ඒ කාලේ බලපු දෙමළ චිත්‍රපටවල පොදු ලක්ෂණ කීපයක්

ඒ කාලේ කියලා විශේෂණ පදයක් දාන්න සිද්ධ වුණේ දැන් කාලේ දෙමළ සිනමාව ලෝක සිනමාවත් එක්ක කරට කර සටනක් ලස්සනට පවත්වාගෙන එන නිසයි. නමුත් ඒ බව අමතක කරන්න බැරුව තාමත් සමහරු දෙමළ චිත්‍රපට බලන එකෙන් වැළකිලා හෝ කලින්ටත් වඩා බලන්න පෙළඹිලා තියෙන්නෙත් ඔය කියන ඒ කාලේ දෙමළ චිත්‍රපට නිසා තමයි. දැන් දැන් දෙමළ සිනමාවෙන් වියැකී යන ඒ පොදු ලක්ෂණ වෙන්නේ මෙන්න මේවා තමයි.


1. සරම් ෆයිට්

ඉස්සර හෝල් එකේ දෙමළ චිත්‍රපටයක් බලන්න යනවා නම් චිත්‍රපටයේ කොලිටිය තීරණය කරන සාධකයක් තරමට සරම් ෆයිට් වැදගත් වුණා. කොල්ලන්ගේ ඉඳන් නාකි සීයා තාත්තලා වෙනකන් උදවිය වඩාත් කැමති සරම් ෆයිට්වලට. පස්සේ පස්සේ එකතු වුණ කලිසම් ෆයිට් එක්ක හැරෙන්නවත් බෑ. මොකක් හරි මරාගැනීමක් තුවාලයක් අනිවාර්‍යයෙන් දෙමළ චිත්‍රපටයක වෙනවා. අන්න ඒක සිද්ධ වෙන වෙලාවේ නළු බට්ටෝ ටික සරම ඇඳලා කැහිපොට ගහන් සෙට් වෙලා ගේමට බහිනකොට එන ගැම්ම හම්මා!



2. සෙත්තපෝච්චි සතිපොළ

වලි අවස්ථාවකට ඔබින නියම වටපිටාව හදලා දෙන්නේ දෙමළ චිත්‍රපට තමයි. ඒකට තෝරගන්නේ සෙනගයි බඩුමුට්ටු පිරුණු පොළක්. එකෙක්ට ගැහුවම ඌ කැරකි කැරකි ගිහින් හැප්පෙන්නේ පොළේ ලස්සනට අඩුක් කරලා තියන හට්ටි මුට්ටිවලයි බේසම්වලයි. ඊට පස්සේ තක්කාලියි දොඩම් ගොඩවලුයි පෙරළගන්නවා. පොළේ ඉන්න මිනිස්සු එක්කෝ දෙන්නෙක් ගහගන්නවා වට වෙලා බලන් ඉන්නවා ඒත් නැත්නම් පිස්සෝ ටික වගේ එලෝ මෙලෝ නැතුව දුවනවා.



3. කොමීඩියන්


පට්ට ම සීරියස් චිත්‍රපටයක් වුණත් කොමඩි කෑල්ලක් දාන්න නළුවෙක් ඉන්නවමයි. පොරත් හරියට අයිස් ඒජ් එකේ ඒකෝන් එකක් පස්සේ යන සතා වගේ චිත්‍රපටයේ ගලා යෑමට සෑහෙන උදව් වෙනවා. අනික් කාරණ‍ය තමයි දෙමළ චිත්‍රපටවල ඉන්න විකටයන්ගේ විහිළුවලට සිරාවට ම හිනා යන එක. උදාහරණයක් විදියට වඩිවේලු ගත්තොත් දැක්කත් හිනා යනවනේ.



4. නළු පාට නැති නළුවා


අනෙක් චිත්‍රපටවලට සාපේක්ෂ්ව ගත්තොත් දෙමළ නළුවන්ගේ මහා ලොකු ලස්සනක් නෑනේ. නළුවෙක්ට සෙට් වෙන හයේ හතරේ බොඩියවත් රත්තරන් පාට හමවත් එයාලා ගාව නෑ. ඉතාම සාමාන්‍ය එක පාරට පාරෙන් අහුලා ගත්තා වගේ හිටපු මේ නළුවොන්ගේ නළුකම තිබුණේ රංගනයේ විතරයි. ඉස්සර කාලයේ දෙමළ නළුවොන්ගේ විදිය බලන්න ඕනා නම් ඒ කාලේ පරණ ඇල්බමයක් බැලුවම හරි. මොකද පෙනුමින් කියනා තරම් වැදගත්කමක් නැති තරමට සාමාන්‍යකරණය වෙච්ච මූණු ටිකක්.



5. එඩිට් පාර


එහෙම අතිශය සාමාන්‍ය දෙමළ නළුවා නළුවෙක් කියලා උළුප්පලා පෙන්වන්න පවර් පොයින්ට් එකේ තිබ්බ ඇනිමේෂන් හැමකක්ම ​ඒ කාලේ භාවිත කරලා තියනවා. සීන් එකකට එන්ටර් වෙද්දී එකාව දහ විදියකට පෙනිලා නොපෙනිලා යනවා, වෙඩි තියනකොට උණ්ඩ සියලු විද්‍යාත්මක රීතින් පිටින් ගිහින් නළුවගේ අතේ වැදිලා ආපහු කැරකිලා සතුරා දිහාවට ම එනවා. වීරයා බෝලෙකට ගැහුවොත් ඒක පෘථිවි වායුගෝලයටත් එහා යනවා. සිද්ධි ගොඩයි.



6. ගිණිකසයා ඩෑන්ස් එක


එක දෙමළ චිත්‍රපටයකට ගීත අඩුම තරමේ තුනක්වත් තියෙනවනේ. ඒ ගීත අතරින් සුපිරිම බුලට් එක තමයි ෆාස්ට් බීට් එකට කියන සින්දුව. ඒකට නළුවයි නිළියයි පරිවාර නැට්ටුවො ටිකයි නටන්නේ දේවාලේ ගිනි පාගන්න ගියා වගේ. ඒක හිතාගන්න බැරි වේගයක්. උදාහරණයක් විදියට අප්පඩී පෝඩ සින්දුව අරන් බලන්නකෝ. විජේ එක්ක ට්‍රීෂා නටන්නේ වයින් කරපු බෝනික්කෝ දෙන්නෙක් වගෙයි.



7. කැති, පොළු සහ මන්නා පිහි


ඉංග්‍රීසි ෆිලුම්වල ෆයිට්වල නානා විධ උපකරණ එක්ක ගේමට බැස්සට මොකෝ කතාවේ වීරයාට ගහන්න කැති, පොළු සහ මන්නා උස්සගෙන එන ගැම්ම ගන්න නම් ඒවාට බැරි වෙයි. ඔය මොනවා එක්ක සටනට ආවත් අනික් අතට උඩින් විසි වෙලා වීදුරු කඩාගෙන බිමට වැටෙන්නේ. ඒ අතින් බැලුවම නම් දෙමළ චිත්‍රපටවල ප්‍රධාන චරිතෙට ඉන්න ඩෑල් එක්ක මනුස්සයෙක් වෙන්න නම් බෑ. ඌ දෙයියෙක් ම වෙන්න ඕනි.