ස්කූටි පදින කෙල්ලන්ට ටිප්ස් 7ක්

දැනට අවුරුදු දහයක් පස්සට ගියොත් ගැහැණු ළමයි බයික් පදිනවා කියන එක ටිකක් අමුතු පහේ දෙයක් විදිහටනේ සැලකුවේ. ඒත් ඉන්දියන් බයික් වල ආධිපත්‍යයට ලංකාවේ බයික් මාර්කට් එක නතු වීමත් එක්ක ස්කූටි බයික් ලංකාවට එන්න පටන් ගත්තා. ඉතින් එදා පටන් මේ දැන් වෙනතුරුත් ඒකෙන් ලොකුම වාසිය ඇති උනේ ගැහැණු ළමයින්ට. ගැහැණු ළමයි කිව්වට ළමයි විතරක් නෙමෙයි වයසට ගිය ආච්චිලා පවා දැන් කාලේ ස්කූටි පදිනවා. ඒ මොක උනත් අපිට නිතර අහන්න ලැබෙන දෙයක් තමයි ගැහැණු අය ස්කූටි පදින එක අනතුරුදායකයි කියන කතාව. ඒ පදින අයට නම් නෙමෙයි. පාරේ යන අනිත් අයට. හැබැයි තමන්ගේ ගමන්බිමන් ටික ඉතාම පහසුවෙන් කරගන්න මේ ස්කූටි බයික් ගොඩක් ප්‍රයෝජනවත් වෙලා තියෙනවා ගැහැණු අයට. කොල්ලෝ වගේ හරි හරියට පාරේ එහෙ මෙහෙ යන්න ගැහැණු ළමයි ගොඩක් උනන්දුයි කියන එක කාටත් පේන්න තියෙන දෙයක්. ඉතින් කොහොම උනත් බයික් පදින්න වගේම නඩත්තු කරන්නත් ගැහැණු ළමයින්ට උදව් වෙන ටිප්ස් හතක් ගැන තමයි කතා කරන්න හදන්නේ.

 

 

1. තමන්ට ගැලපෙන බයික් එකක් තෝරාගන්න

දැන් බයික් මාර්කට් එකේ එක එක විදිහේ ස්කූටි බයික් මොඩල්ස් තියෙනවා. උදාහරණයක් විදිහට සිම්පල් පොඩි බයික් වල ඉඳන් නැවක් වගේ සයිස් බයික්, එක එක ප්‍රමාණ වලින් මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. හැබැයි කෙල්ලෙක් බයික් එකක් තෝරගනිද්දී ගොඩක්ම සැලකිලිමත් වෙන්න ඕනෙ බයික් එකේ විශාලත්වය ගැන. බයික් එකක් තොරගනිද්දී අඩුම ගානේ බයික් එක පොඩ්ඩක් බිමට ඇල කරලා ආයේ උස්සගන්න පුළුවන්ද කියන එකවත් අනිවාර්යයෙන් බලන්න. එහෙම බයික් එක උස්සගන්නවත් බැරි නම් ඒ වගේ මොඩල් එකක් ගන්න එපා. මොකද බයික් එකක් පදින්න ගන්නවා කියන්නේ මග තොටේ මොන දේ උනත් තමන්ට තනියම ඒවාට මුහුණ දෙන්න වෙනවා. ඒ නිසා වැටුනොත් බයික් එක කෙලින් කරගන්නවත් පුළුවන්කම තියෙන්න ඕනෙ. ඒ නිසා මේ කාරණාව ඉතාම වැදගත්.

 

 

2. Safety First!

දෙවෙනි කාරණාව විදිහට දැම්මට මොකද ආරක්ෂාව කියන්නේ පළවෙනි තැන දෙන්න ඕනෙ කාරණාවක්. ඒ නිසා ඔබ බයික් එකක් පදින ගැහැණු ළමයෙක් නම් හෝ පදින්න හිතන් ඉන්න ගැහැණු ළමයෙක් නම් ආරක්ෂාව ගැන ගොඩක් හිතන්න බයික් එක අතට ගන්න කලින්. බයික් එකක් පදිනකොට ආරක්ෂාව සම්බන්ධව වැදගත්ම දෙයක් තමයි හෙල්මට් එක. ඉතින් අපේ කොල්ලෝ වගේම කෙල්ලොත් මේ කාරණාව ගැන එච්චර හිතන්නේ නෑ. හෙල්මට් එක ගන්නෙත් ලස්සනට දාන්න හිතාගෙන. ඒත් අනතුරක් උනාම ඒ අනතුරේ බරපතලකම ගොඩක්ම තීරණය වෙන්නෙ හෙල්මට් එක මත. ඒ නිසා නිකන් කඩේක තියෙන බාල තත්ත්වයේ හෙල්මට් එකක් ගන්න තියා හිතන්න වත් එපා. අඩුම ගානේ SLS සහතිකය තියෙන සම්පූර්ණ හිසම ආවරණය වෙන හෙල්මට් එකක් ගන්න. ඊට අමතරව කිව්වොත් ජැකට් එකක් ගන්න ටිකක් ලොකුවට සහ හොඳ ඝන රෙද්දකින් මහපු. ඒකෙන් පුළුවන් අනතුරකදී ඔබට වෙන බාහිර තුවාල අවම කරන්න. ඔන්න ඔය ටිකවත් සම්පූර්ණ කරගෙන බයික් පදින එක ඇඟට ගුණයි කෙල්ලනේ. 

 

 

3. තාක්ෂණික දේවල් ගැන දැනුවත් වෙන්න

බයික් එකක් කියන්නේ මැෂින් එකක්. ඒක හදන්නේ මූලික දේවල් දෙකක් එකතු කරලා. එකක් එන්ජින් එක අනිත් එක චැසි එක. ඔන්න ඔය දෙක ගැන ප්‍රමාණික දැනුමක් තියෙන්න ඕනෙ කෙල්ලනේ බයික් පදින කෙල්ලෙක් උනාම. පාරේ යද්දී හදිසියේ බයික් එක නැවතුනොත් හරි මොනාහරි තාක්ෂණික දෝෂයක් අවොත් අඩුමගානේ ඒක මොන පද්ධතියට අදා​ළ ගැටලුවක්ද කියන එකවත් තේරුම් ගන්න පුළුවන් දැනුමක් එකතු කරගන්න ඕනෙ. ඒකට ගොඩක් උදව් වෙයි ෆේස් බුක් ගෘප් එහෙම. ඒවා හොඳට පරිශීලනය කරලා බයික් එකේ එක එක කොටස් ගැන ප්‍රමාණික දැනුමක් එකතු කරගන්න. 

 

 

4. නඩත්තු කටයුතු

බයික් එක පදින එක නෙමෙයි ලොකුම වැඩේ. බයික් එක නඩත්තු කරන එකයි අමාරුම වැඩේ. ඔබ බයික් එකක් පදිනවානම් හැම අවස්ථාවකදීම පරීක්ෂාවෙන් ඉන්න ඕනෙ කාරණා කිහිපයක් තියෙනවා. එකක් තමයි බ්රේක්. බයික් එකට නැග්ග ගමන් බලන්න බ්රේක් තමන්ට ඇති ප්‍රමාණයට තියෙනවද කියල. අනිත් එක පෙට්‍රල් ප්‍රමාණය ගැනත් නිරන්තරයෙන් අවධානය යොමු කරන්න. අනිත් එක ටයර්. කට්ට ප්‍රමාණය සතුටුදායක මට්ටමට නැත්නම් අනිවාර්යයෙන් අලුතින් ටයර් දාගන්න. මේකට අදා​ළ නොවුනත් තව දෙයක් තමයි පාරේ යද්දී සිග්නල් ලයිට් එකක් දැම්මනම් හරවල ඉවර උනගමන් ඒක ඕෆ් කරන්න. ඒක ඔයාගේ වගේම අනිත් අයගෙත් ආරක්ෂාවට වැදගත්.

 

 

5. නීතිමය කාරණා

බයික් එකක් නෙමෙයි මොන වාහනයක් පැද්දත් රථවාහන නීතිය ගැන කෙල්ලෙක් විදිහට විශේෂයෙන් දැනගෙන ඉන්න ඕනෙ. මොකද නීතිය නොදන්නාකම නිසා ඔබ සමහරවිට පොලීසියෙන් අසාධාරණකම් වලට ලක් වෙන්න පුළුවන් වගේම අනතුරකදී අනෙක් පාර්ශ්වයේ අසාධාර​ණකම් වලටත් ලක් වෙන්න පුළුවන්. ඒ නිසා පොඩ්ඩක් ඒ ගැන දැනුවත් වෙන්න. ඒ වගේම මාර්ග නීති ගැනත් හොඳ දැනුමක් ඇතිකරගන්න. මොකද මාර්ග නීති තියෙන්නේ හැමෝගෙම ආරක්ෂාවට නිසා.

 

 

6. බලපත්‍ර සහ සහතික

බයික් පදින ගොඩක් අයට අමතක වෙන දෙයක් තමයි මේ. බයික් විතරක් නෙමෙයි මොන විදිහේ වාහනයක් උනත් පාරට දාන්න කලින් තමන් සතුව තියෙන්න ඕන දේවල් කිහිපයක් තියෙනවා. බයික් එකකට අදා​ළව ගත්තොත් එක රියදුරු බලපත්‍රය, දෙක වාහනයේ ආදායම් බලපත්‍රය, තුන රක්ෂණ සහතිකය, හතර වායු විමෝචන සහතිකය හැමෝම දාන්න විදිහට කිව්වොත් දුම් සහතිකය. මේ දේවල් හතර බයික් එක පදින සෑම අවස්ථාවකම ඔබ ළඟ තියෙන්නම ඕනෙ. ඒ වගේම නියමිත දිනයට අදා​ළ සහතික හා බලපත්‍ර අලුත් කරගන්නත් අමතක කරන්න එපා. ගොඩක් අයට ඒවා අලුත් කරන්න අමතක වෙනවා. ඒ නිසා ෆෝන් එකෙන් රිමයින්ඩර් දාල තියාගන්න පුළුවන්නම් හොඳයි. 

 

 

7. Self Confidence

බයික් එකක් පදින කෙල්ලෙක් කියන්නේ අනිත් කෙල්ලන්ට වඩා තමන් ගැන හොඳ විශ්වාසයක් තියෙන කොටසක්. හැබැයි ඒ උනාට ගැහැණු ළමයි බයික් වල යද්දී පාරේදී ගොඩක් අපහසුතාවලට ලක් වෙනවා. ඒ නිසා ඔබ බයික් එකක් පදින කෙල්ලෙක් නම් ඉතා හොඳ විශ්වාසයකින් ඒ ගමන යන්න. ගොඩක්ම වෙලාවට පොලීසියෙන් හරි වෙන මොනයම්ම කෙනෙක්ගෙන් හරි පාරේදී අනවශ්‍ය හිරිහැර සිද්දවෙන්නේ ඔබ ඔබේ පෞරු​ෂය හරියට පවත්වගත්තේ නැත්නම් තමයි. ඉතින් ඔය උඩින් කියපු කාරණා උනත් ගොඩක් වැදගත් වෙයි ඒ පෞරු​ෂය ඇතිකරගන්න. ඒ නිසා අභියෝග වලට හොඳින් මුහුණ දෙන්න පුළුවන් පෞරු​ෂයක් ඇති කාන්තාවක් බවට ඔබත් පත්වෙන්න. ඔබ පාරේ තොටේ ගමන් කරද්දී ලැබෙන අත්දැකීම් ඔබේ ජිවිතේ ජයගන්න ගොඩක් ලොකු හයියක් වේවි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *