මතකයේ සුරැකි​ව තබාගත යුතු ලාංකීය සැබෑ වීරයෝ 7 දෙනෙක්

අපේ ජාතික වීරයෝ විදිහට සලකන්නේ නිදහස් සටනට උර දීලා කටයුතු කරපු පිරිසක්. ඒ අයව අනුස්මරණය කිරීමේ  වැඩසටහන් රාශියක් රට තුළ ක්‍රියාත්මක වෙනවා. ඒත් අපි එච්චර හිතුවෙ නැති වුණාට ජාතික වීරයෝ තරම් නොවුණත් සැබෑ වීරවරයෝ කියලා හඳුන්වන්න පුළුවන් පිරිසක් අපි අතරම ජීවත් වෙනවා. සමහර වෙලාවට ඒ අය ජීවිතය පරිත්‍යාග කරලත් තියෙනව. මේ අය ගැන සමාජයක් විදිහට අපිට ඕන්නම් වසරක් හෝ දෙකක් මතක තියෙයි. පස්සේ අපිටත් නොදැනිම අපිටත් අමතක වෙයි. මේ ආටිකල් එක ඒ වගේ වීරයන්ට උපහාරයක්ම වේවා.

 

1. සරත් කුමාර අබේසේකර 

වෘත්තියෙන් පොලිස් සැරයන්වරයෙකු වන සරත් කුමාර මහත්මයා වීරයෙක් වෙන්නේ අකාලයේ දියේ ගිලිලා නැති වෙන්න තිබුණු ජීවිත සියගණනක් බේරගත්ත උතුම් මනුෂ්‍යයෙක් විදියට. එතුමා මේ කටයුත්ත ආරම්භ කරලා තියෙන්නේ පාසල් යන කාලයේ ඉඳන්, ඒ දඬුගම් ඔයේ ගිලිලා මිය යන්න ගිය දරුවෙකු බේරා ගැනීමෙන්. පොලිස් දෙපාර්තමේන්තුවේ රාජකාරියට බැඳීමෙන් පසුව ජීවිතාරක්ෂක පුහුණුව ලබපු එතුමා මේ වෙනකොට සේවය කරන්නේ  ඒත්තුකාල වෙරළ තීරයේ. මේ මුහුදු තීරයේ ගිලිලා අකාලයේ නැති වෙන්න ගිය බොහෝ ජීවිත තමන්ගේ ජීවිතය ගැනවත් නොහිතා එතුමා බේරාගෙන තියෙනවා .

 

2. එච්. එම්. කීර්ති බණ්ඩාර

සාමාන්‍ය බස් රථ රියදුරන් පිළිබඳව අපේ රටේ ජනතාව තුළ ඇත්තේ එතරම් ප්‍රසන්න හැඟීමක් නම් නෙමෙයි. බොහෝ විට මග මරුවෝ කියලා අවඥා සහගත විදිහට ඔවුන්ව හඳුන්වා දෙනු ලබනවා. නමුත් මීට වසරකට පෙර බස් රථයේ ගමන්ගත් මගීන් පිරිසගේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කොට තමන්ගේ ජීවිතය පරිත්‍යාග කළ බෝධිසත්ව රියදුරු මහතෙකු පිළිබඳව අපිට අහන්න ලැබුණා. එතුමා නමින් එච්. එම් කීර්ති බණ්ඩාර. හපුතලේ ප්‍රදේශයේ කඳු සහ පල්ලම් සහිත මාර්ගයක ගමන් කරද්දී හදිසියේ තිරිංග විරහිත වීම නිසා ගමන්ගත් මගීන් විසි දෙදෙනාගේ ආරක්ෂාව වෙනුවෙන් බස්රථය ගල් පර්වතයක කපවා ගැනීමට කීර්ති බණ්ඩාර මහතා ක්‍රියා කළා. මගීන්ගේ ජීවිත ආරක්ෂා වුණත් එතුමාට එතුමාගේ ජීවිතය අහිමි වුණා.

 

3. එච්. ජී නුවන් කුමාර, යූ. ආර්. එස් නයනප්‍රිය සම්පත්, කේ. සුජීවන්, ජේ. ආර්. යූ කීර්තිසේන

මොන මොන අඩුපාඩුකම් තිබ්බත් අපි සතුන්ට පවා මෛත්‍රිය කරුණාව දක්වන ජාතියක් විදිහට ලෝක ප්‍රසිද්ධයි. අපි ඉහත නම් සඳහන් කරලා තියෙන හතර දෙනා වීරයන් බවට පත් වෙන්නේ තිරිසන් සතෙකුගේ ජීවිතය බේරාගැනීමට ඔවුන් තමන්ගේ ජීවිතය ගැනවත් නොසිතා කළ කැප කිරීම නිසයි. වසර කිහිපයකට පෙර ජීවිතාරක්ෂක  සේවයට අනුයුක්තව සිටි අතර දැනගන්නට ලැබෙනවා, අලියෙක් අම්බලන්ඔය වැවේ ගිලෙමින් ඉන්නවා කියලා. මේ හතර දෙනා ගේ මැදිහත් වීම නිසා අවසානයේදී අලියා බේරාගැනීමට අවස්ථාව ලැබුණා.

 

4. ඇසළ ජයසිංහ

ගල්ගමුව ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවක ආරක්ෂක නිලධාරියෙක් විදිහට සේවය කරපු ඇසළට නිසි පරිදි  රාජකාරිය කිරීම නිසා තමන්ට ජීවිතයෙන් පවා වන්දි ගෙවන්න වෙයි කියලා කවදාවත් හිතෙන්නේ නැතිව ඇති. බැංකුව කොල්ල කෑමට ආපු මංකොල්ලකාරයෙක් එක්ක පොර බැදීමට ගිය ඇසළගෙන් බේරෙන්න බෑ කියලා වටහාගත්ත කොල්ලකාරයා තමන් ගාව තිබ්බ අත් බෝම්බයක් පුපුරවා ගන්නවා. මේ නිසා මංකොල්ලකාරයාට වගේම ඇසළටත් ජීවිතය අහිමි වෙනවා.

 

5. ඒ. එම් ගාමිණි මුණසිංහ

අපේ සමාජය ඇතුළේ විශිෂ්ට දානපතීන් සලකන්නේ වෙස්සන්තරලා විදිහට. ගාමිණි මුණසිංහ කියන්නෙත් අපේ කාලේ වෙස්සන්තර කෙනෙක්. එතුමා තමන්ගේ නිවස උගස් කරලා නිකවැරටිය රෝහලට අවශ්‍ය දැඩි සත්කාර ඒකකයක් හදලා දෙනවා. මේ හරහා රෝගීන්ට සැලසෙන සේවය ගැන විශේෂයෙන් කියන්න ඕන කියලා අපි හිතන්නේ නෑ.

 

6. සප්තලා රණසිංහ

ඔබට “පාරමී කුලතුංග ” කියන නම මතකද? මේජර් ජනරාල් පාරමී කුලතුංග කියන්නේ රණබිමේ දක්ෂතා දක්වපු අති විශිෂ්ටයෙක්. මේ නිසා එතුමාව එල්.ටී.ටී.ඊ ඝාතන ලැයිස්තුවේ මුලට හිටියා. පන්නිපිටි​ය ප්‍රදේශයේදී එල්.ටී.ටී.ඊය මරාගෙන මැරෙන යතුරුපැදිකරුවෙකු භාවිතා කරමින් එතුමා ඇතුළු ආරක්ෂක නිලධාරීන් කීපදෙනෙක්ට ප්‍රහාරයක් එල්ල කළා. මේ වෙලාවේදී වටපිට අය වික්ෂිප්ත වෙලා ඉද්දි “සප්තලා රණසිංහ” තුවාල ලැබූ පිරිස ජාතික රෝහල වෙත ගෙන යෑමට කටයුතු කළා. නමුත් අවාසනාවකට වගේ ඒ අවස්ථාවේ පාරමී කුලතුංග මහතාගේ ජීවිතය අහිමි වූ හෙයින් එල්.ටී.ටී.ඊය ජයග්‍රහණය කළා.

 

7. රමේෂ් රාජූ 

පසුගියදා සිදූ වූ පාස්කු බෝම්බ ප්‍රහාරයේදී මඩකලපුවේ Zion දේවස්ථානයට  බෝම්බකරු ඇතුළුවීම වැළැක්විමට එක් පුද්ගලයෙකු ක්‍රියාකර තිබුණා. ඔහු නමින් රමේෂ් රාජූ. මේ පුද්ගලයා මරාගෙන මැරෙන බෝම්බකරුවෙක් කියලා රමේෂ් හිතන්නේ නැතුව ඇති. ඒත් දිගු කාලයක් යුද්ධය එක්ක ජීවත් වුණු රමේෂ්ට ඉවෙන් වගේ ඔහුව වළක්වන්න හිතෙන්න ඇති. ප්‍රහාරයෙන් රමේෂ් මියගියත් දේව මෙහෙයට සහභාගී වෙමින් හිටපු රමේෂ්ගේ පවුලේ පිරිස ඇතුළු බැතිමතුන් සිය ගාණකගේ ජීවිත බේරුණා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *