මාසයක් තිස්සේ කඹුරලා කඹුරලා අතට ගන්න පඩිය ආයෙමත් ඊළඟ මාසේ පඩි දවස වෙනකන් බැලන්ස් කරගන්න එක එසේ මෙසේ ගේමක් නෙමෙයිනේ අපි කාට කාටත්. පඩි ගත්තු දවසට රාජ ලීලාවෙන් ඉන්න සැට් එක ඊළඟ පඩිය කිට්ටු වෙනකොට හිඟන්නා මාර්ක් එකට නොවැටී නූලෙන් තමයි බේරෙන්නේ. ඉතින් අපි හිතුව ටිකක් කතා කරන්න ඔය මාසේ පඩිය ඊළඟ මාසේ වෙනකන් බැලන්ස් කරගෙන ශේප් එකේ ගේම ගහන හැටි ගැන. මෙන්න මේ ටිප්ස් ටික තදටම ඔලුවට දාගත්තොත් එච්චරම අමාරු වෙන එකක් නැහැ වැඩේ.
1. මාසෙ කොටස් වලට බෙදාගන්න
මුලින්ම තමන්ට පඩිය ලැබෙන දවස අනුව මාසේ තීරණය කරන්න. ඒ කිව්වේ පඩි 25 නම් මේ 25 ඉඳන් ඊළඟ 25 දක්වා තමයි මාසය. ඊළඟට ඒක සති වලට වෙන් කරගන්න. එතකොට ලේසි ඔය කෑම බීම වගේ වියදම් හදාගන්න. ඒ ඒ සතියේ බඩු ගන්න දවස ඊළඟට තීරණය කරගන්න. 25 ඉඳන් 25 වෙනකන් කිව්වට හුඟක් වෙලාවට ෂොපින් යන්න නිදහසක් ලැබෙන්නේ සති අන්තයේ නිසා කැලැන්ඩරේ තියෙන සති වලටම ප්ලෑන් කරන්නත් පුළුවන්. ඒ කිව්වේ මේ මාසේ 25 අයත් වෙන සතියේ මුල සිට ඊළඟ 25 අයත් වෙන සතියේ අග දක්වා වගේ. ඔය ඔක්කොම ඔයාගේ පඩි දවස, අදායම, වියදම කියන දේවල් හිතල ඔයාම තමයි තීරණය කරන්න ඕන.
2. කලින්ම බජට් එක හදාගන්න
ඊළඟට වැදගත්ම දේ. තමන්ගේ වියහියදම් මොනවද කියලා කලින්ම ප්ලෑන් කරන්න ඕන. ඉතින් පහසු විදිහට පොතක් පෑනක් හරි එක්සෙල් ෂීට් එකක් හරි අරගෙන ආදායම සහ ඇස්තමේන්තු වියදම ලියාගන්න. මේකට කලින් ප්ලෑන් කරන්න පුළුවන් හැම වියදමක්ම ඇතුලත් කරන්න ඕන. ලයිට් බිල්, වතුර බිල් වගේ එකී නොකී මාසික බිල්, ගෑස් වගේ මාස දෙකකට තුනකට වරක් එන වියදම්, ඒ අතරේ එන හිතවත් අයගේ උපන්දින, මඟුල් ගෙවල් වගේ දේවල් කියන ඔක්කෝම මේකට ඇතුලත් කරන්න. පුළුවන් තරම් ඉස්සරහට ප්ලෑන් එක හදාගන්න. ඒ කිව්වේ මාස 6 කට හෝ ඊටත් එහාට උනත් කමක් නැහැ. ඒ අතරේ මැදදී එන වියදම් ඕකට පස්සේ දාගන්න පුළුවන්නේ.
3. අනවශ්‍ය වියදම් කපාහරින්න
ඔන්න කලින් කියපු විදිහට බජට් එක හදද්දී හොඳට තේරෙනවා අපි කරන අනවශ්‍ය වියදම් මොනවද කියල. ඕව හෙමීට හෙමීට අඩු කරන්න තමයි තියෙන්නේ. අනිත් එක බජට් එක හදල ඒ ඒ දේවල් වලට සල්ලි වෙන් කළාට පස්සේ ආපහු ඉතින් අතරමඟ ඕන නැති දේවල් වලට කරන වියදමුත් සැහෙන්න අඩුවෙනවා ඉබේම.
4. මුලින්ම සේව් කරන්න
ඉතිරි කරන්න වියදම කරලා ඉවර වෙනකන් බලන් ඉන්නවනම් සොරි තමයි පුතේ ඉතින්. බුදු හාමුදුරුවෝ පවා දේශනා කළේ තමන්ගේ අදායමෙන් මුල් කොටසක් ඉතිරි කරන්න කියලයි. ඒ නිසා මුලින්ම බජට් එක හදනකොටම අනික් වියදම් ගාණට බලල මෙන්න මේ ගාණ ඉතුරු කරනවා කියල තීරණය අරගන්න. තීරණය කළාට මදි. අතට සල්ලි ආපු ගමන්ම ඒ වෙන්කරපු ගාණ බැංකුවක හෝ වෙන ඕනෙම ක්‍රමයකට ඉතිරි කරන්න. මාසයක් දෙකක් ගිහින් හරියටම අදායම අනුව මෙච්චර ගාණක් මාසෙකට ඉතුරු කරන්න පුළුවන් කියලා තේරුම් ගත්තම කෙලින්ම පඩිය වැටුන ගමන් බැංකු පොතෙන්ම කැපිල වෙන ඉතුරුම් කරන බැංකු පොතකට යන්න ස්ටෑන්ඩින් ඕඩර් එකක් ඒ කිව්වේ ස්ථාවර නියෝගයක් දාන්නත් පුළුවන්.
5. වෛද්‍ය වියදම් වෙන් කරන්න
මේකත් සෑහෙන්න වැදගත් දෙයක්. මොකද මාසේ මැද හරියේදී ප්ලෑන් ඔක්කොම චකබ්ලාස්ට් වෙලා අපි හැමෝම හිරවෙන පොයින්ට් එකක් තමයි මේ. මොකද ලෙඩ දුක් කරදර කියන දේවල් මිනිස්සුන්ට කලින් දැනුම් දීල එන්නෙ නැහැනේ. ඒ නිසා මුලදීම ඒ දේවල් වලට යම්කිසි මුදලක් අයින් කරන්න. ගෙදර ඉන්න පිරිස අනුව වෙන්කරන ගාණ තීරණය කරන්න. මොකද හදිසියේ වසංගත උණක් වගේ හැමෝටම හැදෙන ලෙඩක් හැදුනොත් එක්කෙනෙක්ට විතරක් සල්ලි වෙන් කරල බැහැනේ. නැත්තම් මැදදී ලෙඩක් දුකක් උන ගමන් වෙන දේකට තියන් ඉන්න සල්ලි මේකට බැලන්ස් කරන්න ගිහින් වැඩේ අනාගන්න වෙන්නේ. දෙයියන්ගේ පිහිටෙන් ලෙඩක් නොවී හිටියොත් එක්කෝ වෙන් කරපු මුදල ලබන මාසේ ඉතුරුම් වලට දාගන්න පුළුවන්. නැත්තම් එහෙම්මම ලබන මාසේ වෛද්‍ය වියදම් වලට ගන්නත් පුළුවන්.
6. එන්විලොප්ස් පාවිච්චි කරන්න
මේක සෑහෙන්න ප්‍රසිද්ධ, සාර්ථක සහ අන්තර්ජාතිකව පවා භාවිතා වෙන ක්‍රමයක්. ඔන්න මේකයි කරන්න තියෙන්නෙ. පඩිය අතට ගත්තු ගමන් ඉස්සෙල්ලාම ගන්න ලියුම් යවන පොඩි කවර 10ක් 20ක්. අර හදාගත්තු බජට් එකේ තියෙන ඔක්කොම දේවල් වලට වෙන වෙනම එන්විලොප්ස් ලියාගන්න. ඒ කිව්වේ වතුර බිලට මෙච්චරයි කියල කවරේ ලියල ඒ සල්ලි ඒකට දාගන්න. අන්න එහෙම සියලුම වියදම් කවර් කරගන්න. ඉතුරු කරන මුදලත් බැංකුවට දානකන් කවරෙක දාල සීල් කරගන්න. එතකොට ඒක අනවශ්‍ය දේවල් වලට වියදම් වෙන්නේ නැහැනෙ. අදාළ වියදම අදාළ කවරෙන් විතරක්ම ගන්න. ඔක්කොම පටලගන්න එපා. වෛද්‍ය වියදම් කවරේ වෙන කිසිම හේතුවකට හොල්ලන්න එපා. ඔහොම කළාම සමහරවිට ප්ලෑන් කරපු එකෙන් පොඩි ගාණක් ඉතුරුත් වෙයි මාසේ අන්තිමට බලද්දි.
7. මාසෙටම එකපාර බඩුගන්න
මෙන්න තවත් ක්‍රමයක් නාස්තිය අඩු කරගන්න. මාසෙටම අවශ්‍ය හාල්, සීනි, පරිප්පු වගේ වියලි අහාර ද්‍රව්‍ය, පිරිසිදු කරන දේවල් වගේ ඒව එකපාරම ගන්න. මතක් වෙන මතක්වෙන සැරේට කඩේ දුවනවට වඩා දින චර්යාවටත් ලේසියි. ඊටත් වඩා අනවශ්‍ය බඩු ගොඩගැහෙන එක නවතිනවා. අනිත් ලොකුම වාසිය තමයි එක පාර බඩු ගනිද්දි හම්බවෙන ඩිස්කවුන්ට්. මුලින්ම කුස්සියේ ස්ටොක් කවුන්ට් එකක් කරල ගන්න අවශ්‍ය බඩු ලිස්ට් එක හදාගන්න. ඊළඟට අර මුලින්ම බජට් එක හදල වෙන්කරල දාගත්ත එන්විලොප් එක අරන් දවසක් දාගෙන ෂොපින් කරන්නයි තියෙන්නේ.
Leave a Reply