ජපන් භාෂාව ඉගෙනගන්න යන කෙනෙක් හමුවුනොත් සමහර අය “ජපන් හෝඩි කීපයක් තියෙනවාලු නේ? කන්ජි තමයි අමාරු නේ?“ කියලා අහනවා. ජපන් භාෂාව කියන්නේ ඉගෙනගන්න අමාරු භාෂාවක් නෙමෙයි. ඒත් හෝඩි කිහිපයක් පාවිච්චි වෙන නිසා ලියන්න කියන්න ඉගෙනගන්න එක තරමක් අමාරුයි කියලා තමයි ඉගෙනගන්න අය කියන්නේ. මේ ජපන් වාක්‍ය රටා සිංහල හින්දි වගේ ආසියානු භාෂාවන්වල තියෙන මාදිලියට තමයි සකස් වෙන්නේ. ඒ නිසා ආසියාතිකයන් විදියට අපිට කොරියන්, ජපන් භාෂා ප්‍රංශ, ජර්මන් භාෂාවලට වඩා ඉක්මනට ඉගෙනගන්න හැකියාව තියෙනවා. හැබෑට ජපන් භාෂාවට ඇයි මේ හෝඩි කිහිපයක්? අපි ටිකක් ඒ ගැන විස්තර සොයා බලමු.
1. ලියන ජපන් වල වචන වෙන් කිරීමක් නැති වීම
අපේ භාෂාවේ මෙන්ම ඉංග්‍රීසි භාෂාවේද ලියන විට අක්ෂර කිහිපයක් එකතු වී වචන හැදෙනවා. ඒ වචන අනුව උච්ඡාරණය කිරීම බොහෝ භාෂා වලදී පහසුවක්. ජපාන භාෂාව ලියන විට ඉඩ තැබීමක් හෙවත් වචන වෙන් කිරීමක් සිදු වෙන් නැහැ. ඒ නිසා සාමාන්‍යයෙන් ලියන විට වඩාත් සංකීර්ණ වූ කන්ජි අක්ෂර අතර හිරගනා සහ කතකනා අක්ෂරද යෙදෙනවා. ඒ අනුව වඩාත් පහසුවෙන් වචන වෙන් කර උච්ඡාරණය කිරීමට මේ අක්ෂර ජාති කිහිපයක් තියෙන නිසා පුළුවන්කම ලැබෙනවා. මෙසේ විවිධ ආකාරයේ අක්ෂර සහිත හෝඩි කිහිපයක් නොතිබී එකක් පමණක් තිබුනේ නම් අකුරු අතර ඉඩ නොමැති ජපාන බසේ වචන වෙන් කරගැනීමේදී අපහසුතා වලට මුහුණ දීමට සිදු වේවි.
2. තත්ත්වය සැලකීම
ජපානයේදී හිරගනා හා කතකනා වලින් විතරක් ලිවීම් කියවීම් කරන්නේ කුඩා දරුවන් පමණයි. කන්ජි කියන සංකීර්ණ අක්ෂර දැනගැනීම සහ ඒවායෙන් වැඩ ගැනීම ජපනුන් යම් අභිමානයක් විදියට සලකනවා. ඇත්තටම සරළ අකුරු මාලාවක් තිබුනා නම් ලේසියි කියලා ජපානයට එන විදේශිකයින් අදහස් දක්වලා තියෙනවා. ඒත් ජපානයේම ඉන්න අය මේ සංකීර්ණත්වයට ආසයි. ඒ භාෂා හැකියාව තුලින් යම් මට්ටමක් නිරූපණය වනවා කියලා ඔවුන් විශ්වාස කරන බවකුයි ඇතැම් වාර්තා පවසන්නේ.
3. චීනෙන් ආපු කන්ජි
ජපාන භාෂාව ඉගෙනගන්න කැමති සුද්දෝ හෙවත් බටහිර ජාතිකයින් වෙලාවකට ජපානේ චීනේට ලංව පිහිටා තිබීම ගැන විස්සෝප වෙනවා. මොකද ජපන් ඉගෙනගනිද්දි හම්බවෙන කන්ජි කියන සංකීර්ණ චීන අකුරු ඉගෙනගැනීම ටිකක් අමාරු වැඩක්… ජපානය කාලෙකදි චීනයට යටත් වෙලා තිබුනා. ඒ කාලෙදි ගනුදෙනු වැඩිවෙලා චීන භාෂාවේ කන්ජිත් ජපන් භාෂාවට එකතු වුනා. ඒ එකතුවුනු කන්ජි අදත් ජපන් භාෂාවේ ඉතුරු වෙලා තියෙනවා.
4. ගෑණුන්ට හදපු හිරගනා
මේ ජපන් භාෂාවට චීනෙන් ආපු කන්ජි සංකීර්ණ වැඩියි. එතකොට ජපන්නු හිතුවේ ගෑණු කියන්නෙ ඉගෙනගන්න ටිකක් කම්මැලි, වැඩිය ඉගෙනීමට දක්ෂ නැති කාණ්ඩයක්ය කියලා. ඒ නිසා ගෑණු අයට විශේෂයෙන් සරල වූ හිරගනා කියලා අක්ෂර විශේෂයක් හඳුන්වා දුන්නා. මේ ගෑණු අයට හඳුන්වලා දුන්න හිරගනා චීනෙන් ගෙනාපු කන්ජි වලට වඩා ලේසියි. ඒත් එහෙම හඳුන්වාදුන්නත් දන්න කියන උදවිය කන්ජි භාවිතය අතහැරියේ නැහැ.
5. අන්තිමට ආපු කතකනා
සාමාන්‍යයෙන් අපි හිතන්නේ රටවල්වල නම් ආදී ඉංගිරිසියෙන් ඇහෙන විදෙස් නම් වෙනස් වෙන්නේ නැහැය කියලා. ඒත් ජපන්නු ඒවත් වෙනස් කරලා තමයි කතා කරන්නේ. ජපන්නු ඇමරිකාවට කියන්නේ අමේරික කියලා. ලොස් ඇන්ජලීස්වලට කියන්නේ රොසන්සිරසු කියලා. ලංකාවට එයාල කියන්නේ සුරි රංකා කියලා. මොකද ජපන් භාෂාවේ සමහර ඉංගිරිසියේ එන දේවල් ඒ විදියටම කියන්න බැහැ. ඒ විදියටම වෙනත් භාෂා වලින් ආපු වචන ලියන කියන එකත් ජපනුන්ට ගැටළුවක් වුනා. ඒ අඩුව සපුරන්න කතකනා කියන අලුත් ඇල්ෆබට් එක ආවා. ඒකෙන් ජපන් අය දැනුත් විදෙස් භාෂා වලින් ආපු වචන ලියනවා.
6. රෝමජී
රෝම අකුරු එහෙම නැත්නම් ඉංගිරිසි අකුරු වලිනුත් සමහර නම් එහෙම පෙන්නුම් කරනවා. උදාහරණයක් විදියට ලෝ ප්‍රකට මැක්ඩොනල්ඩ්ස් ජාලය ජපන් භාෂාවෙන් ඒ විදියටම උච්ඡාරණය කරන්නට ජපන් හෝඩි තුනෙන්ම බැහැ. ඒ වගේම රොබට් වගේ ඉංගිරිසි නමක් ජැපනීස් වෙද්දි ඒක රොබටෝ වගේ උච්ඡාරණය වෙනවා. කලින් වතාවකදි කිව්ව විදියට හොඳටම දන්න ඉංග්‍රීසි වචනත් ජපන් අය කියද්දි අනෙක් අයට තේරෙනවාට වඩා නොතේරෙන අවස්ථාවල් වැඩියි. ඒ නිසා සමහරු ජපන් භාෂාව එක්ක රෝමජී පාවිච්චි කරනවා. රෝමජී හරියට යුනිකේත එන්න කලින් අපි සිංහල භාෂාව ඉංගිරිසි අකුරු වලින් ටයිප් කළා වගේ සීන් එකක්. එතනදි ජපන් භාෂාව ඉංගිරිසි අකුරු වලින් නිරූපණය කරන්න උත්සාහ කරනවා. ජපානයට එන්න ඉන්න ටුවරිස්ට්ලාට එහෙම පොඩි කාලෙකින් සංකීර්ණ හෝඩි කිහිපයක් පාඩම් කරන්න අමාරුයි. එයාල රෝමජි වලින් ජැපනීස් චුට්ටක් ඉගෙනගෙන, දැනගෙන ජපානයට එනවා.
7. පුරාතනයේ කතා කළ බසක් පමණක් වීම
ඉතිහාසයේ කියන විදියට ජපන් බස කියන්නේ ඉස්සර කතා කරපු භාෂාවක් විතරයි, ඒකට අක්ෂර නැහැ. දැනටත් මිලියන ගණන් කතා කරන එවැනි භාෂාවන් තියෙනවා. උදාහරණ විදියට ඉන්දුනීසියානු භාෂාව කතාකරනවා විතරයි. ඔවුන් ඒ භාෂාව ලියන්නේ ඉංගිරිසි අකුරු වලින්. ඉතින් ජපානය චීනය විසින් අල්ලාගන්න කල්ම ජපනුන්ට මේ භාෂාව ලියන්න උවමනා වුනේ නැහැ. ඉන් පස්සේ ඔවුන් චීන භාෂාවෙන් අකුරු අරගෙන ජපන් මුලින්ම ලිව්වා කියලා තමයි ඉතිහාසයේ තියෙන්නේ. සරලවම ජපන් භාෂාවට අකුරු කියන වර්ගය එකතු වෙලා තියෙන්නේ භාෂාව කතා කරලා කාලයක් ගියාට පස්සේ. පසුව ඒ ඒ අවස්ථාවන් හිදී ආපු ගැටළු වලට විසඳුම් ගන්න ගියපු නිසා ජපන් අයට හෝඩි තුන හතරක් භාවිතා කරන්නට සිදු වුනා.
භාෂාවන් මෙහෙම වෙන්න ඕනිය, අරහෙම වෙන්න ඕනිය කියලා හරියට සීමා මායිම් පණවන්න කාටවත් බැහැ. භාෂාවන් නිර්මාණය වෙන්නේ අදාළ පරිසරය මත. ඉතින් ජපන් භාෂාව පිට ඉන්න අයට මේ හෝඩි කිහිපයක් නිසා සංකීර්ණයි කියලා පෙනුනාට ජපන් අයට ඒක කුඩා කාලේ සිටම ඉගෙනගත යුතු තවත් එක දෙයක් පමණයි. කොයිතරම් ලෝකේ ගෝලීයකරණයට ලක් වුනත් ජපනා තමුන්ගේ සංස්කෘතික ලක්ෂණ රැසක් තාමත් ඒ විදියටම ආරක්ෂා කරගෙන තියෙනවා. පිට ජපන් නොදන්නා ලෝකයට සංකීර්ණයි කියලා පෙනුනත් ජපනා තමුන්ගේ භාෂාව හෝඩි කිහිපයක් එක්ක ගානට බැලන්ස් කරගෙන යනවා.
Leave a Reply