පළතුරු වර්ග 7කින් ගෙදරදීම ර​ස අයිස්ක්‍රීම් හදාගන්න රෙසිපි

අයිස්ක්‍රීම් කිව්වම ඉතින් කවුද ආස නැත්තෙ? ලොකු කුඩා අපි කවුරුත් ප්‍රිය කරන කෑමක්නේ අයිස්ක්‍රීම් කියන්නෙ. කඩෙන් ඉතින් ගන්න තියෙන්නෙ සීමිත රස ටිකක්නෙ. අපිට ආස ආස පළතුරු වර්ග වලින් ගෙදරදීම රසම රස අයිස්ක්‍රීම් වැඩි වැඩ නැතිව ලේසියෙන්ම හදාගන්න පුළුවන් රෙසිපි ටිකක් තමයි අද ගෙනාවෙ. ඔයාලත් ට්‍රයි කරලා බලන්න.

 

1. කොමඩු අයිස්ක්‍රීම්

Image Source – seriouseats.com

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. ඇට ඉවත් කරලා කෑලි කරගත් කොමඩු කෝප්ප 2
  2. සීනි මේස හැඳි 4
  3. විප් ක්‍රීම් කෝප්ප 1

 

  • කොමඩු කෑලි වලට සීනි දාලා මිනිත්තු 2ක් බ්ලෙන්ඩ් කරගන්න. ස්පීඩ් කන්ට්‍රෝල් තියෙන බ්ලෙන්ඩර් එකක නම් හයිස්පීඩ් දාගන්න. දැන් ඒක පෙරාගන්න.

 

  • දැන් මේ ජූස් එක ආයිත්  බ්ලෙන්ඩර් එකට දාගෙන විප් ක්‍රීම් එක්ක ආයෙත් විනාඩි 2ක් හයිස්පීඩ් බ්ලෙන්ඩ් කරගන්න.  එයා ටයිට් කන්ටේනර් එකක් අරන් කොමඩු මික්ස්චර් එක දාලා පැය12ක් ෆ්‍රීසර් එකේ තියන්න.

 

2. ස්ට්‍රෝබෙරි අයිස්ක්‍රීම්

Image Source – alattefood.com

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. ස්ට්‍රෝබෙරි ග්‍රෑම් 200
  2. විප් ක්‍රීම් හෝ හෙවි ක්‍රීම් කෝප්ප 2
  3. මිල්ක්මේඩ් කෝප්ප 1
  4. ස්ට්‍රෝබෙරි එසන්ස් තේ හැඳි 1
  5. රෙඩ් කලරින් බින්දු දෙක තුනක් (අවශ්‍ය නම්)

 

  • ස්ට්‍රෝබෙරි ටික බ්ලෙන්ඩ් කරගන්න. බෝල් එකක් හා බීටර් විස්ක් දෙක ෆ්‍රිජ් එකේ විනාඩි 30ක් තියලා එළියට ගන්න. දැන් විප් ක්‍රීම් ටික බෝල් එකට දාල බීට් කරගන්න. හැන්දෙන් ගත්තම උඩට හිටින ලෙවල් එකට බීට් කළා නම් ඇති. 

 

  • දැන් මේකට මිල්ක්මේඩ් ටික එකතු කරගන්න. ආයෙම හොඳට බීට් කරගන්න.

 

  • දැන් මේ මිශ්‍රණයට බ්ලෙන්ඩ් කරගත් ස්ට්‍රෝබෙරි ටික එකතු කරන්න. හැන්දකින් හොඳට කලවම් කරගන්න. ස්ට්‍රෝබෙරි එසන්ස් එකතු කරගන්න. කලරින් ඩ්‍රොප්ස් ටිකත් එකතු කරලා හොඳට කලවම් කරගන්න.

 

  • භාජනයකට දාලා හොඳින් තද වෙන්න වහල පැය 6ක් විතර ෆ්‍රීස් කරගන්න.

 

3. මැන්ගෝ අයිස්ක්‍රීම්

Image Source – friendlys.com

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. හොඳට ඉදුණු අඹ ගෙඩි 3ක්
  2. විප්ක්‍රීම් 500ml
  3. මිල්ක්මේඩ් පොඩි ටින් 1
  4. කහපාට කලරින් ටිකක් (අවශ්‍ය නම්)
  5. වැනිලා ටිකක්

 

  • විප්ක්‍රීම් ටික ෆ්‍රිජ් එකෙන් ගත්ත ගමන් කූල් පිටින්ම ඝණ වෙනකල් බීට් කරගන්න. මේකට මිල්ක්මේඩ් එක එකතු කරගන්න. 

 

  • අඹ ටික කෑලි කරලා බ්ලෙන්ඩ් කරගන්න. දැන් මේ මැන්ගෝ පල්ප් එක විප්ක්‍රීම් මිශ්‍රණයට දාලා ඒකට වැනිලා ටිකක් එකතු කරගන්න.

 

  • මේකට කහපාට කලරින් ටිකකුත් එකතු කරලා හොඳට බීට් කරගන්න.

 

  • කැමති නම් අඹ කෑලි ටිකක් වෙනම මේකට එකතු කරලා කලවම් කරගන්න. දැන් මේක බෝල් එකකට දාලා ෆ්‍රීසර් දාන්න. පැයකින් වගේ එළියට අරන් ආපහු ටිකක් බීට් කරලා ෆ්‍රීසර් එකට දාන්න. ඒ වගේ දෙතුන් පාරක් බීට් කරලා කෑමට ගන්න.

 

4. අලිගැටපේර අයිස්ක්‍රීම්

Image Source – threemanycooks.com

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. හොඳට ඉදුණු අලිගැටපේර ගෙඩි 1
  2. මිල්ක්මේඩ් ටින් 1
  3. ලෙමන් ජූස් මේස හැඳි 2
  4. ලුණු ටිකක්
  5. හෙවි ක්‍රීම් හෝ විප් ක්‍රීම් කෝප්ප 2

 

  • අලිගැටපේර මදය සූරල බ්ලෙන්ඩර් එකට දාලා ඒකට ලෙමන් ජූස්, ලුණු හා මිල්ක්මේඩ් ටික දාලා හොඳට බ්ලෙන්ඩ් කරගන්න.

 

  • විනාඩි 30ක් විතර ෆ්‍රිජ් එකේ දාගත්තු බෝල් එකක් හා විස්ක් දෙක අරගෙන විප්ක්‍රීම් ටික හොඳට බීට් කරගන්න. ඝනකම් වෙනකල් බීට් උනාම ඒකට බ්ලෙන්ඩ් කරගත් අලිගැටපේර ටික එකතු කරගන්න.

 

  • දැන් තවත් හොඳට බීට් කරගන්න. ෆ්‍රීසර් එකේ පැය 12ක් වගේ තියලා කෑමට ගන්න පුළුවන්.

 

5. බනානා අයිස්ක්‍රීම්

Image Source – chiquita.com

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. මිල්ක්මේඩ් පොඩි ටින් 1
  2. සීනි කෝප්ප 1/4
  3. ජෙලටින් තේ හැඳි 1
  4. බනානා එසන්ස් ටිකක් 
  5. හොඳින් බ්ලෙන්ඩ් කරගත් කෙසෙල්ගෙඩි 8-10

 

  • මුලින්ම  මිල්ක්මේඩ් එක කඩලා භාජනයකට දාලා ඒ ටින් ඒකේ ප්‍රමාණයටම වතුර දාලා කලවම් කරගන්න.

 

  • ජෙලටින් වලට වතුර මේස හැඳි 3ක් එකතු කරලා කලවම් කරලා විනාඩි 10ක් විතර තියල ඒකත් මිල්ක්මේඩ් මිශ්‍රණයට දාගන්න.

 

  • දැන් මේක බීට් කරන ගමන් කෙසෙල් පල්ප් ටික, සීනි ටික හා බනානා එසන්ස් එකතු කරලා හොඳට බීට් කරගන්න.

 

  • මේ මිශ්‍රණය ෆ්‍රීසර් එකේ පැයක් තියලා එළියට අරන් ආයේ බීට් කරන්න. 

 

  • ආයෙ ෆ්‍රීසර් එකේ පැයක් තියලා එළියට අරන් බීට් කරන්න. මේ විදියට 3-4 වතාවක් බීට් කරගෙන කෑමට ගන්න පුළුවන්.

 

6. දූරියන් අයිස්ක්‍රීම්

Image Source – youtube.com

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. දූරියන් මදුළු 8-10
  2. මිල්ක්මේඩ් ටින් එකක්
  3. විප් ක්‍රීම් කෝප්ප 1/2

 

  • දූරියන් වල ඇට අයින් කරගෙන මදුළු ටික බ්ලෙන්ඩ් කරගන්න. ඊට පස්සෙ ෆ්‍රීසර් එකේ තියාගන්න.

 

  • බෝල් එකකුයි විස්ක් දෙකයි ෆ්‍රිජ් එකේ විනාඩි 30ක් විතර තියලා අරන් ඒ බෝල් එකට විප්ක්‍රීම් දාලා හොඳට ඝනකම් වෙනකල් බීට් කරන්න.

 

  • ඒකට මිල්ක්මේඩ් එකත් දාලා ආයෙ බීට් කරගන්න. දැන් මේ මිශ්‍රණය ෆ්‍රීසර් එකේ පැය බාගයක් විතර තියල ගන්න. 

 

  • දැන් ෆ්‍රීසර් කරපු දූරියන් පල්ප් එකත් එළියට අරන් විප් ක්‍රීම් මිශ්‍රණයට  දූරියන් මිශ්‍රණය දාලා පත්තකින් හොඳට කලවම් කරගන්න. 

 

  • දැන් ආයෙත් ෆ්‍රීසර් දාලා පැය 12කින් වගේ කෑමට ගන්න.

 

7. කිවි අයිස්ක්‍රීම්

Image Source – tastemade.co.uk

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. විප් ක්‍රීම් කෝප්ප  1 1/2
  2. මිල්ක්මේඩ් පොඩි ටින්
  3. කෑලි කපාගත් කිවි ගෙඩි 3
  4. කොළපාට කලරින් අවශ්‍ය නම්

 

  • කලින් රෙසිපි වල කිව්වා වගේ විප් ක්‍රීම් බීට් කරන්න කලින් බෝල් එකයි විස්ක් දෙකයි ෆ්‍රිජ් එකේ තියලා ගන්න. 

 

  • දැන් විප්ක්‍රීම් ටික කූල් කරගත්ත බෝල් එකට දාල හොඳට ඝනකම් වෙනකල් බීට් කරන්න. ඒකට මිල්ක්මේඩ් ටික එකතු කරන්න.

 

  • ආයෙත් හොඳට බීට් කරගන්න. දැන් කිවි වලින් භාගයක් බ්ලෙන්ඩ් කරගෙන ඒ පල්ප් එක විප්ක්‍රීම් මිශ්‍රණයට එකතු කරන්න. හොඳට බීට් කරන්න.

 

  • මේකට කලරින් බින්දු කිහිපයක් එකතු කරන්න. 

 

  • බීට් කරලා ඉවර වෙලා ඉතුරු කරගත් කිවි කෑලි ටික දාලා පත්තකින් කලවම් කරලා පැය12ක් ෆ්‍රීසර් දාගෙන කෑමට ගන්න.

Cover Image Source – biggerbolderbakin/fitmencook.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *