් අරගෙන, පිනකුත් කරගෙන එන්නයි තියෙන්නේ! 

 

7. පොත් අරන් බඩගිනියෝ!

දැන් මේ විදියට අපි පොත් අටෝරාසියක් ට්‍රොලි වල දාලා අරගෙන ආවට පස්සේ එනවා යක්කු පහක් ගිලලාවත් නිවාගන්න බැරි ලෙවල් එකේ බඩගින්නක්. හැබැයි බිග් බෑඩ් වුල්ෆ් සංවිධායකයෝ ඒකටත් ඉතාම සාර්ථක ප්‍රතිකර්මයක් යොදලා තියෙන්නේ. බිග් බෑඩ් වුල්ෆ් පරිශ්‍රයේ එළියේ තියෙනවා සෑහෙන්න ඉහළ මට්ටමේ ෆුඩ් කෝට් එකක්. ඇත්තටම මීට කලින් වතාවන්ට වඩා මේ පාර ෆුඩ් කෝට් එක සරුයි. එළියට බැහැපු වෙලාවේ ඉඳලා කෑම සුවඳ ඇවිත් කන්න වරෙං කියලා අත වනනවා. ගිය පාරට වඩා ස්ටෝල්ස් වැඩියි වගේම, ස්ටෝල්ස් වල විවිධත්වයකුත් තියෙනවා. ඉතින් කරන්න තියෙන්නේ පොත් මළු බිමින් තියලා, පොත් අරගෙන අතේ ඉතුරු වුණු පිච්චියත් වියදම් කරලා මෙතනින් බඩ පිරෙන්න කන්න තමයි!

 

මාසේ ඉතුරු ටිකයි, ලබන මාසෙයි නොකා නොබී පොත් වල සුවඳ බලලා හරි ජීවත් වෙන්න බැරියැයි!!! 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *