දැන් අපේ පරණ කථාවක් තියෙනවනේ ‘උණහපුළුවාට උගේ දරුවා මැණිකක්’ කියලා. ඒකෙන් කියන්නේ ඇත්තටම අම්මලට තාත්තලට තමන්ගේ දරුවාව කොයි තරම් වටිනවාද කියන එක තමයි. මේ නිසාම සමහර වෙලාවට තමන්ගේ දරුවන්ගේ බුද්ධිය, දක්ෂතාවයන් ගැන එහෙම අම්මලා තාත්තලා අධිතක්සේරුවකින් ඉන්නවාත් අපිට දකින්න පුළුවන්. ඒ කියන්නේ බොහොම සාමාන්‍ය ළමයෙක් ගැන වුනත් සමහර අම්මලා තාත්තලා හිතන්නේ ‘අපේ දරුවා තරම් දක්ෂ, බුද්ධිමත් දරුවෙක් ලොවෙත් නෑ’ කියලා තමයි. හැබැයි ආදරේ නිසා එහෙම තමන්ගේ දරුවාව අධිතක්සේරු නොකර, ඇත්තටම දරුවාව වයසෙන් මුහුකුරා යනකොට ප්‍රාඥයෙක් කරන්න විදියක් නැතිද? තියෙනවා. හැබැයි ඒක එක රැයින් හෝ අවුරුද්දකින් හෝ දෙකකින් හෝ කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. බොහොම ඉවසීමකින්, කාලයක් අරගෙන කරන්න ඕන දෙයක්. අපි කියලා දෙන්න යන්නේ එහෙම දරුවාව අනාගතයේදී ප්‍රාඥයෙක්, ජීනියස් කෙනෙක් කරන්න අම්මලාට තාත්තලාට කරන්න පුළුවන් දේවල් කීපයක් තමයි.
1. දරුවා එක්ක නිතරම කථා කරන්න
මේක බොහොම සරල දෙයක් කියලා හිතුණා නේද? හැබැයි සරල වුනාට, මේක හරියට කරන දෙමාපියෝ හරි අඩුයි, විශේෂයෙන්ම වර්තමාන කාර්‍යබහුල සමාජයේදී. අපි මේ කියන්නේ දරුවා බහ තෝරන අවධියේදී කථා කරන්න කියලා නෙවෙයි. දරුවා පුංචි බිළිඳෙක් විදියට ඉන්න කාලේ ඉඳලා දරුවා ලොකු වෙන තුරුත් දිගින් දිගටම දරුවා එක්ක කථා බස් කරන්න ඕන. සන්නිවේදනය පවත්වා ගන්න ඕන. එතකොට බිළිඳු අවධියේදී දරුවා ඔබේ හඬ අඳුනගන්න පටන් ගනීවි. හැබැයි මෙහෙම නිතර දරුවා එක්ක කථා කිරීම ඔස්සේ දරුවා ලොකු මහත් වෙනකොට වඩාත් ඉක්මනටම සන්නිවේදන කුසලතා වර්ධනය කරගන්න පටන් ගනීවි. හැබැයි ඉතින් මේ කාර්‍යය වෙනුවෙන් තමන්ගේ කාලය දරුවා වෙනුවෙන් කැප කරන්නත් දෙමාපියන්ට සිද්ධ වේවි.
2. උපතේ ඉඳලම දරුවාට පොත් පත් කියවන්න
තාමත් දැනුම ලබාගන්න තියෙන හොඳම ක්‍රමයක් තමයි පොත් පත් කියන්නේ. හැබැයි දරුවා ලොකු මහත් වෙනකල් ඉන්න ඕන නැහැ දරුවාව පොත් වලට, කතන්දර වලට හුරු කරවන්න. උපතේ ඉඳලම දරුවා වෙනුවෙන් ඔබට පොතක් කියවන්න කාලය හොයාගන්න බැරි නැහැ. බිළිඳු දරුවා වෙනුවෙන් සුරංගනා කථා පොතක් කියවන එකේ ඵලක් තියෙනවද කියලා ගොඩක් දෙනෙක් හිතන්න පුළුවන්. හැබැයි ඇත්ත කථාව තමයි, ඒකෙන් ඵලක් තියෙනවාය කියන එක. දරුවා ක්‍රමයෙන් වයසින් වැඩීමත් එක්ක මේ පුරුද්ද දරුවාටත් යාවි. ඒ එක්කම දරුවා උකහා ගන්නා තොරතුරු ප්‍රමාණයත් බොහොම විශාල වේවි. වැදගත් දේ තමයි මෙහෙම කියවන්න ඕන කතන්දර පොත්ම කියලා විශේෂයක් නොමැති වීම. කතන්දර නැති, විවිධ විෂයයන් යටතේ ලියවුණු පහසු පොත් වුණත් මේ විදියට කියෙව්වට කමක් නැහැ.
3. සංගීත පාඩම් වලින් කරන්න පුළුවන් දේ අපමණයි
දරුවෙක්ට ඉතාම කුඩා කාලේ ඉඳලම සංගීත භාණ්ඩයක් හුරුකරවන එක, සංගීතය රස විඳින්න ඉඩ සලසා දෙන එකත් මේ දරුවාව ජීනියස් කෙනෙක් කරන ප්ලෑන් එකේම කොටසක්. ඇත්තටම මෙතනදී දරුවා ආසාවක් පෙන්වන සංගීත භාණ්ඩයක් තෝරාගන්න ඉඩ දීම තමයි කළ යුත්තේ. එතන ඉඳලා දරුවාට සංගීතය රස විඳින්න සහ සංගීතයත් එක්ක විනෝදය ලබන්න ඉඩ දීම වැදගත්. හැබැයි වැඩිමහලු වෙනකොට දරුවා සංගීතය ගැන විශාල උනන්දුවක් පෙන්නන්නේ නැතුව ගියත් කලබල වෙන්න ඕන නැහැ. අර පුංචි කාලේ ඉඳලා ලබාගත්ත රසවින්දනය සම්බන්ධ හැකියාවන් එයා ගාවම තියේවි.
4. පොතටත් පිට්ටනියටත් දෙකටම හුරු කරමු
සමාජේ තියෙන මිත්‍යා මතයක් තමයි, පොත පතට වැඩියෙන් නැඹුරු දරුවෙක් සෙල්ලම් පිට්ටනියේදී අසාර්ථක වෙනවාය, සෙල්ලම් පිට්ටනියේ වැඩියෙන් කාලය ගෙවන දරුවෙක් දැනුමෙන් අඩු වෙනවාය කියන එක. ඇත්තටම කරන්න ඕන මේ දෙක අතර සමබරතාවයක් හොයාගන්න කුඩා කාලයේ ඉඳලම දරුවාව පුහුණු කරන එක. ඒ කියන්නේ පොත් පත් වලට වගේම, ක්‍රීඩා සහ ශාරීරික සුවතා කටයුතු වලටත් දරුවාව යොමු කරවන එක. ඉතාමත් කුඩා කාලයේදීම මේ දේවල් වලට යොමු කරන එකේ විශේෂ වාසියක් තියෙනවා. ඒ තමයි පොත් පත් කියවීම වගේම ක්‍රීඩා, ව්‍යායාම කියන්නෙත් තමන්ට විනෝදය ලබාදෙන දේවල් විදියට දරුවා හඳුනා ගැනීම. ඒවා එතකොට තවදුරටත් අම්මලා තාත්තලා බල කරන නිසා, කියන නිසා කළ යුතු දේවල් වෙන්නේ නෑ. මේ ශාරීරික සුවතාවය සහ දැනුම ලබාගැනීම කියන දෙකම පවත්වා ගැනීම ඔස්සේ ඒ කරුණු දෙකටමත් අන්‍යාන්‍ය සේවයක් වෙනවා. උදාහරණයක් විදියට කිවුවොත්, ශාරීරික සුවතා ව්‍යායාම හෝ ක්‍රීඩා වලින් පස්සේ පොත පතේ වැඩ කරනකොට, ඒ පොත පතේ වැඩ වඩාත් සාර්ථකව කරන්න ප්‍රබල පිටුබලයකුත් ලැබෙනවා.
5. හරයක් ඇති විනෝදාංශ කුඩා කාලෙදීම
මෙන්න මේක ටිකක් හිතලා මතලා කරන්න ඕන දෙයක්. ඕනම දරුවෙක්ට, ඕනම අම්මෙක් තාත්තෙක් විනෝදාංශයක් තෝරාගන්න උදවු කරනවා. හැබැයි ගොඩක් වෙලාවට මෙතනදී සිද්ධ වෙන්නේ දරුවා ආස මොනවා හරි දෙයක් නිකම්ම එකතු කරන්න පෙළඹෙන එක විතරයි. උදාහරණ විදියට ගොඩක් දරුවන්ගේ විනෝදාංශ වෙන්නේ මුද්දර එකතු කිරීම. හැබැයි මේ මුද්දර එකතු කිරීම දැනුම වර්ධනය වෙන මෙවලමක් බවට පත් කරන්න ගොඩක් අම්මලා තාත්තලා උත්සුක වෙන්නේ නෑ. ඇත්තටම මුද්දර එකතු කිරීම වගේ විනෝදාංශයක් දැනුම එකතු කරන්නේ කොහොමද? සරලයි. දරුවා විවිධ රටවල මුද්දර එකතු කරනවා නම්, ඒ ඒ රටවල් ගැන හොයන්න දරුවාව පොළඹවන්න. නිකම්ම මග්‍යාර් පෝස්ටා කියලා ගහලා තියෙන මුද්දරයක් ඇල්බම් එකේ අලවනවා වෙනුවට, ඇත්තටම එහෙම රටක් තියෙනවාද කියලා හොයන්න දරුවාට උදවු කරන්න. අන්න එතකොට දරුවා ඉගෙන ගනීවි මග්‍යාර් පෝස්ටා කියන්නේ හංගේරියාවේ මුද්දර වලට බව. දරුවාට ලෝක සිතියමේ හංගේරියාව තියෙන තැන හොයාගන්න උදවු කරන්න. ඇයි හංගේරියාව කියලා ගහන්නේ නැතුව වෙන නමක් මුද්දරේ ගහලා තියෙන්නේ කියන එක සාකච්ඡා කරන්න. මග්‍යාර් වරුන්ට හංගේරියාවට තියෙන සම්බන්ධය ගැන දරුවාට කියලා දෙන්න. ආන්න එහෙම කරනකොට නොදැනුවත්වම දරුවා තෝරාගන්න විනෝදාංශය, දරුවාට ලෝකය ගැන විවිධ තොරතුරු ලබාදෙන මූලාශ්‍රයක් බවට පත් වේවි.
6. දරුවාගේ මාර්ගය තෝරා ගන්නට උදවු කිරීම
ගොඩක් වෙලාවට දරුවන්ට තෝරගන්න වෙන්නේ තමන් කැමති පාරක් නෙවෙයි. තමන්ගේ අම්මලා තාත්තලා කැමති පාරවල්. ගොඩක් වෙලාවට අම්මලා තාත්තලා තෝරලා දෙන්නේත් තමන්ට තමන්ගේ ජීවිත කාලෙදී යන්න බැරි වුණු පාරවල්. ආන්න ඒක තමයි නොකළ යුතු දේ. තමන්ගේ දරුවා දොස්තර කෙනෙක්, ඉංජිනේරුවෙක් වෙනවාට අදටත් අම්මලා තාත්තලා ආසයි. ඒක හරි. ඒත් දරුවා ඇත්තටම දොස්තර කෙනෙක් වෙන්න ඕන අම්මලාට ඕන නිසා නෙවෙයි, තමන් ඒකට ආස නිසයි. අන්න ඒ නිසා දරුවාට යම් කිසි මාවතක් තෝරාගන්න සිද්ධ වෙන මොහොතේදී දෙමාපියන් තමන්ගේ ආසාවන් පැත්තක තියලා දරුවන්ගේ ආසාවන්ට ඉඩ දෙන්න, ඊටත් වඩා දරුවා දක්ෂ දේට ඉඩ දෙන්න හිත හදාගත යුතුයි. උදාහරණයක් විදියට දරුවා වඩු කර්මාන්තයට උනන්දුවක් දක්වනවා නම්, ඇයි ඒකට දෙමාපියෝ ඉඩ නොදෙන්නේ? දරුවාට හරි මග පෙන්වීමක් කළොත්, එක් දිනයකදී දරුවා ලෝක ප්‍රසිද්ධ දැව නිර්මාණ ශිල්පියෙක් නොවේවිද?
ඇත්තටම දෙමාපියෝ කළ යුතු දේ වෙන්නේ දරුවා ආස කරන, දරුවා දක්ෂතාවය පෙන්වන ක්ෂේත්‍රය බොහොම කල්පනාවෙන් තෝරා ගැනීමත්, එතැන් ඉඳන් ඒ ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක් වෙන්න, විශිෂ්ඨයෙක් වෙන්න දරුවාට අවශ්‍ය මාර්ගෝපදේශනය, සම්පත් ලබාදීමත් තමයි.
7. අසාර්ථක වීමට දරුවාට තියෙන බිය නැති කිරීම
අසාර්ථක වෙන්න බය මනුස්සයෙක්ට කවදාවත් සාර්ථක වෙන්න බැහැයි කියන කතාව අහලා ඇතිනේ. ඇත්‍තටම ඒක බොරුවක් නෙවෙයි. අන්න ඒ නිසා තමන්ගේ දරුවාව විශිෂ්ටයෙක්, ජීනියස් කෙනෙක් කරන්න නම්, දරුවා අසාර්ථකත්වයට තියෙන බය නැති කරන එකත් අත්‍යාවශ්‍යයි. එහෙම නැතුව දරුවාට තියෙන ආදරේ නිසා තමන්ගේ දරුවාව අසාර්ථකත්වයෙන් ආරක්ෂා කරන්න හදන දෙමාපියෝ ඇත්තටම දරුවාගේ අනාගතයට වළ කැපීමක් තමයි කරන්නේ. දරුවා කුඩා කාලයේදී පංති කාමරයේදී වුනත්, ක්‍රීඩා පිට්ටනියේදී වුනත් අසාර්ථක වෙන්න පුළුවන්. මෙතනදී දෙමාපියන් දරුවාට අසාර්ථකත්වය ගැන තරවටු කිරීම හෝ දඬුවම් කිරීම කිසිසේත්ම නොකළ යුතුයි. ඒ වගේම දරුවා අසාර්ථක වුණු බව හංගලා දරුවා ඉස්සරහා දරුවාවම අධිතක්සේරුවෙන් සැලකීමත් නොකළ යුතුයි. කල යුතු දේ වෙන්නේ දරුවා අසාර්ථක වුණු බවත්, ඒක බොහොම සුළු එක් අසාර්ථකත්වයක් පමණක් බවත් දරුවාට කියලා දෙන එක. ඒ අසාර්ථකත්වයෙන් ඉගෙන ගන්න පුළුවන් මොනවද කියන එක දරුවා එක්ක සාකච්ඡා කරන එක. නැවතත් අසාර්ථක වූ කාරණාවට මුහුණ දීලා සාර්ථකත්වය ලබාගන්න අවශ්‍ය ධෛර්‍යය දරුවා තුළ ඇති කරවන එක.
8. ගුරුහරුකම්, පුහුණුව පුහුණුව සහ පුහුණුව
අපි ටිකකට කලින් කථා කලා, තමන්ගේ දරුවාට යන්න වුවමනා, දරුවා දක්ෂතාවයක් පෙන්වන මාර්ගය තෝරාගැනීම ගැන. හැබැයි එතන ඉඳන් තමයි හරි ගමන පටන් ගන්නේ. දරුවා කොයි තරම් යම් දේකට දක්ෂතාවයක් සහජයෙන් පෙන්වූවත්, ඒක මදි බව දෙමාපියන් විදියට තේරුම් ගත යුතුයි. දරුවා යන්නට බලාපොරොත්තු වෙන ක්ෂේත්‍රය සම්බන්ධයෙන් විධිමත් දැනුම දරුවාට ලබාදිය යුතුයි. ඒක කරන්නේ කොහොමද කියන එක දෙමාපියන්ට තීරණය කරන්නට පුළුවන්. හැබැයි ගුරුහරුකම් විතරකුත් ප්‍රමාණවත් නොවන බවත් දෙමාපියෝ තේරුම් ගත යුතුයි. දරුවා තෝරාගන්නා ක්ෂේත්‍රයේ විෂය දැනුම ලබාගැනීමෙන් පස්සේ සැබෑ ප්‍රාඥයෙක් වෙන්න නම්, නිරන්තරයෙන්ම පුහුණුවක් ලැබිය යුතුයි. තමන් තෝරාගත් මාර්ගයේ ලබාගන්නා දැනුම නිරන්තරයෙන් අභ්‍යාස කළ යුතුයි. දෙමාපියන්ට පුළුවන් දරුවාට ඒ වෙනුවෙන් මග පෙන්වන්න.
ඔබේ දරුවාව හැබෑ ප්‍රාඥයෙක් කරන්නේ, යම් දෙයක අති දක්ෂ ජීනියස් කෙනෙක් කරන්නේ මෙහෙමයි!
Leave a Reply