පොත් ප්‍රදර්ශනයක දී පොත්වලට අමතරව ගන්න පුළුවන් වෙන දේවල්

මේ අවුරුද්දට කොළඹ පොත් ප්‍රදර්ශනේ අහවරයි. ඒත් ඕක ඊළඟ පාරත් එනෝ නේ. මේ පාර පොඩි කසිලිබිසිලියක් තිවුණා ගන්න හරිහමන් පොතක් නෑ කියලා. ඉතින් දෙයියනේ මේ ආතල්ලන්තේ පොත් ප්‍රදර්ශනේකට ගිහින් ගන්ඩෝනි පොත් විතර ද? ගන්න නම් දේවල් ඕනෑ තරම්. ඊළඟ අවුරුද්දෙත් පොත් හරියට සැට් වෙන්නේ නැත්නම් මේ දේවල් අරන් සැනසෙමු.



1. පොටෝ


පොත් ප්‍රදර්ශනේ ගිහින් ගත්තේ මොනවද කියලා ඇහුවොත් ගොඩක් දෙනෙක්ට දෙන්න පුළුවන් සුපිරි උත්තරයක් තමයි මේ. ඕවා ගත්තට විතරක් මදි සෝෂල් මීඩියා පැත්තෙ ගිහින් අලවන්න ඕනි. එතකොට තමයි පොඩි වලංගුභාවයක් එන්නේ. ඒකත් එක්තරා අහිංසක සතුටක් තමයි. පොත් ගන්නවා කියලා කොස් ඇට කජු ඇට ද? පොත් ගිනි ගණන්. ඒ නිසා ප්‍රදර්ශනේට ගිහින් සැපේ ගන්න පොටෝ.



2. කෑම


ගෙදර හදන නූඩ්ල්ස් වගේ නෙවේ පොත් ප්‍රදර්ශනේ ඉඳන් කන නූඩ්ල්ස් ටික ගානට තියෙනවා. හින්නිකිතර කප් එකකට අයියා කෙනෙක් ලස්සනට නූඩ්ල්ස් ටික දාලා දෙනවා. රහ නම් වෙනසක් නැහැ. හැබැයි ඉතින් මේ කෑම පොතක් කියෙව්වා හා සමානයි. ඇයි ඉතින් ප්‍රදර්ශන භූමියේ ඉඳන් කාපු ඒවනේ. ඊට අමතරව පොප් කෝන් තියෙනෝ. ආහ් තව ගල්කිස්සේ මහ හෝටලෙන් හදාපු කෑම තියෙනෝ. කෑම සක්වලයි.



3. ඇක්සයිස් පොත් සහ අඩුමකුඩුම

කියවන්න තියෙන පොත් මෙලෝ රහක් නැත්නම් ලියන්න දේවල් ගන්න පුළුවනි. සමහරු නම් කල් තියා ම පොත් ප්‍රදර්ශනෙට එන්නේ මේවා ගන්න විතරයි. වෙනම මහා පරිමාණ ස්ටෝල් තියෙනෝ මේවට. ඉතා අඩුවට ගන්න පුළුවන් නිසා සමහරු දුර ඉඳන් ම එනවා. පොත් විතරක් නෙවෙයි. පෑන්, පැන්සල් එතකොට පොඩි එවුන්ට අධ්‍යාපනික ක්‍රියාකාරකම් සඳහා තියෙන එක එක ගැජට් එහෙමත් තියෙනවා.



4. පාද සම්බාහනයක්


ප්‍රදර්ශන භූමියට ඇතුළු වෙලා සිරිමාවෝ එක පැත්තට යනකොට තියන කවි කුටියට අල්ලපු වැටේ තමයි මේක තියෙන්නේ. ඇවිදලා ඇවිදලා කකුල් දෙක රිදුණා ම ඇවිල්ලා මෙතන තියන ගැජමැටික් එකක කකුල ඔබාගන්නයි තියෙන්නේ. ආයෙ ඉතින් සැප කනේ කිව්වලු. මේක දැන් කලකට කලින් ඉඳන් සිද්ධ වෙනවා. අනිවා ලබන අවුරුද්දෙත් තියෙයි.



5. ඩී වී ඩී


ප්‍රධාන වශයෙන් ම මෙහෙම ස්ටෝල් දෙකක් තියනවා. එකක් තියෙන්නේ ඇතුළු වෙන්නත් කලියෙන්. ඒ තමයි ගුවන් විදුලි සංස්ථාවේ එක. එතන පරණ ගීත වැඩසටහන් එහෙම ගන්න පුළුවන්. ඊට අමතරව සිරිමාවෝ එකේ තියෙනවා රූපවාහිනි සංස්ථාවේ ස්ටෝල් එක. ඒක නම් නැගලම යනවා ඒ කාලේ කාටුන්, නාට්‍ය සහ විශේෂාංග වැඩසටහන් නිසා.



6. පින්


ප්‍රදර්ශනේට ඇවිත් පින් එකතු කර ගන්නත් පුළුවන්. ගොඩක් චැරිටි කරන කට්ටිය ඇවිත් ඉන්නවා අපි තවදුරටත් කියවන්නේ නැති පොත් භාර අරගෙන පොත් කියවන්න ආස අයට ඒවා බෙදලා දෙන්න ලෑස්තියෙන්. ඇතුල්වීමටත් කලියෙන් ම මේ වගේ කට්ටිය දකින්න ලැබුණා. ඒකත් වටින වැඩක් ඉතින්.



7. අධ්‍යාපනික සහ වෙළඳ උපදෙස්


ඔය අධ්‍යාපනික ප්‍රදර්ශන අනන්මනන් තියෙන්නේ. අන්න ඒ වගේ ආයතන කීපයක් තමන්ට ම කියලා පොත් ප්‍රදර්ශනෙත් තැනක් වෙන් කරගන්නවා. උසස් අධ්‍යාපන කටයුතුවලට උනන්දු කට්ටියට හොඳයි. තව වෙළඳ අංශය පැත්තෙන් බැලුවොත් බැංකු සහ ටැක්සි සේවා සපයන අයගේ සේවාවන් ලබාගන්න පුළුවන්.


 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *