ෆෝන් නොතිබුණු ඒ කාලේ අපි කරපු විනෝද ක්‍රීඩා 7ක්

දැන් පොඩි වයසින් ම ළමයි ගාව ෆෝන් තියනවා. ඉස්සර අපි ෆෝන් එකක් වැඩිහිටියෙක් ගාව තියෙනෝ දැක්කත් නාහෙන් අඬලා තමයි ගේම් එකක් ගහන්න හරි ඉල්ලා ගන්නේ. ඔය මොකවත් ම නැති වුණා ම හූල්ල හූල්ලා ඉන්න නම් වෙලාවක් අපිට තිබ්බේ නෑ. මොකද අපිට ම අනන්‍ය වෙච්ච සෙල්ලම් ටිකක් තිබ්බ නිසා. අහල පහල ගෙවල්වල යාළුවෝ එක්ක එකතු වෙලා කරපු මේ සෙල්ලම්වල මතකය නම් අමරණීයයි.



1. තාරාඩේ/අයිස්පයිස්


අයිස්පයිස් කියලත් මේ සෙල්ලම සමහරු හැඳින්වුවා. තාරාඩේ සෙල්ලම වුණේ මෙහෙමයි. ටින් එකක් අරගෙන ඒකේ ගල් පුරවනවා. ඊට පස්සේ ටින් එක හොඳට තලනවා ගල් එළියට වැටෙන්න ඉඩ නොදී. ඊට පස්සෙ මේක හෙන ඈතට විසි කරනවා. ඒක අරගෙන යන්න කෙනෙක් දුවන අතරේ අනික් උන් එලෝ මෙලෝ නැතුව හැංගෙනවා. එක්කෙනෙක් ව දැක්ක ගමන් එයාගේ නම කියලා තාරාඩෙ කියලා කෑ ගහනවා. ඊට පස්සේ අර ටින් එකට පොඩි ටච් එකක් දෙන්න ඕනි. ඊට කලින් එයා පොඩ්ඩ එහෙ මෙහෙ බලනකන් ඉඳලා වෙන කෙනෙක් ටින් එකට පයින් පාරක් දුන්නොතින් අරයට ආය මුල ඉඳන් තාරාඩේ පටන් ගන්න වෙනවා.


2. ජිල්බෝල ගැසීම


පොළවේ අඳිනවා කොටුවක්. ඔය කොටුවේ වළකුත් තියෙනෝ. ඔන්න ඉතින් සෙල්ලමට එන හැමෝට ම සමානව බෝල ලැබෙනවා. මෙයාලා එක බෝලයක් විතරක් තියාන අනික් හැම බෝලේ ම අර කොටුවට දාන්න ඕනි. ඊට පස්සේ අතේ තියන බෝලෙන් අර බෝලෙකට ගහලා වාරය දිනාගන්නවා. කොටුව ඇතුළේ තියන වල ඇතුළට බෝලයක් ගියොත් ඒකත් වලෙන් ගොඩ එනකන් බෝලෙකින් ම ගහන්න ඕනි. නැත්නම් වෙන්නේ ඊළඟ කෙනාට වාරය ලැබෙන එකයි.


3. ටක් ටක්


ටක් ටක්, කවුද ආවේ, රාක්ෂයෙක්, මොකට ද ආවේ?, පාටක් සොයන්න, මොන පාට ද? කියලා ඇහුවා විතරයි යකාට ඉන්න එකා පාටක් කියනවා. ඒ පාට අවට පේන්න තියෙන්නේ කොහෙද, අන්න එතනට ගිහින් ඒ පාට අල්ලන්නයි තියෙන්නේ. එහෙම පාටක් අල්ලන්න වුණේ නැත්නම් ඒ අතරතුර රාක්ෂයාගේ ස්පර්ෂය ලැබුණා නම් අදාළ පුද්ගලයා තරඟයෙන් ඉවත් වෙනවා.



4. බට්ටා පැනීම


1 ඉඳන් අංක 8 වෙනකන් හැඩේකට මිදුලේ ඇඳපු කොටු ටිකක් තියෙනෝ. පෙත්ත විදියට උරච්චි කරපු උළු කැටයක් නම් ගැලපුනා. 1 ඉඳන් 8 වෙනකන් ඉස්සෙල්ලා ම පෙත්ත දාලා යන්න පුළුවන් වුණ කෙනා දිනුම්. කොටුවල රේඛා පෑගුනොත් එහෙම එළියෙ තමයි. ගොඩක් අය කොටු පැනීම සහ අඹ ඇට පැනීම කියන නම් එහෙමත් පාවිච්චි කරා. නමුත් සමහර ප්‍රදේශවල මේ නම්වලින් ටිකක් වෙනස් ආකාරයේ සෙල්ලමුත් තිබ්බා.



5. කල්ලි ගැසීම


පිල් දෙකයි. ලී දඬු දෙකයි. එකක් කොටයි. අනෙක දිගයි. දිග දණ්ඩෙන් කොට ලී දඬුව ඈතට විසි කරනව. ඒ වෙලේ රකින පිල ඒ දඬුව අල්ලා ගන්න ඕනි. එහෙම බැරි වුණොතින් රකින පිලට මුල් ස්ථානයට දඬුව විසි කරන්න පුළුවන්. අවශ්‍ය කරන තැනට ඈතින් වැටුණා ම මැනලත් බලනවා.


6. අයිස්-වෝටර්


අල්ලන සෙල්ලමක් ම තමයි. හැබැයි ඊට වඩා ටිකක් ඇඩ්වාන්ස්. ඔන්න හිතන්නකෝ අල්ලන එකා එනවා. අනික් එවුන් දුවනවා. අදාළ පුද්ගලයාව අල්ලන්නේ අයිස් කියලා පිටට එකක් දීලා ඇරලා. එතකොට පොරට එතනින් හෙල්ලෙන්නෙ ලැබෙන්නෙ නැහැ. හැබැයි වෙන කවුරු හරි ඇවිත් අර අයිස් වෙලා ඉන්න හාදයට වෝටර් කියලා තඩි බෑවොත් එයා නිදහස්. ආය දුවන්න පුළුවන්.


7. මස්කට්ට


කබඩි එකේ ලෝකල් වර්ෂන් එක මස්කට්ට. පිල් දෙකක් තියනවා. හරි මැද ඉරක් උඩ මස් කට්ටක් වගේ මොකක් හරි ලී පතුරක් තියනවා. වරකට එක පිලකින් එකා බැගින් දෙන්නෙක් එක වර මේ ඉර ගාවට එනවා. ඒ ඇවිත් කවුරුහරි මස් කට්ට අරගෙන ඉක්මනට තමන්ගේ පිලේ සීමාවට යන්න ඕනි. ඊට කලින් අනෙකාගෙන් පාරක් කෑවොත් මහන්සිය අපතේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *