ජෑම් කඩෙන් ගේනවා වගේද ගෙදර හදලා කනකොට. අපේ රසයට අපිට ඕන විදියට රසකාරක, කෘත්‍රිම කල් තබාගන්න දේවල් නැතිව හදාගන්න තියනවනම් කොච්චර දෙයක්ද? ලයිෆි අපි ඔයාලට අද ජෑම් රෙසිපි ටිකක් අරගෙන ආවේ ඒ නිසාමයි. කඩේ රසයට වඩා වෙනස් ස්වභාවික රසයක් එක්ක ජෑම් කන්න මෙන්න මේ රෙසිපි ටික ට්‍රයි කරලා බලන්න. ජීවාණුහරණය කළ බෝතල් වල අසුරගෙන සති තුනත් මාසයත් අතර කාලයක් මේ ජෑම් ෆ්‍රිජ් එකක කල්තියාගන්න පුළුවන්.
1. දිවුල් ජෑම්

Image Source – madaboutcookingwithrupali.com
අවශ්‍ය ද්‍රව්‍ය
- දිවුල් මද කෝප්ප 1
- සීනි කෝප්ප 1
- උණුවතුර කෝප්ප 1
- දෙහි යුෂ තේ හැඳි 1/2
- දිවුල් මදයට උණු වතුර කෝප්පය දාලා හැන්දකින් හොඳින් පොඩි කරගෙන ඇට ටික යකඩ දැල් සහිත පෙනේරයකින් පෙරාගෙන ඇට ඉවත් කරගන්න.
- දැන් මේ පල්ප් එකට සීනි ටික දාලා ලිප තියන්න. දිගටම හැඳි ගාන්න. මිශ්‍රණය උකු ගතියකට ආවම දෙහි මිශ්‍ර කරල ලිප ඕෆ් කරගන්න. දැන් මේක නිවෙන්න තියලා ජීවාණුහරණය කරගත්ත බෝතලේකට දාලා ෆ්‍රිජ් දාගන්න.
2. ග්‍රීන් ඇපල් ජෑම්

Image Source – thespruceeats.com
අවශ්‍ය ද්‍රව්‍ය
- කොළ ඇපල් ග්‍රෑම් 500
- වතුර කෝප්ප 1/2
- සීනි ග්‍රෑම් 500
- කුරුඳු කුඩු පිංච් එකක්
- දෙහි යුෂ තේ හැඳි 2
- ඇපල් වල පොතු සහ ඇට ඉවත් කර කොටුවට කපලා දෙහි යුෂ තේ හැන්දක් මිශ්‍ර කරල භාජනයකට දාගන්න.
- මේකට වතුර ටිකත් දාලා සාමාන්‍ය ගින්දරේ ලිපේ තියාගන්න.
- දැන් මේක විනාඩි 2ක් වගේ ලිපේ තියල විනාඩි 2කින් පියන ඇරල හැන්දකින් හොඳින් ඇපල් ටික පොඩි කරගන්න.
- දැන් මෙයට සීනි ටික එකතු කරගෙන අඩු ගින්දරේ හැඳි ගාන්න. හොඳින් උකු වේගෙන එන විට ලිපෙන් ඉවත් කරගෙන නිවුනම ජීවාණුහරණය කරගත්ත බෝතලයකට අසුරගෙන ෆ්‍රිජ් එකේ තියාගන්න.
3. අඹ ජෑම්

Image Source – reddit.com
අවශ්‍ය ද්‍රව්‍ය
- කපාගත් හොඳින් ඉදුණ අඹ කප් 2
- සීනි කෝප්ප 1 1/2
- දෙහි බෑයක යුෂ
- වතුර කෝප්ප 1/4
- අඹ වලට වතුර කෝප්ප 1/4 දාගෙන බ්ලෙන්ඩ් කරගන්න. දැන් මේක පෑන් එකකට සීනිත් එකතු කරන් අඩු ගින්දරේ ලිපේ තියන්න. මිශ්‍රණය උකු වනතුරු දිගටම හැඳිගාන්න. මිශ්‍රණය උකු වේගෙන එන විට දෙහි යුෂ එකතු කරගන්න.
- හොඳින් උකු වුන මිශ්‍රණය නිවෙන්නට හැර ජීවාණුහරණය කරගත්ත බෝතලයකට දාල ෆ්‍රිජ් එකට දාගන්න.
4. බ්ලූබෙරි ජෑම්

Image Source – driscrolls.com
අවශ්‍ය ද්‍රව්‍ය
- බ්ලූබෙරි ග්‍රෑම් 200
- සීනි ග්‍රෑම් 50
- දෙහි ගෙඩියක යුෂ
- කුරුඳු කුඩු පිංච් එකක්
- බ්ලූබෙරි ටිකට සීනි සහ දෙහි දාල බ්ලෙන්ඩ් කරගන්න.
- මේ මිශ්‍රණය ලිපෙන් තියල අඩු ගින්දරේ හොඳින් උකු වන තුරු හැඳිගාන්න.
- නිවුනම ජීවාණුහරණය කරගත්ත බෝතලයකට අසුරගෙන ෆ්‍රිජ් එකේ දාගන්න.
5. අන්නාසි ජෑම්

Image Source – xantilicious.com
අවශ්‍ය ද්‍රව්‍ය
- මැද නාරටිය ඉවත් කර කපාගත් අන්නාසි කප් 3
- සීනි කෝප්ප 2
- කරාබු නැටි කුඩු පිංච් එකක්
- දෙහි බෑයක යුෂ
- අන්නාසි ටික හොඳට බ්ලෙන්ඩ් කරගන්න. දැන් මේ පල්ප් එක පෑන් එකකට දාලා සීනි ටික දාගෙන අඩු ගින්දරේ හැඳි ගාන්න.
- සීනි ටික දිය වේගෙන එනකොට මිශ්‍රණය තරමක දියාරු ගතියක් එනව. එතකොට ගින්දර වැඩි කරගෙන මිශ්‍රණය උතුරනකම් හැඳිගාන්න.
- නැවත ගින්දර අඩු කරගෙන මිශ්‍රණය උකු වේගෙන එනකොට දෙහි යුෂ සහ කරාබු නැටි කුඩු එකතු කරගන්න.
- හොඳින් උකු වුන මිශ්‍රණය නිවෙන්නට හැර ජීවාණුහරණය කරගත්ත බෝතලයකට දාල ෆ්‍රිජ් එකේ තියාගන්න.
6. ස්ට්‍රෝබෙරි ජෑම්

Image Source – joyfilledeats.com
අවශ්‍ය ද්‍රව්‍ය
- ස්ට්‍රෝබෙරි ග්‍රෑම් 500
- සීනි ග්‍රෑම් 250
- දෙහි යුෂ තේ හැඳි 1
- ස්ට්‍රෝබෙරි වල නටුව ඉවත් කර පොඩි කෑලි වලට කපාගන්න. දැන් මේ ටික පෑන් එකකට දාලා ඒකට සීනි ටික දාගන්න. අඩු ගින්දරේ හොඳට හැඳි ගාගන්න.
- උතුරනකොට උඩට එන පෙණ වගේ ටික හැන්දකින් අයින් කරගෙන දිගටම හැඳිගාන්න.
- උතුරනකොට මේක පල්ප් එකක් වගේ එනවා. දැන් මේකෙ උකු ගතිය චෙක් කරන්න ප්ලේට් එකකට පොඩ්ඩක් දාලා බලන්න විසිරෙනවද කියල කියලා. එහෙම නැතුව ඝනට හිටිනව නම් පදම හරි. දැන් ලිපෙන් බාගන්න.
- නිවෙන්න තියලා ජීවාණුහරණය කළ බෝතලේකට දාලා ෆ්‍රිජ් දාගන්න.
7. ස්ටාර්ෆෘට් ජෑම්

Image Source – food.com
අවශ්‍ය ද්‍රව්‍ය
- කපාගත් කාමරංගා කප් 1 1/2
- සීනි කෝප්ප 3/4
- දෙහි ගෙඩියක යුෂ
- කුරුඳු කුඩු පිංච් එකක්
- කාමරංගා ටික ජූස් වෙනකල් බ්ලෙන්ඩ් කරගන්න. දැන් මේකට සීනි ටික දාලා අඩු ගින්දරේ ලිපේ තියන්න.
- හොඳට හැඳිගාමින් මිශ්‍ර කරගන්න. මිශ්‍රණය උකුවේගෙන එන විට දෙහි යුෂ ටික දාගන්න. කුරුඳු කුඩු ටිකත් ඉසගන්න.
- මිශ්‍රණය උකු උනාම ලිපෙන් ඉවත් කරගෙන නිවෙන්න තියල ජීවාණුහරණය කරගත්ත බෝතලයකට අසුරගෙන ෆ්‍රිජ් එකේ දාගන්න.
Leave a Reply