ජාතියක් විදිහට අපි අපේ ඉතිහාසය ගැන දන්නවද කියන එක ප්‍රශ්නයක්. සාහිත්‍යය සහ ඉතිහාසය විෂය මාලාවෙන් ඉවත් කරන්න මූලිකත්වය ලබා දුන්නු ජනාධිපතිවරයෙක් හිටපු රටක එහෙම වුණු එක පුදුමයකුත් නෙවෙයි. ඒ නිසා lifie අපි විටින් විට ලංකාවේ ඉතිහාසය සම්බන්ධ ආටිකල් ඔබ වෙතට ගෙන එනවා. මේ ආටිකල් එකෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ලංකාවේ රජවරු කීප දෙනෙක් ගැන ඔබ නොදත් කතා කීපයක්.
1. හුණු නැති බුලත්විටක් නිසා ජීවිතය බේරා ගත් වසභ රජු
යසලාලකතිස්ස රජුගේ සහ සුබ නම් දොරටුපාලයාගේ කතාව ගැන අපි හැමෝම දන්නවා. සයිමන් නවගත්තේගම මහත්මයාගේ ‘සුභ සහ යස’ වේදිකා නාට්‍යයත් මේ කතාව හැමෝම දැනගන්න එක හේතුවක් වුණා. සුබ දොරටුපාලයාගෙන් පස්සේ ලංකාවේ රජ බවට පත් වෙන්නේ වසභ රජතුමා. තමන්ගෙන් පස්සේ වසභ නම් පුද්ගලයෙක් රජ වෙනවයි කියලා දැනගන්න සුබ, වසභ නම් තියෙන සියලු දෙනා මරණයට පත් කරන්න කියලා නියෝගයක් දෙනවා. මේ කාලයේ දී වසභ කුමාරයා තමන්ගේ මාමගේ ගෙදර නැවතිලා ඉන්නවා. වසභව අල්ලලා දීලා තාන්න මාන්න ලබා ගන්න හිතාගෙන ඔහුගේ මාමා වසභව රජමාළිගාවට එක්කගෙන යනවා. වසභ කුමාරයාට අත්වෙන්න යන ඉරණම ගැන කම්පාවෙන ඔහුගේ නැන්දනිය හුණු නැති බුලත්විටක් තමන්ගේ ස්වාමියාට දෙනවා. අතරමගදී බුලත්විටට හුණු නෑ කියලා දැනගන්න මාමා, වසභව හුණු ගේන්න කියලා නැවතත් ගෙදරට යවනවා. ඒ වෙලාවෙදි නැන්දා ඇත්ත කතාව වසභට කියනවා. පලා යන වසභ කැරළිකාරයෙක් බවට පත්වෙලා අවසානයේදී සුභ රජ්ජුරුවන්ව මරාදාලා අනුරාධපුරේ රජ වෙනවා. කළගුණ සලකන්න ඔහු තමන්ගේ ජීවිතය බේරගත්ත නැන්දණියව තමන්ගේ බිසව කර ගන්නවා.
2. භල්ලුක සටන
බොහෝ දෙනෙක් හිතන්නේ එළාර පරාජය කළාට පස්සේ දුටුගැමුණු රජතුමාට මුහුණ දෙන්න වුණ යුද්දෙ ඉවර වුණා කියලා. නමුත් එළාරගේ බෑනා වෙලා හිටිය භල්ලුක නැමැති පුද්ගලයෙක් සේනාවක් අරගෙන මාතොටින් ගොඩ බැහැලා අනුරාධපුරය ආක්‍රමණය කරන්න එනවා. මේ අවස්ථාවේදී ඵුස්සදේව යෝධයා සමග ඔහුව පරාජය කරන්න දුටුගැමුණු රජතුමා සටනට පිවිසෙනවා. රජතුමාට පිටිපස්සේ ඉන්න ඵුස්සදේව යෝධයා රජතුමාට මුවා වෙලා භල්ලුකට ඊයක් විදලා ඔහුව මරණයට පත් කරනවා. ඊය විදින වෙලාවෙදි රජතුමාගේ කුණ්ඩලාභරණය කඩතොළු වුණා කියලා දකින ඵුස්සදේව යෝධයා ඒකට කම්පා වෙලා තමන්ගේ කන්වල කුණ්ඩලාභරණ ඇදලා කන් වලින් ලේ අරගෙන පෙන්නනවා. මේක දකින දුටු ගැමුණු රජතුමා ඵුස්සදේවගේ කන්වලට බෙහෙත් කරන ගමන් යවපු ඊයේ උසට කහවුණු රැස් කරලා ඵුස්සදේවට ත්‍යාගයක් විදිහට ලබා දෙනවා.
3. මඟුල් ඇතු නිසා ජීවිතය බේරාගත්ත ඉලනාග රජු
අනුරාධපුරයේ රජ කරපු ඉලනාග රජුගේ කාලයේ දී ලම්භකරණ වංශිකයන්ගේ කුමන්ත්‍රණයක් සිද්ධ වෙනවා. ඔවුන් රජතුමාව රජමැදුරෙම සිරකාරයෙක් බවට පත් කරනවා.
මේ අවස්ථාවේ දී රජතුමාගේ බිසව ඔවුන්ගේ වැඩිමහල් පුතා වුණු “චන්ද්රාමුඛසිව” බිළිඳු කුමාරයාව මඟුල් ඇතා ඉදිරියේ තියලා රජුගේ සතුරන් අතින් කුමාරයා මරණයට පත් වීමට වඩා මඟුල් ඇතු අතින් මරණයට පත් වීම හොඳයි කියලා කියනවා. මේක අහන මඟුල් ඇතා තමන් බැඳල තියෙන යදම් කඩා ගෙන කුමාරයවත් බිසවවත් තමන්ගේ පිට මත තබා ගෙන ගිහින් රජ මාළිගාවේ රජ්ජුරුවන්ව හිර කරලා තියෙන කුටිය කඩලා ඔහුවත් අරගෙන මාතොටට යනවා. මේ විදිහට ජීවිතය බේරගන්න රජතුමා නැවතත් ලම්භකරණ වංශිකයන් පරාජයට පත් කරලා ලංකාවේ රජ බවට පත් වෙනවා.
4. පැණි කොමඩු නිසා නමක් තියපු රජ්ජුරුවෝ
මහා දාඨික මහානාග රජ්ජුරුවන්ගෙන් පස්සේ ලංකාවේ රජවෙන්නේ එතුමාගේ පුත්‍රයා වුණු ගාමිණි අභය රජතුමා. ඉතාමත් සැදැහැවත් පුද්ගලයෙකු වුණු එතුමා රටපුරා සතුන් මැරීම වැළැක්වීමේ මාඝාත ආඥාව පනවනවා. මෙතුමා වරක් රත් පැහැති පැණි කොමඩු පාත්‍රවලට පුරවලා භික්ෂු සංඝයා වෙනුවෙන් පූජා කරනවා. මේ නිසා රජතුමාගේ ගාමිණි අභය කියන නමට ඉදිරියෙන් ආමාණ්ඩ ඒ කියන්නේ පැණි කොමඩු කෑල්ලත් එකතු කරලා ‘ආමණ්ඩගාමිණි’ කියන නමින් ජනතාව රජතුමාව හඳුන්වන්න ගන්නවා.
5. ඉක්මන් කේන්තිකාරයකු වුණු වළගම්බා රජු
වළගම්බා රජතුමා අපේ රටේ පහළ වූ ශ්‍රේෂ්ඨ නරපතියෙක්. සොලී ආක්‍රමණ නිසා වසර ගණනාවක් වනාන්තරවල සැඟවිලා ඉඳලා සේනා සංවිධානය කරපු පුද්ගලයෙක්. නමුත් සාමාන්‍ය මනුෂ්‍යයකුට වගේම දුර්වලතා එතුමාටත් තිබ්බා. වතාවක් තමන්ට රැකවරණය දුන් තනසීව නම් සෙනෙවියාගේ බිරිඳ සහ රජුගේ බිසව වූ අනුලා දේවියත් අතර ඇති වුන ගැටුමක් දුරදිග ගිහිල්ලා වළගම්බා රජතුමා තනසීව මරා දැම්මා. ඒ වගේම තවත් අවස්ථාවක තමන්ට ගරු කළේ නෑ කියලා ඇමැතිවරුන් කීප දෙනෙක්වත් මරලා දැම්මා. මේ අවස්ථාවේදී රජ්ජුරුවන්ව අත් අරින්න සේනාපතියන් කටයුතු කරද්දී, මහා සංඝයා රැස් වෙලා “බුද්ධ ශාසනය ආරක්ෂා කරගත හැක්කේ දෙමළුන් සමඟද? එහෙම නැත්නම් රජු සමඟ ද?” කියන ප්රශ්නය අහලා රජුව සහ සේනාව සමගි කරනවා.
6. ගඩොල් ඇතෙකුට පණ දීපු මිත්සෙන් රජු
ධාතුසේන රජතුමා ලංකාවේ රජ බවට පත්වෙන්නේ සොලී ආක්‍රමණිකයන් කීපදෙනෙක් පරාජයට පත්කරමින්. සොළී ආක්‍රමණිකයන් ලංකාවට එද්දි රජ කරන්නේ මිත්සෙන් රජතුමා. මේ රජතුමා ගැන මහාවංශය කියන්නේ කරල් සොරෙක් කියලා. නමුත් රජතුමා පින් ඇති පුද්ගලයෙක් කියලා මහාවංශය කියනවා. කතාවේ කියවෙන විදිහට වතාවක් මිත්සෙන් රජතුමා දළදා මාලිගාවට යනවා. වන්දනාමාන කරලා ඉවරවෙලා එළියට එන රජතුමා දකිනවා තමන්ගේ මඟුල් ඇතා එතන නෑ කියලා. ඒ අවස්ථාවේදී රජතුමා දළදා මාලිගාවේ ගඩොලින් කරපු ඇත් රූපයක් දිහා බලලා තමන්ට වාහනය වෙන්න කියලා අණ කරනවා. ගඩොල් ඇත් රූපයට පණ ඇවිල්ලා රජතුමාව තමන්ගේ පිට මත තියාගෙන රජමාලිගයට ගෙනියනවා.
7. මොරතොට හාමුදුරුවන්ගේ සීලය පරීක්ෂා කරපු රාජාධි රාජසිංහ රජතුමා
රාජාධි රාජසිංහ රජතුමා සිංහලයේ අවසන් රජුවුණු ශ්‍රී වික්‍රම රාජසිංහ රජ්ජුරුවනට පෙර ලංකාවේ රජකළ රජතුමායි. නායක්කාර් වංශිකයෙකු වූ එතුමා කුඩා කාලයේ ඉඳන්ම ලංකාවේ හැදීවැඩුණු ඉගෙන ගත්ත කෙනෙක්. එතුමාගේ ගුරුවරයා වුණේ මොරතොට ධම්මක්ඛන්ධ මහා නායක ස්වාමීන් වහන්සේ. මේ කාලයේදී මොරතොට ධම්මක්ඛන්ධ හාමුදුරුවෝ කාන්තාවක් එක්ක අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන යනවා කියලා කතාවක් නුවර පුරා පැතිරිලා තිබ්බා. මේක පරික්ෂා කරන්න දවසක් රජ්ජුරුවෝ තමන්ගේ අතට වළලු දාගෙන හාමුදුරුවන්ගේ ආවාස ගෙයි ජනේලයෙන් අත දැම්මා. රජ්ජුරුවෝ හඳුනාගත්ත මොරතොට හාමුදුරුවො මෙහෙම කවියක් කිව්වා.
සකල මුව කමල සිතගත සියුමැලියේ
ඇසළ මස දුටිමි යනවා දෙව් කෙළියේ
අසලක නම් දැක දැක ඉන්නට පිරියේ
සකල සිරිලකට අගරජ නුඹද ලියේ
තමන් අහුවුණා කියලා තේරුම් ගත්ත රජතුමා පිළිතුරු වශයෙන් මෙන්න මේ කවිය කිව්වා.
අමර ගුරු හරන සත දත් පිනාවන්
විතර නොවන ගුණ නැණ සපිරුවන්
පවර නැණැති මොරතොට හිමි මනාවන්
සසර වසන තුරු මට වාසනාවන්
එහෙමනම් ඉතින් වෙනදා වගේම ඔබේ අදහස් කමෙන්ට් සෙක්ෂන් එකේ පළ කරන ගමන් මේ ආටිකල් එක ෂෙයාර් කරලා අපිට සහයෝගයක් ලබා දෙන්න.
Leave a Reply