අපේ රටේ බොහෝ දෙනෙක් අතර ප්‍රසිද්ධ මතය තමයි ‘ලංකාව කෑවේ දේශපාලනඥයෝ” කියන එක. එහෙම කියද්දි ආපහු අනිත් අතට ප්‍රශ්නයක් අහන්න පුළුවන් “ලංකාවේ දේශපාලනඥයෝ කිසිම හොඳ වැඩක් කරලා නැද්ද?” කියලා. මේ ප්රශ්නය නිසා ගොඩක් අය ගොළු වෙනවා. ඒත් අපේ රටේ නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍ය ඇති කිරීමට ක්‍රියා කිරීම තමයි අපේ රටේ දේශපාලනඥයෝ ලංකාවේ පුරවැසියන් වෙනුවෙන් කරපු විශිෂ්ටම දේ කියලා කිව්වොත් වැරැද්දක් නැහැ කියලයි අපිට හිතෙන්නේ. මේ නිසා අපි අද හිතුවා ලංකාවේ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් විශාල සේවාවක් කරපු ඇමතිවරු කිහිපදෙනෙක් ගැන කතා කරන්න.
1. ආචාර්ය එන්. එම් පෙරේරා
ලංකාවට නිදහස් අධ්‍යාපනය හඳුන්වා දෙන්න මුල්වෙලා කටයුතු කරපු එක පුද්ගලයෙකු විදිහට ආචාර්ය ඇන්. ඇම් පෙරේරා මහතාව සඳහන් කරන්න පුළුවන්. දෙවන ලෝක යුද්ධය පැවති සමයේදී සමසමාජ පක්ෂයේ ක්රියාකාරිකයන් සියලු දෙනාම බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. සිර ගත කළ කාලය තුළ ඉන් බොහෝ දෙනා පොතපත ලිවීමට පෙළඹුණා. ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා “බ්‍රිතාන්‍ය පාලනය යටතේ ලංකාව” නම් විශිෂ්ට ඉතිහාස ග්‍රන්ථය ලියද්දි ආචාර්ය එන්. එම් පෙරේරා රචනා කළේ “නිදහස් අධ්‍යාපනය අවශ්‍ය ඇයි?” කෘතියයි. මේ සඳහා එතුමාට එවකට රුසියානු විප්ලවයෙන් පසුව එරට ඇතිවුණු නිදහස් අධ්‍යාපන ක්‍රමය බලපාන්න ඇති.
2. සී. ඩබ්ලිව්. ඩබ්ලිව් කන්නන්ගර
අපේ රටේ නිදහස් අධ්‍යාපනයේ පියා විදිහට හඳුන්වන්නේ මෙතුමා. ඒත් ජාතියක් විදිහට අපි මෙතුමාට යුතුකම් හරියට ඉටු කරාද කියන එක නම් ඇත්තටම ප්‍රශ්නයක්? එතුමා ඩොනමෝර් ව්‍යවස්ථාව යටතේ හඳුන්වා දෙනු ලැබූ අධ්‍යාපන අනු කමිටුවේ සභාපතිවරයා විදිහට අමාත්‍ය මණ්ඩලය තුළ අධ්‍යාපන අමාත්‍යධූරය දරනු ලැබුවා. අග්‍රාමාත්‍ය ඩී. එස් සේනානායක මහතාගේ විරෝධය ශූර ලෙස කළමනාකරණය කරමින් ඩඩ්ලි සේනානායක සහ ජේ. ආර් ජයවර්ධන වැනි තරුණ මන්ත්‍රීවරුන්ගේ සහයෝගය ලබමින් නිදහස් අධ්‍යාපන පනත ගෙන ඒමට එතුමා කටයුතු කළා. නමුත් ඩී .එස් සේනානායකට විරුද්ධ වීම නිසා දේශපාලනිකව විශාල වන්දියක් ගෙවීමට එතුමාට සිදු වුණා. ඒ පක්ෂය තුළ කොන් වීමෙන්. ඒ වගේම අපේ රටේ ජනතාව එතුමාට කළගුණ සැලකුවේ එතුමාව පරාජය පරාජයට ලක් කිරීමෙන්.
3. ඒ. රත්නායක
උඩරට දුම්බර ආසනය නියෝජනය කරමින් රාජ්‍ය මන්ත්‍රණ සභාවට තේරී පත්වන ඒ. රත්නායක මහතා, නිදහස් අධ්‍යාපන සටන තුළ ආචාර්ය සී. ඩබ්ලිව්. ඩබ්ලිව් කන්නන්ගර මහතාට පූර්ණ සහයෝගය ලබා දුන්නා.බොහෝ දෙනෙක් කියන්නේ ඒ. රත්නායක මහතාගේ සහයෝගය නොවන්නට සී. ඩබ්. ඩබ් කන්නන්ගර මහතාට නිදහස් අධ්‍යාපන පනත සම්මත කර ගැනීමට නොහැකි වෙන්න තිබ්බා කියලා. ඒ නිසාම ඇතැම් අය කියන විදිහට නිදහස් අධ්‍යාපනයේ පියා විදිහට ඒ. රත්නායක මහතා සලකන එකේ වැරැද්දක් නැහැ. ඒ වගේම ලංකා විශ්වවිද්‍යාලය ඇති කිරීමටත් රත්නායක මහතා පුරෝගාමීව කටයුතු කළා.
4. විජයානන්ද දහනායක
1956 සිදුවුණු දේශපාලනික පෙරළියත් එක්ක අපේ රටේ අධ්‍යාපන ඇමතිවරයා බවට පත් වුණේ විජයානන්ද දහනායක මහත්තයා. එතුමා විසින් ඊට පෙර පැවැති ශ්‍රීමත් ජෝන් කොතලාවල මහතාගේ රජය විසින් නවතාලනු ලැබූ පාසල් සිසුන් වෙනුවෙන් කිරි වීදුරුවක් ලබාදීමේ වැඩපිළිවෙල නැවතත් ආරම්භ කරනු ලැබුවා. ඊට අමතරව පාසලට පැමිණෙන දරුවන් වෙනුවෙන් බනිස් ලබාදීමේ වැඩපිළිවෙලක් ආරම්භ කළා. මේ නිසා දරුවන් එතුමාට “බනිස් මාමා” යන නම පට බඳිනු ලැබුවා. එවකට දුගී දුප්පත් සිසුන් පාසල් ඒම වැඩි කිරීමට මේ ප්‍රතිපත්ති වක්‍රාකාරයෙන් හේතුවක් වුණා.
5. ලයනල් ජයතිලක
ජේ. ආර් ජයවර්ධන මහතාගේ පාලන සමය තුළ අධ්‍යාපන සේවා අමාත්‍යවරයා විදිහට කටයුතු කරපු ලයනල් ජයතිලක මහතා විසින් නොමිලේ පෙළපොත් ලබාදීමේ වැඩපිළිවෙළක් ආරම්භ කරනු ලැබුවා. මේ මගින් අධ්‍යාපනය සඳහා දෙමව්පියන්ට වැයකළ යුතු මුදල තවත් අඩු වීම සිද්ධ වුණා. අවාසනාවකට වගේ ලයනල් ජයතිලක මහතාටත් කළගුණ සැලකුවේ දේශප්‍රේමී කියාගන්නා පිරිසක් වෙඩි උණ්ඩයක් මගින් එතුමාව නිහඬ කිරීමෙන්.
6. ලලිත් ඇතුලත්මුදලි
කවදාවත් අධ්‍යාපනය සම්බන්ධ අමාත්‍ය ධූරයක් දරන්නේ නැතිවම ලංකාවේ අධ්‍යාපනය වෙනුවෙන් විශිෂ්ටතම සේවය කරපු ඇමැතිවරයා විදිහට ලලිත් ඇතුලත්මුදලි මහත්තයාව හැඳින්නුවොත් කිසිම වැරැද්දක් නෑ. ඒ එතුමා වෙළඳ අමාත්‍යවරයා විදිහට හඳුන්වා දෙනු ලැබූ මහපොළ සංකල්පය නිසා අද දක්වාම ලංකාවේ විශ්ව විද්‍යාල සිසුන්ට ලැබෙන පිටුවහල අතිවිශාල නිසා. ලලිත් ඇතුලත්මුදලි මහතා ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන සමයේ තමන් විඳි ආර්ථික දුෂ්කරතා නිසා උසස් අධ්‍යාපනය කඩාකප්පල් වන තැනටත් තැනට වැඩ සැලසුනා. නමුත් එවකට ලංකාවේ අග්‍රාමාත්‍යවරයාව සිටි එස්. ඩබ්ලිව්. ආර්. ඩී බණ්ඩාරනායක මහතා මැදිහත් වී එතුමාට ආධාර මුදලක් ලබා දෙනු ලැබුවා. තමන්ට මුහුණ දෙන්න සිදු වුණු බාධක ලංකාවේ සරසවි සිසුන්ට යම්තාක් දුරකට හෝ මුහුණ දීම වැළැක්වීම එතුමා මහපොළ සංකල්පය හඳුන්වා දීමට එක හේතුවක් වුණා.
7. රනිල් වික්‍රමසිංහ
රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා විදිහටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා විදිහටත් අපේ රටේ බොහෝ දෙනෙක්ගේ දෙනෙක් ගේ විවේචනයට ලක් වෙලා තියෙනවා. ඒත් එතුමා මීට දශක දෙකකට වගේ කලින් අධ්‍යාපන අමාත්‍යවරයා විදිහට රටට විශාල සේවයක් කළා කියන එකට නම් බොහෝ දෙනෙක් එකඟ වෙනවා. ගුරුවරුන් පුහුණු කිරීම සඳහා විද්‍යාපීඨ ඇති කිරීමත්, වයස් සීමාවකින් තොරව ඕනෑම අයකුට උසස් අධ්‍යාපනය ලැබීමට හැකිවන පරිදි විවෘත විශ්වවිද්‍යාලය ඇති කිරීමටත්, ලංකාවේ ඉංග්‍රීසි අධ්‍යාපනය වැඩි දියුණු කිරීමටත් ඩෙලික් ආයතනය ඇති කිරීම වැනි කාර්යයන් හරහා රටේ නිදහස් අධ්‍යාපනය වැඩි දියුණු කිරීමට විශාල මෙහෙයක් මෙතුමා සිද්ධ කළා.
මේ අධ්‍යාපන ඇමතිවරුන් පිළිබඳව ඔබේ අදහස් කමෙන්ට් තීරුවේ සඳහන් කරන්න. ඒ වගේම මේ ආටිකල් එක ෂෙයාර් කරලා සහයෝගයක් ලබා දෙන්න කියන කාරුණික ඉල්ලීමත් කරන්න කැමතියි.
Leave a Reply