අපි මීට කලින් කථා කළා ලීක් වුනොත් මොකද කරන්නේ කියන එක. මේ ලීක් වෙනවා කියලා කියන්නේ අපේ ලිංගික දර්ශන, නිරුවත් හෝ අඩ නිරුවත් ඡායාරූප හෝ වීඩියෝ තුන්වන පාර්ශවයක් අතට යන එක හරි, එතනින් වයිරල් වෙලා මිනිස්සු අතරේ හෝ අන්තර්ජාලය තුළ පැතිරිලා යන එක හරි ගැන තමයි. මෑත කාලේදී එහෙම ලීක් වුණු වීඩියෝ කීපයක් නිසා මේ ලීක් වීම ගැන සෑහෙන්න කථාබහ පැතිරුනා. හරි. සෙක්ස් කරන එක කිසිසේත්ම නරක දෙයක් නෙවෙයි. කෙනෙක්ට අනික් මිනිස්සුන්ට බලන්නට සැලැස්වීමේ වුවමනාව වෙනුවෙන්ම සෙක්ස් ටේප් එකක් හරි සෙක්සි ෆොටෝ ෂූට් එකක් හරි කරන්න ඕන වුනත් ඒකත් ප්‍රශ්නයක් නෙවෙයි. හැබැයි තමන්ගේ අනුදැනුමෙන් තොරව, තමන්ගේ කැමැත්තකින් තොරව තමන්ගේ ලිංගික දර්ශන වෙනත් පාර්ශවයන් සහ සමහර වෙලාවට මුළු රටක්ම දකින එක ප්‍රශ්නයක් කියන එක පිළිගන්න වෙනවා. එහෙම ප්‍රශ්නයක් වුනහම මොකද කරන්නේ කියන එක කලින් කිවුවා වගේම, අද අපි කථා කරන්න ලෑස්තියි එහෙම ලීක් නොවෙන්න නම් ගන්න ඕන ආරක්ෂක ක්‍රියාමාර්ග ගැන!
1. විශ්වාසවන්ත සහකරුවෝ
මේකනේ පළවෙනිම කාරණාව. සෙක්ස් කරන එක වීඩියෝ කළා හෝ නොකළා හෝ අපි ඒ වැඩේට තෝරගන්න ඕනා අතිශයින්ම විශ්වාසවන්ත සහකරුවෙක්. ඒකට හේතුව තමයි, අපි ආදරේ හින්දම යවන ෆොටෝ එකක් වුනත් අන්තර්ජාලේ නතර වෙන්න පුළුවන් අපිට විශ්වාස කරන්න බැරි ඩයල් එකක් එක්ක පෙම් කෙලින්න ගියොත්. ආන්න ඒ නිසා ලීක් නොවෙන්න නම් ලීක් කරන්නේ නැහැයි කියලා ෂුවර් කරන්න පුළුවන් අයත් එක්ක ලව් හරි සෙක්ස් හරි දෙකම හරි කරන්නයි තියෙන්නේ. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මිනිස්සුන්ව කාලා බලන්න බැහැනේ. ආන්න ඒ නිසා ඔය විශ්වාසේ කියන එක දවස් දෙකක් චැට් කරපු පලියට ගොඩනගා ගන්න යන්න නම් එපා. වන් නයිට් ස්ටෑන්ඩ් වගේ සීන් එකක් ඕනම නම්, ඒක මෙතනින් එහාට අපි කියන කරුණු කාරණා වලට අනුව ක්‍රියා කරලා අවදානම අඩු කරගන්නයි තියෙන්නේ!
2. පෙන් ඩ්‍රයිව් වල ඔව්වා දාගෙන යන්න පිස්සුද අයිෂේ?
ඇත්තටම ඔය ලීක් වෙන්න තියෙන ප්‍රධාන හේතුවක් තමයි, සෙක්ස් කරලා එව්වා රෙකෝඩ් කරන උන්දැලාගෙත්, ආදරේ වැඩි හින්දා නියුඩ්ස් යවන උන්දැලාගේත් තාක්ෂණික සාක්ෂරතාවය පහේ පංතියේ වීම. ඒ කියන්නේ මෙහෙම රෙකෝඩ් කරන සංවේදී දේවල් තියාගන්නේ එක්කෝ ෆෝන් එකේ ගැලරියේ. එහෙම නැතිනම් පෙන් ඩ්‍රයිව් එකක. එහෙමත් නැතිනම් සීඩී එකක වගේ තැන්වල. හැබැයි ඔය හැම දෙයක්ම බොහොම පහසුවෙන් අස්ථානගත වෙන්න පුළුවන්, තවත් කෙනෙක් අතට යන්න පුළුවන් දේවල්. ආන්න ඒ නිසා සෙක්ස් කරලා රෙකෝඩ් කළාට කමක් නෑ. එව්වා පෙන් ඩ්‍රයිව් වල දාගෙන අරගෙන යනවා වගේ මැටිමෝල් දේවල් කරන්න එපා කරුණාකරලා!
3. ලේසියට වඩා ආරක්ෂාව
තව සමහරු ඉන්නවා ඔය “පුද්ගලික ප්‍රයෝජනයට” රෙකෝඩ් කරගත්තු සෙක්ස් සීන් ටික දවසකට දෙකකට සැරයක්වත් “පුද්ගලික ප්‍රයෝජනයට” ගන්න. එහෙම ලේසියට ගන්න කියලා එක්කෝ ෆෝන් එකේ නිකම්ම ගැලරියේ ෆෝල්ඩර් එකක් හදලා දාලා තියෙනවා. එහෙම නැතිනම් කම්පියුටර් එකේ ඩෙස්ක්ටොප් එකේම දාලා තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ ඔය ලේසිය ආපිට පත්තු වෙන්නත් පුළුවන්, වෙන කෙනෙක් කම්පියුටර් එක හරි ෆෝන් එක හරි ගත්තු වෙලාවක. ෆෝන් එහෙමනම් නැති වෙන්නත් පුළුවන්. අපි ඔය උඩින් කියන්නෙත් මීට සමාන දෙයක් ගැන. ආන්න ඒ නිසා ලේසිය පැත්තකින් තියලා ආරක්ෂාව ගැන හිතන්න ඕන. දවස් පතා ඔය ෆොටෝ සහ වීඩියෝ එහෙම ”පුද්ගලික ප්‍රයෝජනයට” ගත්තත්, එතකොට වැඩි ආරක්ෂාවකට එව්වා ආරක්ෂිතව හංගලා තියෙන එක වාතයක් වුනත්, තමන්ගේ සෙක්ස් සීන් ලෝකෙම බලනවට වඩා ඒ කරදර වීම වටිනවා!
4. එහෙමනම් කොහේද තියාගන්නේ?
සරලයි සහ සංකීර්ණයි. තමන්ගේ සෙන්සිටිව් දේවල් හංගලා තියාගන්නම හදාපු විවිධ උපක්‍රම දැන් කාලේ තියෙනවා. ඔය ෆෝල්ඩර් ලොක් වගේ සොෆ්ට්වෙයාර් වල ඉඳලා Cryptainer 12 වගේ නොමිලේම ලබාගන්න පුළුවන් මෘදුකාංග වලින් තමන්ගේ සංවේදී දත්ත වෙන කෙනෙක්ට ගන්න බැරිවෙන්න හංගන්න පුළුවන්. සමහර වෙලාවට නවීන ස්මාට්ෆෝන් වලත් කාටවත් හොයන්න බැරි “ආරක්ෂිත සේප්පු” යෙදුම් ෆෝන් එකේ සිස්ටම් එකේම එනවා. ඒ නැතත් ඒ වැඩේ කරන්න පුළුවන් ආරක්ෂිත යෙදුම් ඕන තරම් තියෙනවා.
හැබැයි එකක්. ඔය ක්ලවුඩ් බේස් ආරක්ෂිත යෙදුම් වලට එහෙම හොරු පැන්නහම අපේ තියෙන සංවේදී දර්ශනත් ඕන නම් හොරකං කරන්න පුළුවන්. අන්න ඒ නිසා හොඳම දේ තමයි තමන්ගේ කම්පියුටරේ හරි ෆෝන් එකේ හරි තියෙන අන්තර්ගතයන් එන්ක්‍රිප්ට් කරලා ආරක්ෂා කරන්න පුළුවන් හොඳ සොෆ්ට්වෙයාර්, ඇප්ස් එහෙම පාවිච්චි කරන එක.
ඒ වගේම තමන්ගේ ෆෝන් එකට, කම්පියුටරේට දෙයියන්ගේ නාමෙට හොඳ මුරපද දාලා තියාගන්න. තමන්ගේ පාට්නර්වත් එහෙම ආරක්ෂිත පියවර ගන්න උනන්දු කරවන්න!
5. කාමරේ කැමරා එහෙම තියෙනවද?
මේ කාරණාව ගොඩක් දෙනෙක් හිතන්නේ හොටෙල් රූම් එකකට යනකොට විතරක් වැදගත් වෙන දෙයක් කියලා. එහෙම නෑ. අර අපි පළමුවෙනියටම කියපු කාරණාව හරියන්න හෝ වරදින්න පුළුවන් නේ. ඒ කියන්නේ අපිට ආදරේ නිසා මාරම විශ්වාසවන්තයි කියලා දැනෙන කෙනෙක් ඇත්තටම විශ්වාසවන්ත නොවෙන්න පුළුවන්. ආන්න එහෙම මොහොතක අපිත් එක්ක සෙක්ස් කරන්න යන සහකරුවා වුනත් අපිට නොදැනෙන්න සීන් එක වීඩියෝ කරන්න ඉඩ තියෙනවා. ඒ නැතත් ෂුවර් නැති තැනකට යනවා නම් කාමරේ කැමරා එහෙම සෙට් කරලා තියෙනවද කියන එක පොඩ්ඩක් හොයලා බලන එක වටිනවා. සාමාන්‍යයෙන් ඔය CIA එකේ වගේ පේන්නේ නැති තරම් චූටි ස්පයි කැමරා ඕවලට ගන්නෙ නැහැනේ. හැබැයි පොඩි ප්‍රමාණේ වෙබ් කැම් එහෙම දැන් තියෙනවා. අන්න ඒ නිසා ඇඳට ෆෝකස් වෙන්න තියලා තියෙන ලැප්ටොප්, ෆෝන් එහෙම ගැන සැලකිලිමත් වෙන එක හොඳයි. එතකොට ඔය ෆොටෝස් පිටිපස්සේ, බිත්තියේ තියෙන බල්බ් පිටිපස්සේ එහෙමත් පොඩ්ඩක් සැලකිල්ලෙන් බැලුවට කමක් නෑ.
6. හරි විදියේ තැනකට යන්න!
මෙතනදී හරි විදියේ තැනක් කියලා අපි කියන්නේ හොටෙල් රූම් එකකට, ගෙස්ට් හවුස් එකකට යනවා නම් හොඳ තැනක් තෝරගන්න කියන එක තමයි. විශේෂයෙන්ම තමන් තෝරගන්න තැන ටුවරිස්ට් බෝඩ් එකේ ලියාපදිංචි තැනක්ද කියලා හොයා බලන එක වටිනවා. එහෙම ලියාපදිංචි වුණු තැන් වල සංචාරක මණ්ඩලයේ ලියාපදිංචිය තියෙනවා කියලා ගහලත් තියෙනවා. අනෙක් අතට ඔය Booking.com වගේ වෙබ් සයිට් එකකින් හොයාගන්න තැනක් නම්, වඩාත් ඉහළ රේටින්ග්ස් තියෙන, හොඳ රිවීව්ස් තියෙන ෂුවර් කියලා පේන තැනක් හොයන එක හොඳයි. ඒක අමාරු නෑ. ටිකක් හොයලා බලන්න තමයි තියෙන්නේ. හැබැයි අඩු ගාණට තියෙන, මෙලෝ කොලිටියක් නැති තැන්වලට නම් යන්න එපාම කියලා තමයි අපි කියන්නේ.
7. ප්‍රවේසමෙන් මේ විදියට පරිහරණය කරන්න!
ඇත්තටම ලව් කරන දෙන්නෙක් අතරේ තමන්ගේ නියුඩ්ස්, සෙක්ස් වීඩියෝස් එහෙම හුවමාරු කරගන්න එපා කියලා අපිට කියන්න බැහැ. මොකද සමහර දුරස්ථ සම්බන්ධතා එහෙම දුවන්නේම සමහර වෙලාවට ඔව්වා මතනේ. ආන්න ඒ නිසා අපි කියන්නේ ඔය නියුඩ්ස් අනං මනං හුවමාරු කරගන්න වඩාත් ආරක්ෂිත ක්‍රම පාවිච්චි කරන්න කියලා. ෆේස්බුක් මැසෙන්ජර් එකේ, වට්ස්ඇප් එකේ එවනවට වඩා ආරක්ෂිත ක්‍රමවේදයන්. වට්සැප් වලා එන්ඩ් ටු එන්ඩ් ඩික්රිප්ෂන් තියෙන නිසා යම්තාක් දුරකට ආරක්ෂිත වුනත්, කෙනෙක්ට ඕන නම් අපේ ෆෝන් එක අරගෙන ඒකේ වට්සැප් එකේ තියෙන දේවල් බලන්න සහ කොපි කරගන්න පුළුවන්නේ. උදාහරණයක් විදියට DiscKreet වගේ ඇප් එකක් පාවිච්චි කරන එක ආරක්ෂිතයි කියන්න පුළුවන්.
8. ඔයා කියන මනුස්සයව හැක් කරන්න දෙන්න එපා!
මෙන්න තවත් වැදගත් කාරණාවක්. ඉලෙක්ට්‍රොනික් උපාංග වගේම මිනිස්සුන්වත් හැක් කරන්න පුළුවන්. ඒ කියන්නේ මිනිස්සුන් එක්ක කතා කරනකොට එහෙම සමහර අතිශය සංවේදී දේවලුත් කටින් පනිනවා. සමහරු බොන්න දීලා දේවල් දැනගන්නවා. තවත් සමහරු පුරසාරං කියන්න දක්ෂයි. “අර අහවලා මාත් එක්ක සෙක්ස් කළා” කියලා පුරසාරං කියලා, ඒක ඔප්පු කරන්න රෙකෝඩ් කරපු සෙක්ස් සීන් එකත් යාලුවන්ට පෙන්නන ජාතියේ හාදයෝ ඉන්නවා. ආන්න ඒ විදියේ මිනිස්සු වෙන්න එපා. තමන් තවත් කෙනෙක් එක්ක පවත්වන ලිංගික සමබන්ධතාවයක් කියන්නේ පුද්ගලික දෙයක් කියන එක ඔලුවේ තියාගන්න. ඒක පුරසාරං, පොර ටෝක් දෙන්න දෙයක්වත්, අනික් අයව දැනුවත් කරන්න ඕන දෙයක්වත් නෙවෙයි.
දැන් කට්ටිය බලනවා ඇති ඇයි සෙක්ස් සීන් ලීක් වෙන එක ලේසියෙන්ම වළක්වා ගන්න පුළුවන් ක්‍රමේ මේකේ ලියලා නැත්තේ කියලා. ඒ කියන්නේ සෙක්ස් සීන් රෙකෝඩ් කරන්නේ හරි, ෆොටෝ ගන්නේ හරි නැතුව ඉන්න එක! ඔව්, ලීක් වෙන එක වළක්වාගන්න ලේසිම ක්‍රමේ ඒක තමයි. ලීක් වෙන්න දෙයක් නැති නම් බය වෙන්න දේකුත් නැහැනේ. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. සමහරු තමන්ගේ සෙක්ස් සීන් රෙකෝඩ් කරන්නේ ඒකත් එක්තරා විදියට ලිංගික ආශාවක් නිසා. සමහරු පස්සේ බලලා සතුටු වෙන්නත් එහෙම සෙක්ස් සීන් රෙකෝඩ් කරනවා. ඉතින් අපිට ඒක හරි හෝ වැරදියි කියලා කියන්න බැහැ. අපිට කියන්න පුළුවන් වෙන්නේ ඒකේ අවදානමක් තියෙනවා කියලා විතරයි. ආන්න ඒ නිසා අපි ලීක් වෙන එක වළක්වන්න, ලීක් වෙන අවදානම පුළුවන් තරම් අවම කිරීම වෙනුවෙන් කරන්න පුළුවන් දේවල් තමයි උඩ කියලා තියෙන්නේ!
එහෙමනම්, හැමෝම ලීක් කරගන්නේ නැතුව ඕන දෙයක්!!
Leave a Reply