බුද්ධකාලීන මහා ශ්‍රාවකයෝ

බුදුහාමුදුරුවො ජීවමාන කාලයේදී දඹදිව පුරාවටම දහම් බෙරහඬ පතුරවන්න මහා ශ්‍රාවකයන් වහන්සේලා විශාල වෙහෙසක් ගත්තා. අපේ රටේ ජනතාවට උන් වහන්සේලා ගැන හරි අවබෝධයක් තියෙනවද කියන එක ප්‍රශ්නයක්. සැරියුත් මුගලන් මහ රහතන් වහන්සේලා ය​න අගසවු දෙනම ගැ​න අපේ අය දන්නවා. ඒ වගේම සීවලී මහරහතන් වහන්සේ ප්‍රත්‍යලාභීන් අතර අග්‍රස්ථානය ගන්න නිසා උන්වහන්සේගේ පින්තූරයක් හැම ගෙදරකම තියෙනවා. ඊට අමතරව අග්‍ර උපස්ථායක හාමුදුරුවෝ නිසා ආනන්ද හාමුදුරුවෝ ගැනත් දන්නවා. අපි අද කතා කථා කරන්න යන්නේ ලංකාවේ ජනතාව වැඩිපුර අහල නැති බුද්ධකාලීන මහ රහතන් වහන්සේලා කීප නමක් ගැන.

 

1. පිණ්ඩෝල භාරද්වාජ මහරහතන් වහන්සේ

ගිහි කල භාරද්වාජ නමින් රජගහනුවර බ්‍රාහ්මණ කුලයක ඉපදුණු උන් වහන්සේ පන්සියයක් සිසුන්ට ආචාර්යවරයෙක් බවට පත්වුණා. රසවත් ආහාර පාන වලට දැඩි රුචියක් දක්වා නිසා එතුමාව පිණ්ඩෝල භාරද්වාජ විදිහට ප්‍රසිද්ධියට පත් වුණා. බුදුරජාණන් වහන්සේ මුණ ගැසී ධර්මය අසා පැවිදි බවට පත් වුණු උන් වහන්සේ රහත් බවට පත් වුණා. රහත් බවට පත් වූ උන්වහන්සේ යම් කෙනෙක්ට ධර්මය පිළිබඳව සැකසංකා ඇත්නම් තමන්ගෙන් විමසා බලන ලෙස සිංහනාද කළා. මේ නිසා බුදු රජාණන් වහන්සේ උන් වහන්සේව “සිංහ නාද පවත්වන ශ්‍රාවකයන් වහන්සේ අතර අග්‍රස්ථානයේ” තැබුවා. 

වතාවක් රජගහනුවර සිටුවරයා සඳුන් වලින් පාත්‍රයක් හදලා රියන් හැටක් උස උණ ගසක් මත තියලා ලෝකයේ රහතන් වහන්සේලා සිටී නම් අහසින් පැමිණ මෙම පාත්‍රය ලබා ගත යුතුයි කියා අභියෝග කළා. උණ ගස මුදුනට අහසින් වඩිමින් ප්‍රාතිහාර්ය පෑ පිණ්ඩෝල භාරද්වාජ මහරහතන් වහන්සේ එම පාත්‍රය රැගෙන ගියා. මේ ගැන දැන ගන්න ලැබුණු බුදුරජාණන් වහන්සේ නැවතත් එවැනි දේ සඳහා ප්‍රාතිහාර්ය පෑම නොකළ යුතුයි කියලා විනය ශික්ෂා පදයක් පනවනු ලැබුවා.

 

2. අනුරුද්ධ මහා රහතන් වහන්සේ 

ගිහි ක​ල සිද්ධාර්ථ කුමාරයාගේ ඥාති සහෝදරයෙකු වූ අනුරුද්ධ කුමාරයා පසු කාලයකදී උපාලි කරණවෑමියා, ආනන්ද කුමරු ස​හ දේවදත්ත කුමරු ආදී තමන්ගේ ඥාතී පිරිසක් සමග බුදුරජාණන් වහන්සේ හමුවී පැවිදි බව ලබා ගත්තා. විදසුන් වඩා මහරහත් භාවයට  පත්වුණු උන්වහන්සේ දිවැස් ලාභීන් අතර අග්‍රස්ථානයට පත් වුණා. බුද්ධ පරිනිර්වාණය අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ විවිධ සමාපත්තීන්වලට සම වැදෙද්දී උන්වහන්සේ පිරිනිවන් පා ඇතැයි ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා සැක පළ කළා. ඒ අවස්ථාවේදී දිවැසින් බලා බුදුරජාණන් වහන්සේ තවම පිරිනිවන් පා නොමැති බවත් විවිධ සමාපත්තිවලට සම වැදී ඇති බව අනුරුද්ධ මහරහතන් වහන්සේ ප්‍රකාශ කළා. පළමු ධර්ම සංගායනාවෙන් පසුව අංගුත්තර නිකාය ආරක්ෂා කර ගැනීමේ වගකීම අනුරුද්ධ මහරහතන් ​වහන්සේ ප්‍රමුඛ ශිෂ්‍ය පරපුරට පැවරුණා.

 

3. ඛදිරවනීය රේවත මහරහතන් වහන්සේ 

ගිහි කල සාරිපුත්‍ර මහ රහතන් වහන්සේගේ සහ බාල සොයුරා වුණු රේවත මහරහතන් වහන්සේ පැවිදි දිවියට එළඹෙන්නේ අමුතුම ආකාරයකට. උන්වහන්සේගේ මව උන් වහන්සේ පැවිදි දිවියට එළඹීම වැළැක්වීමට විවාහයක් සූදානම් කරනවා. තම විවාහය සඳහා දෝලාවෙන් රේවත කුමාරයාව රැගෙන යද්දී, ඔහු දෝලාවෙන් බැස පලා ගොස් භික්ෂූන් වහන්සේලා හමුවී මහණ වෙනවා. ඉතාමත් දුෂ්කර කිහිරි ගස් වලින් පිරුණු වනාන්තරයක භාවනාවේ නිරතවන උන් වහන්සේ පළමු වස් කාලය තුළදීම රහත් භාවයට පත් වෙනවා. මේ බව දකින බුදු රජාණන් වහන්සේ ශ්‍රාවක සංඝයා පිරිවරාගෙන කිහිරි වනයට වඩිනවා. තමන්ගේ ඍද්ධි බලයෙන් භික්ෂූන් වහන්සේලාට අවශ්‍ය සියලු පහසුකම් රේවත මහරහතන් වහන්සේ විසින් සපයනු ලබනවා. උන්වහන්සේ ආරණ්‍යගත ව ගෙවන දුෂ්කර ජීවිතය විමසා බලන බුදුරජාණන් වහන්සේ ඛදිරවනීය රේවත හිමියන්ට ආරණ්‍යවාසී භික්ෂූන් වහන්සේලා අතර අග්‍රස්ථානය ලබා දෙනවා.

 

4. වක්කලී මහරහතන් වහන්සේ

 

සැවැත් නුවර බ්‍රාහ්මණ පවුලක ඉපදුණු වක්කලී මහරහතන් වහන්සේ බුදු රජාණන් වහන්සේ දැකීමෙන් ශ්‍රද්ධාවට පත්ව පැවිදි වුණා. නමුත් බුදු රජාණන් වහන්සේගේ රූපය කෙ​රෙහි බැඳුණු උන්වහන්සේ දිගින් දිගටම බුදුරජාණන් වහන්සේ දෙස බලමින් කාලය ගත කරන්න වුණා. මේක වටහා ගත් බුදුරජාණන් වහන්සේ වක්කලී තෙරුන් කෙරෙහි මහා කරුණාවෙන් මේ රූපයේ ආදීනව පිළිබඳව දේශනා කළා. ඒ උතුම් ධර්මය මෙනෙහි කළ වක්කලී හිමියන් මහ රහත් භාවයට පත් වුණා. උන්වහන්සේගේ අතිමහත් ශ්‍රද්ධාව අගය කළ බුදුරජාණන් වහන්සේ සැදැහැවත් භික්ෂූන් වහන්සේ අතර අග්‍රස්ථානය වක්කලී මහරහතන් වහන්සේට පිරිනමනු ලැබුවා.

 

5. බක්කුල මහ රහතන් වහන්සේ 

වසර එකසිය හැටක් ආයු​ෂ වැ​ළඳූ බක්කුල මහ රහතන් වහන්සේ බුද්ධ ශාසනයේ නිරෝගිමත් භික්ෂූන් වහන්සේලා අතරින් අග්‍රස්ථානය හොබවනවා. කොසඹෑ නුවර සිටු ගෙයක ඉපදුණු උන්වහන්සේව කුඩාකල කිරි මව විසින් නහවනු ලබන අවස්ථාවේදී මත්ස්‍යයෙකු පැමිණ ගොදුර කරගත්තා. එම මත්ස්‍යාව ධීවරයෙකු විසින් අල්ලා ගෙන තවත් සිටු ගෙයකට විකුණනු ලැබුවා. එම සිටු ගෙදර දේවිය විසින් මාළුවා කැපීමේදී දරුවා කිසිදු උපද්‍රවයකින් තොරව ජීවත්වනු දැකලා හදා වඩා ගත්තා. නමුත් කුමරුගේ පළමු මව පැමිණ කුමරුගේ අයිතිය ඉල්ලීම නිසා නඩුව විසඳීම රාජ සභාව වෙත ගියා. රජු විසින් කුමරු ගේ අයිතිය සිටු ගෙවල් දෙකටම සමව ලබා දුන්නා. එම නිසා මේ කුඩා කුමාරයා සිටු ගෙවල් දෙකක හැදී වැඩුණා. මේ නිසා (ද්වකුල = බක්කුල) කියන නම කුමාරයාට ලැබුණා. ගිහි ජීවිතය වසර අසූවක කල් ගත කරපු මේ කුමාරයා බුදුරජාණන් වහන්සේ කොසඹෑ නුවරට පැමිණි අවස්ථාවකදී ධර්මය අසා මහණ වුණා. පැවිදි ජීවිතයෙත් උන්වහන්සේ අසූවක් කල් ගත කළා. මේ වසර 160ට  උන්වහන්සේට කිසිදු රෝගාබාධයක් වැළඳී නැහැ. එක අවස්ථාවකදී පමණක් කිවිසුමක් ගිය බව සඳහන් වෙනවා. 

 

6. ලකුණ්ටක භද්දිය මහරහතන් වහන්සේ 

පෙර භවයකදී කාශ්‍යප බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් සුවිශාල සෑයක් සැදීම නිෂ්ඵල කටයුත්තක් බවට ප්‍රකාශ කිරීම නිසා ලකුණ්ටක භද්දිය මහරහතන් වහන්සේ මිටි ශරීර ඇතිව උප්පත්තිය ලැබුවා. විපස්සී බුදුන් සමයේ දී කොවුලෙකු වී ඉපදී උන්වහන්සේ වෙනුවෙන් මී අඹයක් පූජා කිරීමේ පින හේතුවෙන් මිහිරි කට හඬක් උන්වහන්සේට ලැබුණා. මිටි ශරීරයක් ඇති වීම නිසා සාමණේර භික්ෂූන් වහන්සේලාගෙන් පවා විවිධ හිරිහැරවලට ලකුණ්ටක භද්දිය මහරහතන් වහන්සේ ලක් වුණා. මේ බව දැකපු බුදු රජාණන් වහන්සේ ලකුණ්ටක භද්දිය මහරහතන් වහන්සේගේ ගුණ වර්ණනා කරමින් උන්වහන්සේට හිරිහැර නොකළ යුතු බවත් පවසා මිහිරි කටහඬ ඇති භික්ෂූන් වහන්සේලා අතරින් අග්‍රස්ථානය උන් වහන්සේට ලබා දුන්නා.

 

7. මහා පන්ථක මහරහතන් වහන්සේ 

රජගහ නුවර සිටු පවුලක උපත ලබපු මහාපන්ථක මහරහතන් වහන්සේට චුල්ලපන්ථක නමින් සහෝදරයෙකුත් සිටියා. මුලින් බුද්ධ ශාසනයේ පැවිදි වුණු මහා පන්ථක රහතන් වහන්සේ තමන් ලද සැනසීම තමන්ගේ සහෝදරයටත් ලබා දීමට සිතා චුල්ලපන්ථකවත් පැවිදි කළා. නමුත් චුල්ලපන්ථක හිමියන්ට කිසිදු ගාථාවක් කටපාඩම් කිරීමට හැකි වුණේ නැහැ. මේ නිසා චුල්ල පන්තක හිමියන්ට නැවත ගිහි වන ලෙස මහාපන්ථක හිමියන් උපදෙස් දුන්නත් බුදුරජාණන් වහන්සේ මැදිහත් වී චුල්ලපන්ථක හිමියන්ට රහත් වන මාර්ගය පහදා දෙනු ලැබුවා. මහා පන්ථක මහ රහතන් වහන්සේගේ අරූප ධ්‍යානවලට සමවැදීමේ හැකියාව අගය කරමින් අරූප ධ්‍යානවලට සමවැදෙන ශ්‍රාවකයන් වහන්සේ අතර අග්‍රස්ථානය බුදුරජාණන්වහන්සේ විසින් පිරිනමනු ලැබුවා.

 

මේ ආර්ටිකල් එක ගැන ඔබේ අදහස් කමෙන්ට් එකකින් අපිට කියන්න. මේ ආර්ටිකල් එකට ඔබෙන් ලැබෙන ප්‍රතිචාර අනුව අසූ මහා ශ්‍රාවකයන් පිළිබඳව ආටිකල් සීරිස් එකක් සමහරක් විට Lifie වෙතින් ඔබට කියවන්න ලැබේවි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *