සුරතලෙක් ඇතිකිරීම සහ ඔවුන්ගෙන් විනෝද වීම කියන්නේ බොහෝ දෙනාට සතුට දෙන වැඩක්. සුරතලුන් ඇතිකිරීම මගින් මානසික ආතතිය අඩුකරගන්නත් පුළුවන්. සුරතල් සතුන් ලෙස අපි බල්ලන්, පූසන්, මාලු, කුකුල්ලු ආදිය ඇති කරනවා. ඒත් සර්පයින්? සර්පයින් නම් අපේ රටේ සුරතලුන් විදිහට තවම ඇතිකරන්නේ නැහැ. ඒත් විදෙස් රටවල සර්පයින් ඇතිකිරීම ජනප්‍රිය විනෝදාංශයක් වෙලා තියෙනවා. සර්පයින් ඇතිකිරීම ගැන අපි තොරතුරු ටිකක් බලමු.
1. සර්පයින් ඇතිකිරීමේ වාසි
බල්ලො පූසෝ වගේ සතුන් ඇතිකරන එක ජනප්‍රිය විනෝදාංශයක්. ඒත් සමහර බල්ලෝ පූසෝ එහෙම නඩත්තු කරන්න සෑහෙන වියදමක් ශ්‍රමයක් යනවා. ලොකු සිව්පාවුන්ට වඩා සර්පයෝ ඇතිකරන එක ලේසියි. සර්පයින්ට උණුසුම ඕනි. ඒ වගේම කෑම බීමත් ඕනි. ඒත් බල්ලෝ පූසෝ වගේ ගොඩක් කෑම දීම, ලෙඩදුක් බැලීම වගේ දේවල් සර්පයින්ට අවශ්‍ය නැහැ. ඒ වගේම සර්පයින් විවිධාකාරයි. අපි කැමති මෝස්තරයේ, කැමති තරමේ සර්පයෙක් තෝරාගන්නට සර්පයින් ඇතිකරන රටවලදි අවස්ථාව ලැබෙනවා. සර්පයින් ඇතිකරන අය කියන විදිහට සර්පයිනුත් අනෙක් සතුන් වගේම ටික කලක් ගියාම මිනිසුන්ට ඇඟෑලුම් කම් දක්වනවා.
2. හැම සර්පයම විෂද?
සර්පයෝ කිව්වම “අපෝ උන් විසයි නේ” කියලා තමයි අපි ගොඩක් අය හිතන්නේ. ඒත් සර්පයෝ හැම එකාම විස නැහැ. ලංකාවේ එකිනෙකට වෙනස් සර්පයෝ වර්ග 94ක් ඉන්නවා. එයින් මාරාන්තික විෂ සහිත සර්පයෝ ඉන්නේ අත් දෙකේ ඇඟිලි ගාණටත් අඩුවෙන්. විෂ වැඩිම සර්පයෝ විදිහට තෙල් කරවලා, නාගයා, වැලි පොළගා, තිත් පොළගා පොළොන් තෙලිස්සා, මූදු කරවලා, දෙපත් කළුවා ආදී සතුන් දක්වලා තියෙනවා. ඒ වගේම මාපිලා, ඇහැටුල්ලා, හෙනකඳයා, මල්සරා ආදී සර්පයින් මද විෂ සර්පයෝ විදිහට හඳුනාගෙන තියෙනවා. මේ අතර දියබරියා, අහරකුක්කා, ගැරඬියා ආදී මෙළෝ විසක් නැති සර්පයෝ තමයි බහුතරයක්ම වාර්තා වෙලා තියෙන්නේ.
3. සර්පයින් ඇතිකිරීම
ලංකාවේදී නම් සර්පයින් දුටු තැන බයවෙලා, ඌව අල්ලගෙන බෝතලයකට දාලා ඇලඩින්ගෙ පහනට දැම්මා වගේ විසික් කරලා දාන්නයි බොහෝ දෙනා උත්සාහ කරන්නේ. ඒත් දියුණු රටවල ඇතිකරන්න සුදුසු සර්පයෝ විකුණන්නත් ඉන්නවා. සර්පයෝ, උරඟයෝ ඇතිකරන අය සමාජයේ විධායක නිලධාරින් ආදී ඉහළ තනතුරුවල ඉන්න අය කියලා ඒ පිළිබඳ කරපු සමීක්ෂණයකින් හොයාගෙන තියෙනවා. අපේ රටේ නම් දරුවෙක්ට සර්පයෙක් කිට්ටු කරන්නත් බිය වුනාට දියුණු රටවලදී විෂ රහිත සර්පයින් දරුවන්ටත් ඇතිකරන්නට ලබාදෙන බව අන්තර්ජාලය පිරික්සීමේදී පෙනී යනවා.
4. සර්පයෝ ඇතිකිරීම හානියක්ද?
සර්පයෝ ඇතිකිරීම විනෝදාංශයක් වුනේ ඉතාම මෑතකදී. ඒ කියන්නේ සර්පයෝ බල්ලෝ, පූසෝ, මීයෝ වගේ සාම්ප්‍රදායික සුරතලුන් නෙමෙයි. බල්ලෝ පූසෝ වගේ සතුන් වසර දාස් ගාණක් තිස්සේ ස්වභාවිකව වරණයට ලක් වෙලා මිනිස්සුන් එක්ක උන්ට සතුටින් ඉන්න හැකි විදිහට සකස් වෙලා තියෙනවා. ඇතිකරන සතුනුත් සතුටින් ඉන්නවා වගේ කියලා පේනවා. ඒත් සර්පයෝ ගැන දන්න වන සත්වවේදීන් කියන්නේ සර්පයින් සතුටින් ඉන්නවාද නැද්ද යන වග සොයාගන්නට ඉතාම අපහසු බවයි. කැනඩාවේ සහ ඇමරිකාවේ සර්ප වෙළඳපොළවලට පවා හොර රහසේ අප්‍රිකාවෙන්, දකුණු ඇමරිකාවෙන් සර්පයෝ එන බවකුත් සඳහන් වෙලා තියෙනවා. අලුත්ම සතුන් වනයෙන් රැගෙන ඇතිකරන එක අපිට විනෝදයක් වුනත් ඒ සතුන්ට නම් ඒක තවත් විනෝදයක් නොවෙන්නට බොහෝවිට ඉඩ තියෙනවා.
5. සර්පයාට ටැංකියක් හැදීම
සර්පයින් ඇතිකරද්දි උන්ව නියමිත උෂ්ණත්වයේ තබන්නට වගබලාගන්න ඕනි. මොකද සර්පයින් කියන්නේ පරිසරයට අනුව උන්ගේ ශරීර උෂ්ණත්වය වෙනස් කරගන්න බැරි චලතාපී සත්තු ජාතියක්. ශීත රටවල සර්පයින් ඇතිකරන කොට මේක ඉතා වැදගත් දෙයක් කියලා දක්වලා තියෙනවා. ඉතින් මේ සර්පයින්ට ඉන්න උණුසුම් කුටීරයක් සදා දීම මෙන්ම ඔවුන් රැක බලා ගැනීමත් ටිකක් අමාරු වැඩක්. ඔවුන්ට සැඟවෙන්නට තැන් සැදීම, වතුර ආදිය සැපයීම සිදුකරන්නට ඕනා. ඒ වගේම ඒ ඒ සර්පයින්ට දෙන කෑම ජාති වෙනස්. ස්වාභාවික පරිසරයේදී පණ තියෙන සත්තු අල්ලාගෙන කෑවාට, ඇතිකරන සර්පයින්ට පණ තියෙන සතුන් ලබාදීම එතරම්ම උචිත වෙන්නේ නැති බවකුයි සඳහන් වෙන්නේ.
6. ඇතිකරන්නට පහසු සර්පයින්
මේක රටවල් අනුව වෙනස් වෙනවා. ජනප්‍රියම සතුන් විදිහට කිංග් ස්නේක්, බෝල් පයිතන් ආදී සතුන් ජනප්‍රිය වෙලා තියෙනවා. ඒ වගේම රැට්ල් ස්නේක් කියලා කියන සර්ප වර්ගයත් සමහර රටවල ඇතිකරන්න ජනප්‍රිය සතුන් වෙලා තියෙනවා. මේ සර්පයින් ඇතිකරද්දි ඔවුන්ගේ දිගට සාපේක්ෂව ටැංකි හදලා ඇතිකරන්න ඕනි කියලා නියම කරලා තියෙනවා. සමහර තැන්වලදි සුවිශාල පිඹුරන්, ඇනකොන්ඩා සතුන් ආදිය නිවෙස් වල ඇතිකරනවා. ඒත් එවැනි විශාල සතුන් වෙනුවෙන් අවකාශ තනා දීම වගේම ඔවුන්ට ආහාර සපයාදීමත් ටිකක් ලොකු අභියෝගයක් වෙනවා. ඒ නිසා බොහෝවිට බොහෝදෙනා වඩාත් පහසු ලෙස කුඩා සර්පයින් ඇතිකරන්න තෝරාගන්නවා.
7. ලංකාවෙදි කරන්න පුළුවන්ද?
මේකට සරලම උත්තරේ නම් ‘අමාරුයි’ කියන එකයි. ලංකාවේ තියෙන වනසත්ව නීති රෙගුලාසි අනුවත් වනයේ වෙසෙන සර්පයින් ඇතිකරන්නට බැහැ. ඒ වගේම තවමත් ලංකාවේ මේක විනෝදාංශයක් ලෙස ප්‍රචලිත වෙලා නැහැ. යම් ඉහළම පැලැන්තියේ උදවියට සර්පයින්ට අවශ්‍ය පහසුකම් දීලා ඕනා කරන ආකාරයට සර්පයින් ඇතිකරන්නට පටන් ගන්න පුළුවන් වේවි. ඒත් සාමාන්‍ය ජනයාට බල්ලෙක් පූසෙක් මාලුවෙක් ඇතිකරනවා වගේ පහසුවෙන් සර්පයින් ඇතිකරන්නට අමාරුයි.
සර්පයින් ඇතිකිරීම විනෝදයක් වීමත් එක්ක හැම සර්පයෙක්ම විසයි කියලා අපි ගොඩක් අය ගාව තියෙන මිත්‍යා මතය වෙනස් කරගන්න දැන් කාලේ හරි. මග තොටදී හමුවෙන සර්පයෙක් පවා විසකුරු එවුන්ය කියලා මරාදමන්න පෙළඹෙන අකාරුණික පුද්ගලයින් සිටිනවා. ඒ වගේම ලංකාවේ වැඩට එන කොරියන්, චීන, බංගලි වගේ ජාතිකයින්ගෙනුත් සර්පයින්ට ලොකු තර්ජනයක් එල්ල වෙලා තියෙනවා. චීන ව්‍යාපෘති ක්‍රියාත්මක වෙන පළාත්වල දැන් සර්පයෙක් බේතකටවත් හොයාගන්න නැහැය කියලාත් වාර්තා වෙනවා. කොහොම වුනත් දකින දකින සර්පයා විෂඝෝරය කියලා බයවෙන අපි ඉන්න ලෝකයේම තව තැනක සර්පයින් ආහාරයට ගන්නවා, තවත් කෙළවරක සර්පයින් සුරතල් සතුන් ලෙස ඇතිකරනවා.
Leave a Reply