අපි මීට සති කීපයකට කලින් එකම සිංදුවකින් විතරක් හිට් වුණු ගායක ගායිකාවෝ නමින් ලිපියක් පළ කළා. කියවපු නැති අයට මෙන්න ලින්ක් එක පහතින්.
එකම සිංදුවකින් විතරක් හිට්වුණු ගායක ගායිකාවෝ
අද එහි දෙවැනි කොටස ලියැවෙන්නේ ඔබ එහිදී පළ කරපු අදහස් වලින් සහ අපි විසින් එකතු කරපු අලුත් කරුණු කීපයකින්. මේ ලිපි දෙකම කියවලා අපිට මග ඇරුණු තවත් ගායක ගායිකාවෝ ඉන්නවානම් ඒ ගැන කමෙන්ට් එකකින් අපිට කියන්න. එහෙම වුණොත් අපිට ඒ අය ගැන මේ ලිපි පෙළේ තුන්වැනි කොටසත් ලියන්න පුළුවන් වේවි.
1. මේඛලා ගමගේ
සමහර වෙලාවට ජීවිතයේ යමක් හිමි වෙද්දී අපිට යමක් අහිමි වෙනවා. ඉතාමත් සියුම් කටහඬක් හිමි වෙච්ච මේඛලා ගමගේ උපතින් දෘශ්‍යාබාධිත යුවතියක්. ඇය තමන්ට කියන්න කතාවක් තියනවයි කියලා මේ ගීතයෙන් කියනවා. මේ ගීතය නොහිතපු විදිහට ලංකාව පුරාවටම ජනප්‍රියත්වයට පත් වුණා. නමුත් මේඛලා ඉන් පසුව ගායනා කළ ගීත නම් එතරම්ම ජනප්‍රියත්වයට පත් වුණේ නැහැ. දැනට මේ ගීතයත් වැඩිපුර නොඇසෙන හින්දා මේඛලාගේ නම මේ ලැයිස්තුවට ඇතුළත් කරනවද නැද්ද කියලා මුලින් දෙගිඩියාවක හිටියත්, අපි මේ ලිපි පෙළට ඇගේ නම ඇතුළත් කරන්න හිතුවා.
2. අප්සරා ද සිල්වා
අප්සරා ද සිල්වා කියන්නේ තමන්ගේ පළමුවෙනි ගීතයෙන්ම අතිමහත් ජනප්‍රියත්වයක් ලබා ගන්න සමත් වෙච්ච තැනැත්තියක්. ඉන් පසුව ගීත කීපයක් ඇය ගායනා කළත් එම ගීත පිළිබදව නිසි කතාබහක් ලංකාව ඇතිවුණේ නැහැයි කියන එකයි අපි හිතන්නේ. ඇයගේ මුල්ම ගීතය වුණු ඉවාන් පවුලූෂා ගීතයේ පසුබිම වගේම තනුව එහි ජනප්‍රියත්වයට එක ලෙස හේතු වුණා. ඒ වගේම මියුසික් වීඩියෝ කර්මාන්තයේ ආරම්භක අවධියේ දී ජාතික රූපවාහිනිය එම ගීතය වෙනුවෙන් එකතු කරලා තිබ්බ රුසියානු පරිසරයක් ආකාරයට දිස්වෙන රූප රාමුත් ඒ ලබපු ජනප්‍රියත්වයට එක හේතුවක්.
3. සුමිත් අහංගම
ඇලෝයි ගුණවර්ධන විසින් රචනා කරපු “සුවඳයි මුවේ මල් පැණී” ගීතය සුමිත් අහංගමට වාසනාව ගෙනාවා කිව්වොත් වැරැද්දක් නැහැ. අවාසනාවකට වගේ මේ ගීතයේ අපිට නිතර ම ඇහෙන්නේ රූකාන්ත ගුණතිලක ගායනා කරපු දෙවෙනි පටිගත කිරීම. මේ නිසා සුමිත් අහංගම කියන ගායකයාව බොහෝ රසිකයන්ට අමතක වෙලා ගිහිල්ලා තියෙනවා. නමුත් “සුවඳයි මුවේ මල් පැණි” ගීතය රෝෂණී නම නොතිබ්බත් සෑම දුවක් සිටින පියෙකුගේම ප්‍රියතම ගීත අතරින් එකක්.
4. සුනිල් ප්‍රනාන්දු
නදීකාට මතක නැද්ද ගීතය අපි හැමෝම අතර ජනප්‍රිය ගීතයක්. හැබැයි මේ ගීතයේ මුල් අයිතිකාරයා ගැන ඔබෙන් ඇහුවොත් ඔබට ඔහු ගැන මතකයට එයි ද? ගීතයේ මුල් අයිතිකාරයා තමයි සුනිල් ප්‍රනාන්දු මහත්මයා. ඔහු කියන විදිහට ඔහු නදීකාට මතක නැද්ද ගීතය හරහා විශාල ජනප්‍රියත්වයක් ලබා ගන්නවා. මේ නිසා ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි ගායකයෙක් බවට ඔහු පත් වනවා. මේ නිසා ඔහු වෙනත් ගීත දෙකක් එක්ක සංගීත ප්‍රසංග වලට සහභාගී වෙනවා. නමුත් ඉන් පසුව වසර ගණනාවක් දියවැඩියා රෝගයත් එක්ක ඔහු ඇඳට සීමා වෙනවා. මේ කාලය ඇතුළත නදීකාට මතක නැද්ද ගීතය පමණක් රසිකයන්ගේ මතකයේ රැඳෙද්දී සුනිල් ප්‍රනාන්දු කියන නම මිනිස්සුන්ට අමතක වෙලා යනවා.
5. එඩ්මන්ඩ් වික්‍රමසේකර
මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර මහත්මයා තමන්ගේ වැඩි දුර අධ්‍යාපනය සඳහා එංගලන්තයට යනවා. එංගලන්තයේ එක්තරා උද්‍යානයක බංකුවක දැරියක් වාඩිවෙලා ඉන්නවා දකින මහාචාර්යතුමා ඇය ගැන කවියක් ලියනවා. මේ කවිය ඇස ගැටෙන මහාචාර්යතුමාගේ මිත්‍රයෙක් වුණු එඩ්මන් වික්‍රමසේකර මේ කවියට තනුවක් යොදලා ගායනා කරනවා. මේ ගීතය එංගලන්තයේ අතිශය ජනප්‍රියත්වයට පත් වෙනවා. මේ ගීතයත් එඩ්මන් වික්‍රමසේකර ගේ ජනප්‍රිය වුණු එකම ගීතය කියලා කිව්වොත් වරදක් නෑ.
6. විමල් ජේ. සාගර
ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂක ෂෙල්ටන් ප්‍රේමරත්න මහතාගේ සොහොයුරෙකු වුණු විමල් ජේ. සාගර මහතා ‘සිතක පිපුණු මල්’ චිත්‍රපටය වෙනුවෙන් වැදි ජන වහර ආශ්‍රිත ගීතයක් ගායනා කළා. ඒ “මාමිණි මාමිණි මා දෙයියා” ගීතයයි. එතුමා “අහසේ තරු ගනින්න වෙයි වෙයි ද දන්නෙ නෑ” ගීතයට දායකත්වය ලබා දුන්නත් එය ඔහුගේ කේවල ගායනයක් නම් නෙමෙයි. මේ නිසා එතුමාගේ ජනප්‍රිය වුණු එකම ගීතය විදිහට “මා මිණි මාමිණි මා දෙයියා” ගීතය සඳහන් කරන්න පුළුවන්. අතිශයින් නිහතමානී පුද්ගලයෙකු වූ එතුමා වතාවක් රියැලිටි තරගයක විනිශ්චයකාරයෙක් විදිහට සහභාගි වුණු අවස්ථාවදී තමන්ගේ ගීතය ගායනා කරපු නවක ගායකයකුට තමන්ටත් වඩා හොඳින් ගීතය ගායනා කළා කියලා ප්‍රශංසා කළා.
7. සහේලි ගමගේ
මේ ගායිකාව ගැනවත් ගීතය ගැනවත් අටුවා ටීකා ඕනවෙයි කියලා අපි හිතන්නේ නෑ. මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රතිරූපය ඉහළ නැංවීමට මේ ගීතය භාවිතා කළත් ගීතයේ පද රචකයා කියන විදිහට ගීය ලියවුණේ මහින්ද රාජපක්ෂ මහතාම ඉලක්ක කරගෙන නෙමෙයි. මේ ගීතය මහින්ද රාජපක්ෂ මහතාගේ පාක්ෂිකයන් අතර ජනප්‍රියත්වයට පත් වුණත් රටේ එක් කොටසක් අතර මේ ගීතය දැඩි ලෙස විවේචනයට ලක් වුණා.
එහෙම නම් අපි මේ ලිපිය ආරම්භයේදීම මතක් කළා වගේම මේ ලිපියට ඇතුළත් වෙන්න ඕන තව නම් තියෙනවා නම් ඒ ගැන කමෙන්ට් සෙක්ෂන් එකේ සඳහන් කරන්න. ඒ වගේම මේ ආටිකල් එක ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා.
Leave a Reply