සාමාන්‍යයෙන් කෙල්ලෝ ගැන තියෙන පොදු අදහස වෙන්නේ පොඩි දේටත් කඳුළු වක්කරගෙන, හොට්ට පෙරාගෙන ඉන්න බොහොම සියුමැලි ජාතියක් කියලනේ, නැද්ද? හැබැයි ඉතින් සමහර අවස්ථා එනවා, මුන් සියුමැලි නම් සියුමැලිද කළුගලුත් මෙතරම් කියලා අහන්න සිද්ධ වෙන! ඒ කියන්නේ චණ්ඩි පාට් කෙල්ලෝ අපිට මුණගැහෙනවා. හැබැයි මේ කියන්නේ අර සද්දේ මිසක් යුද්දේ නෑ ටයිප් එකේ බොරු චණ්ඩි පාට් නෙවෙයි. ආයෙ ඕන ගේමකට, ඕන කෂිලි බිෂිලියකට බය නැතුව ඉස්සරහට අරගෙන යන්න පුළුවන්, අයුක්තියක් අසාධාරණයක් දැක්ක තැනකදී ජනාධිපතිට විරුද්ධව විතරක් නෙවෙයි තමන්ගේ මිනිහට විරුද්ධව වුනත් කතා කරන, ඕන දේකට ඔට්ටු ටයිප් එකේ කෙල්ලෝ. චණ්ඩි කෙල්ලෝ තව කොටසක් ඉන්නවා ඕනම වෙලාවක, බොහොම ලේසියෙන් තද වෙලා දෙවෙනි ලෝක යුද්ධය පටන් ගන්න. ඒ ජාතියේ චණ්ඩි කෙල්ලොන්ට හරි වැරැද්ද පේන්නෙත් ටිකක් වෙලා ගිහිල්ලා තමන් අතින් දෙන්නෙක් තුන්දෙනෙක් මළාට පස්සේ! ඉතින් ඇල්වතුරත් නිවලා බොන සාමකාමී කොල්ලෙක් වෙන ඔබ කොහොමද මේ විදියේ චණ්ඩි කෙල්ලෙක් එක්ක ඉහ ගහගෙන ජීවත් වෙන්නේ? ආන්න ඒක තමයි අපි මේ කියන්න හදන්නේ.
1. සැමියා බිරිඳගේ දෙවියාද?
චණ්ඩි කෙල්ලෙක් එක්ක දීග කන්න හිතන කොල්ලෙක් මුලින්ම හිතෙන් අයින් කරගන්න ඕනෙ කරන්නේ මෙන්න මේ ආප්තෝපදේශය තමයි. සැමියා බිරිඳගේ දෙවියාය කියලා හිතාගෙන දාස භාර්යාවක් චණ්ඩි කෙල්ලෙක්ගෙන් බලාපොරොත්තු වෙන එක තමයි කරන්න පුළුවන් ඔලමොට්ටලම වැඩේ. ගොඩක් වෙලාවට තාච්චියකින් ගුටි කාලා සීන් එක ඉවර වෙන්නත් පුළුවන්. අන්න ඒ නිසා චණ්ඩි කෙල්ලෙක් එක්ක ඔය සාම්ප්‍රදායික, පුරුෂාධිපත්‍ය චරිත කරන්න නොයන තාක් හොඳයි. මේක ඕනම කෙල්ලෙක් එක්ක වුනත් සාධාරණ කථාවක් වුනත්, චණ්ඩි කෙල්ලෙක් තමන්ව මෙල්ල කරලා කුස්සියේ තියාගන්න යන සැමියෙක්ට තාච්චියෙන් කෙළලා ඇරීමේ සම්භාවිතාවක් තියෙන නිසා තමයි අපි විශේෂයෙන්ම චණ්ඩි කෙල්ලෝ සම්බන්ධයෙන් මේක කියන්නේ!
2. සැමියා බිරිඳගේ ටොමියාද?
චණ්ඩි කෙල්ලෙක් එක්ක දීග කන්න සාමාන්‍යයෙන් මෙන්න මේ ලෙවල් එකෙනුත් අමාරුයි. ඒ කියන්නේ අර සැමියා බිරිඳගේ ටොමියාය කියලා හිතාගෙන, යාප්පුවෙන්, නියාළුවෙලා, බයාදු වෙලා ඉන්න පිරිමියෙක්ට චණ්ඩි කෙල්ලෙක් කිසිසේත්ම කැමති වෙන එකක් නෑ. කැමති වෙනවා නම් ඒ තමන්ගේ පිරිමියා වහලෙක් වගේ ඉන්න ඕන කියන මනෝභාවයක් තියෙන කෙනෙක් තමයි. ඒත් සාමාන්‍යයෙන් චණ්ඩි කෙල්ලෙක් කැමති වෙන්නේ තමන්ගේ පිරිමියා තමන්ට සම ගෞරවයකින් සලකනවා වගේම, තමන්ගේ ගෞරවයත් ආරක්ෂා කරගෙන ඉන්නවට. ඒ කියන්නේ අන්‍යෝන්‍ය ආදරය සහ ගෞරවය තිබුණා වුනාට කෙල්ල ඉස්සරහා බල්ලා වෙන්න යන්නෙ නැති පිරිමියෙක්ට.
3. වැරදි නම් වැරදියි
චණ්ඩි කෙල්ලෙක් එක්ක ආදරේ කරනවා නම් හරි, දීග කනවා නම් හරි මේ හරි වැරැද්ද වටහා ගන්න ආකල්පය තියෙන්න ඕනමයි. ඒ කියන්නේ ඔය වැරැද්දක් තමන් අතින් සිද්ධ වුනත්, ආඩම්බරේ නිසා වැරැද්දක් වුනා කියලා නොපිළිගන්න, ඒක එහෙම නෙවෙයි කියලා තර්ක කරන, වැරැද්ද කොහොමහරි වෙනත් කෙනෙක් පිටට පටවන්න උත්සාහ කරන මනුස්සයෙක්ට නම් චණ්ඩි කෙල්ලෙක් එක්ක ලේසි වෙන එකක් නෑ. ආන්න ඒ නිසා තමන්ගේ අතින් සිද්ධ වුනත්, වෙනත් කෙනෙක්ගේ අතින් සිද්ධ වුනත්, වැරැද්ද වැරැද්ද විදියට දකින්න පුළුවන් ගුණාංගයක් තියෙන්න ඕනෑමයි. හැබැයි මේක පාර පේන්නෙ නැති තරමට මල පැනලා ඉන්න වෙලාවක නම් ඒ තරම් ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ ගැන අපි ඉස්සරහට කියනවා.
4. ශාන්ති… ශාන්ති…
පොඩ්ඩ ඇත්තං තද වෙලා යකා නටන චණ්ඩි කෙල්ලෙක් එක්ක ඉන්න කොල්ලෙක්ට තියෙන්න ඕන සුපර් පවර් එකක් තමයි මේක. ඒ කියන්නෙ තද වෙලා, කාලි අම්මා වේසෙන් ලෝකෙම විනාස කරන මූඩ් එකේ ඉන්න කෙල්ලව කූල් ඩවුන් කරන්න පුළුවන් හැකියාව. මේක ඇත්තටම කිසිදෙයක් ගණන් නොගෙන ඉන්න එකවත්, යටහත් පහත්ව ඉන්න එකවත් නෙවෙයි. ඇත්තටම අර ශිව කාලි අම්මාව දමනය කරනවා වගේ තමන්ගේ චණ්ඩි කෙල්ලවත් ආදරයෙන්, කරුණාවෙන් සහ ඉවසීමෙන් තමයි නිවන්න පුළුවන්. ඒක ඇත්තටම මෙහෙම කරන්න කියලා මාර්ගෝපදේශනය සපයන්න පුළුවන් කාරණාවකුත් නෙවෙයි. ආදරය, කරුණාව සහ ඉවසීම සමෝසමේ මික්ස් වෙලා තිබීමත්, ඒක ඉතාම සාර්ථකව පෙන්නන්න පුළුවන් වීමත් තමයි මෙතනදී වැදගත් වෙන්නේ!
5. ගහගන්න එපා මැණිකේ!
ඔය චණ්ඩි කෙල්ලන්ට සමහර වෙලාවට මොකක් හරි වුනහම වටේ ඉන්න දහයකට නෙලන්න ලෙවල් එකකට තද වෙනවා. ආන්න ඒ වෙලාවට තමන් සිහියෙන් ඉන්න ඕන කියන එක මතක තියාගන්න ඕන. උදාහරණයක් විදියට කිවුවොත්, තමන් පාරේ යනකොට තමන්ගේ වාහනේ තව වාහනයක් එක්ක හැප්පිලා සීන් එකක් වුනා කියමු. මෙහෙම වෙලාවක පොඩ්ඩ ඇත්නම් තද වෙන තග් ලයිෆ් කෙල්ලෙක් වාහනෙන් බහින්නෙම කෙටේරිය අතට අරගෙන. හැබැයි සම්පූර්ණ වැරැද්ද අනික් වාහන කාරයගේ වුනත්, ඒක විසඳගන්න ක්‍රමයක් තියෙනවනේ. ආන්න ඒ නිසා තර්කානුකූලව, සාමකාමීව ගැටුම් නිරාකරණය ගැන තමන්ට අදහසක්, පාලනයක් තියෙන්න ඕන. තමනුත් වලියටම යන්න ගියොත් ඒක කොහෙන් කෙළවර වෙයිද දන්නෙ නෑ. මේක එක උදාහරණයක් විතරයි. සරලවම කියනවා නම්, තමන්ගේ වලියට බර පෙම්වතිය හෝ බිරිඳවත් තාර්කිකව හිතලා වැඩකරන්න පොළඹවන්න පුළුවන්, තමන්ටත් තාර්කිකව හිතලා වැඩ කරන්න පුළුවන් හැකියාවක් මෙතනදී තියෙන්න ඕන!
6. ඔව්, ඔයා හරි වස්තුවේ!
තමන්ගේ චණ්ඩි කෙල්ලට මල පනින වෙලාවක, හරි වැරැද්ද කථා කරන්න යන එක තමයි කොල්ලෙක්ට කරන්න පුළුවන් ලොකුම ගොන් වැඩේ. අපි කියමු මේ මල පැනගෙන ඉන්නේ මෙලෝ තේරුමක් නැති දේකට කියලා. එහෙම නැතිනම් කෙල්ලගේම වැරැද්දකට කියලා. හැබැයි මේ දුම් පිටවෙන ලෙවල් එකෙන් ඉන්න මොහොතේදී ඔය හරි වැරැද්ද කථා කරන්න යන්න හොඳ නෑ. හොඳම දේ තමයි පොඩ්ඩක් කූල් ඩවුන් වෙන්න ඉඩ දෙන එක. ඒ වෙලාවට එයා කියන ඕනම දේකට එකඟ වුනත් කමක් නෑ.
හැබැයි වැරැද්ද ඇත්තටම තියෙන්නේ එයා අතේ නම්, අනිවාර්යයෙන්ම කූල් ඩවුන් වුණු අවස්ථාවේදී ඒ බව කියන්න ඕනෑමයි. එහෙම නැතුව මැණිකේ හරි මැණිකේ කියලා ඉන්න එක ඇත්තටම එයාටත් අපි කරන අනතුරක්.
7. ඔයා ඒ පාරෙන් ගියත් මම එනවා, ඔයා මේ පාරෙන් ගියත් මම එනවා!
අන්තිමට ඉතින් විශේෂ වෙන්නේ ආදරේ තමයි. කොච්චර චණ්ඩි කෙල්ලෙක් වුනත් තමන්ගෙනේ කියන හැඟීම තමයි විශේෂ වෙන්නේ. අපි එයාට දෙන්නත් ඕන, සැරයටියෙන් අපි යනෙන තුරා සංසාරේ අපි දිනපතා වලි දාගෙන හරි එකට යමුයි කියන හැඟීම තමයි. ඇත්තටම චණ්ඩි වේවා, චණ්ඩි නොවේවා ඕනම කෙල්ලෙක්ට අපි දෙන්න ඕන හැඟීම ඒක තමයි. ඉතින් ගොඩක් වෙලාවට තමන්ට පුදුම හිතෙන තරම්, තමන් තෘප්තිමත් වෙන තරම් ආදරයක් හම්බුවෙන කොට ඕනම චණ්ඩි කෙල්ලෙක් සුරංගනාවියක් වෙන්නත් හැකියාවක් තියෙනවා කියන එක අමතක කරන්න නරකයි!
Leave a Reply