වකුගඩුවක් විකුණලා හරි අලුත්ම අයිෆෝන් 11 එක ගන්න ඕනද? එහෙමනම් ඊට කලින් මේ විස්තර කියවන්න

ඇපල් ලෝලියෝ කියන විදියට මේ ලෝකේ ඉන්නේ මිනිස්සු වර්ග දෙකයි. එකක් ඇපල් අයිෆෝන් පාවිච්චි කරන උදවිය. අනෙක් කොටස ඇපල් අයිෆෝන් පාවිච්චි නොකරන උදවිය. එහෙම කියනකොටම හිතාගන්න පුළුවන්නේ අයිෆෝන් එකක් තමන් සතුව තියෙන එක කොයි තරම් සමාජ තත්ත්වයක්ද කියලා ඇපල් ලෝලීන් සලකනවද කියන එක. හැබැයි ඒකේ පොඩි ඇත්තකුත් තියෙනවා. එක්තරා කාලෙකදී ස්මාට්ෆෝන් කියලා දෙයක් සමාජගත කළේ අයිෆෝන් එක. එතකොට ඔය මෑතකාලීනව ආපු Notch ඩිසයින් එක වගේ ස්මාට්ෆෝන් එකේ පෙනුමට අදාළ විප්ලවීය වෙනස්කම් මුලින්ම ලෝකෙට ගෙනාවෙත් ඇපල් අයිෆෝන් එක. ඉතින් ඇපල් අයිෆෝන් එකක් පාවිච්චි කරනවා කියන්නේ පාවිච්චි කරන්නාට ලැබෙන වෙනස්ම විදියේ සමාජ තත්ත්වයක් කියන එක අපිට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ පිළිගන්න සිද්ධ වෙනවා. ඉතින් මේ නිසා තමයි ඇපල් අයිෆෝන් කොයි තරම් විකාර විදියට ගණන් වැඩි වුනත්, මිනිස්සු අලුත්ම අයිෆෝන් එක ගන්න පොරකන්නේ.

හරි, මේ වෙනකොට ඇපල් ලෝකේ කැළඹිලා තියෙන්නේ අලුත්ම iPhone 11 එකත් එක්ක. ඉතින් ඔබත් ඇපල් ලෝලියෙක් නම්, iPhone 11 හරි iPhone 11Pro හරි iPhone 11 Pro Max හරි ගන්න ඕන ඇයි කියන එකට කරුණු කාරණා ටිකක් තමයි මේ සඳහන් කරන්න යන්නේ!

 

1. අයිෆෝන් 11 ඩිසයින් එක

ගොඩක් දෙනෙක් එක පාරටම කියන්නේ අයියෝ අර පරණ තඩි notch එකත් එක්ක නේද iPhone 11 ඇවිත් තියෙන්නේ කියලා. හැබැයි අමතක කරන්න එපා, ඔය notch ඩිසයින් එක ලෝකෙට ගෙනාවෙත් අයිෆෝන් එකම තමයි. iPhone 11 එක අඟල් 6.1 ක Liquid Retina IPS LCD තිරයක් ඉදිරිපත් කරනකොට, iPhone 11 Pro Max එක අඟල් 6.5 ක Super Retina XDR OLED තිරයක් ලබාදෙනවා. හැබැයි iPhone 11Pro එකේ Super Retina XDR OLED තිරය අඟල් 5.8යි.

අයිෆෝන් එකේ තියෙන ඉහළ කොලිටියේ නිමාව මෙතනදීත් වෙනසක් වෙලා නැහැ. විශේෂයෙන්ම පසුපස වීදුරු පැනලය සහ කැමරා පිහිටුවලා තියෙන ආකාරයත් ඇපල් ලෝලියෙක්ට මේ ගැන ලොකු ආකර්ෂණයක් ඇති කරනවාට සැකයක් නැහැ. ඒ වගේම තිරයේ තියෙන සුපැහැදිලිතාවය සහ දීප්තිමත් වර්ණ දැක්වීම වෙනත් ස්මාට්ෆෝනයකට ඉරිසියා හිතෙන තරම්.

 

2. බලවත් ස්මාට්ෆෝන් එකක්

ස්මාට්ෆෝන් එකක බලවන්ත කම තීරණය වෙන්නේ ඒකේ දෘඩාංග, මෙහෙයුම් පද්ධතිය සහ ඒ දෘඩාංග/මෘදුකාංග පද්ධතිය ස්මාට්ෆෝන් එකෙන් භාවිතා කරන විදිය අනුව. ඉතින් අයිෆෝන් 11 එකේ දෘඩාංග ඉහළ මට්ටමක තිබුණත්, විශේෂත්වය වෙන්නේ මේ දෘඩාංග වල උපරිම හැකියාව අයිෆෝන් 11 උපාංගය ලබාගැනීම. මේක සාමාන්‍යයෙන් අයිෆෝන් එකක් පාවිච්චි කරන කෙනෙක් දන්න දෙයක්. උදාහරණයක් විදියට කිවුවොත්, iPhone 11, 11 Pro, 11 Pro Max කියන උපාංග තුනේ හැම සංස්කරණයකම රැම් මතකය ගිගාබයිට් 4 යි. ඒත් දැන් එන මධ්‍යම පරාසයේ ස්මාට්ෆෝනයක වුනත් ලේසියෙන්ම ගිගාබයිට් 4 ක රැම් එකක් තියෙනවා. ඒත් ඇපල් අයිෆෝන් 11 එක පාවිච්චි කරනකොට ලැබෙන වේගය සහ කාර්‍යක්ෂමතාවය එක්ක, ගිගාබයිට් 4 ක රැම් මතකයක් හොඳටම ප්‍රමාණවත් කියලා දැනෙනවා. හිතලා බලන්න, කවද්ද අන්තිමට අයිෆෝන් එකක් ස්ටක් වුනේ?

මීට අමතරව ගත්තොත් මේ අයිෆෝන් 11 සංස්කරණ තුනේ අභ්‍යන්තර මතක ධාරිතා කීපයක්ම තෝරගන්න තියෙනවා. ඒවා ගිගාබයිට් 64 ඉඳලා ගිගාබයිට් 512 දක්වා වෙනස් වෙනවා. එතකොට නැනෝමීටර් 7 ක Apple A13 Bionic Hexa-core ප්‍රොසෙසරයක් සහ කෝර් 4 ක Apple ග්‍රැෆික් ප්‍රොසෙසරයක් මේ හැම එකකම තියෙනවා. බාහිර මතකය එකතු කරන්න හැකියාවක් නැහැ. විශේෂයෙන්ම මේ ප්‍රොසෙසරයේ බලවන්තකම නිසා අයිෆෝන් 11 උපාංග දැනට වෙළෙඳපොළේ තියෙන ප්‍රබලම ඉහළ පරාසයේ ස්මාට්ෆෝන් එක්ක තරග කරනු ඇති.

 

3. iOS 13 මෙහෙයුම් පද්ධතිය

ඇපල් අයිෆෝන් වල මෙහෙයුම් පද්ධතිය වෙන iOS එකේ යාවත්කාලීනයක් එනවා කියන්නේ ඇපල් ලෝලීන්ට නත්තල් එනවා වගේ සීන් එකක්. හැබැයි ඒකට හොඳ හේතුත් තියෙනවා. උදාහරණයක් විදියට කිවුවොත් අයිෆෝන් 11 එකේ එන නවතම iOS 13 මෙහෙයුම් පද්ධතිය මගින් සුවිශේෂී හැකියාවන් ගණනාවක්ම අයිෆෝන් එකට ලබාදීලා තියෙනවා. දැන් ඇපල් මැප්ස් පාවිච්චි කරන කෙනෙක්ට වෙනත් කෙනෙක් එක්ක තමන් ඉන්න ලොකේෂන් එක විතරක් නෙවෙයි, තමන්ට ඒ කෙනා ඉන්න තැනට එන්න යන ඇස්තමේන්තුගත වෙලාවත් ෂෙයාර් කරන්න පුළුවන්. එතකොට ඕඩියෝ ෂෙයාරින් පහසුකම් ඉහළ මට්ටමකට වැඩි දියුණු කෙරිලා තියෙනවා. ඇපල් ස්මාට් ඩිජිටල් සහකරු වෙන සිරී තවත් දියුණු වෙලා තියෙනවා. ඡායාරූප තැන්පතුව එහෙමත් තව දියුණු කෙරිලා, ස්මාට් ෆොටෝ ප්‍රිවීව් හැකියාවක් එකතු කෙරිලා, ඇනිමේෂන් එහෙමත් එකතු කරලා තියෙනවා. මීට අමතරව පුද්ගලිකත්වය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් සහ අයිෆෝන් එකේ සහ දත්ත වල ආරක්ෂාව සම්බන්ධයෙනුත් ඉහළ වැඩිදියුණු කිරීම් ලබාදීලා තියෙනවා. මීට අමතරව මැසේජින්, රිමයින්ඩර්ස් වගේ හැම දෙයකම කැපිලා පේන දියුණුවක් තියෙනවා අලුත් iOS 13 යාවත්කාලීනයත් එක්ක.

 

4. ඩාර්ක් මෝඩ්

මේ දවස් වල තාක්ෂණික ලෝකේ තියෙන විශේෂ උනන්දුවක් තමයි Dark mode කියන්නේ. මේකෙන් සරලවම කෙරෙන්නේ පරිශීලක අතුරු මුහුණතේ තියෙන දීප්තිමත් වර්ණ අඳුරු වර්ණයකට හරවන එක. හැබැයි එතනින් ඉවර නැහැ. ඩාර්ක් මෝඩ් එක අපේ ඇස් වලටත්, ස්මාට්ෆෝන් එකේ බැටරියටත් ඉතාම හිතකරයි. ඉතින් ඒ වගේ ඉහළ ප්‍රතිඵල තියෙන ඩාර්ක් මෝඩ් එක දැන් අයිෆෝන් 11 එකත් එක්ක සම්පූර්ණයෙන්ම අත්විඳින්න පුළුවන්. මේකෙන් ඉතාම ආකර්ෂණීය පෙනුමක් සහිත පරිශීලක අතුරු මුහුණතක් ලැබෙනවා විතරක් නෙවෙයි, සමස්ත පද්ධතියේ බල පරිභෝජනයත් අඩු කරලා දෙනවා. විශේෂයෙන්ම මේක මෙහෙයුම් පද්ධතියත් එක්කම එන විශේෂාංගයක් නිසා සිස්ටම් ලෙවල් එකේ ඉඳලා සම්පූර්ණ මෙහෙයුම් පද්ධතිය පුරාවටම ඩාක් මෝඩ් එක පාවිච්චි කරන්න හැකියාව ලැබිලා තියෙනවා.

 

5. කැමරා පද්ධතිය

ඇත්තටම අයිෆෝන් 11 එක්ක ගොඩක් දෙනෙක් කථා කරන්නේ මේකේ තියෙන කුතුහලය දනවන විදියේ කැමරා පද්ධති පිහිටුවීම ගැන. විශේෂයෙන්ම iPhone 11 Pro සහ iPhone 11 Pro Max සංස්කරණ වල තියෙන කැමරා තුනක සෙටප් එක සෑහෙන්න ඇපල් ලෝලීන්ව ආකර්ෂණය කරගන්න සමත් වෙලා තියෙනවා.

iPhone 11 එකේ තියෙන්නේ මෙගාපික්සල් 12 ක වයිඩ් PDAF කැමරා සෙන්සර් එකකුයි, මෙගාපික්සල් 12 ක අල්ට්‍රා වයිඩ් සෙන්සර් එකකුයි විතරයි. හැබැයි iPhone 11 Pro සහ iPhone 11 Pro Max සංස්කරණ දෙකේ උඩින් කියපු කැමරා සෙන්සර් දෙකට අමතරව මෙගාපික්සල් 12 ක ටෙලිෆොටෝ කැමරා සෙන්සරයකුත් අඩංගු වෙනවා. මේ අමතර සෙන්සරයට 2X සූම් හැකියාවකුත් තියෙනවා.

ඇපල් අයිෆෝන් එකකින් ෆොටෝස් අරගෙන තියෙන අය දන්නවා, අයිෆෝන් එකේ කැමරා පද්ධතියෙන් ෆොටෝ ගන්න තියෙන ටැලන්ට් එකට ලබාදෙන බූස්ට් එක ගැන. හැබැයි එහෙම ෆොටෝග්‍රැෆි හැකියාවක් නැති මනුස්සයෙක්ට වුනත් බොහොම ආකර්ෂණීය ඡායාරූප ගන්න අවස්ථාව ලබාදෙන ෆිල්ටර්ස් සහ සෙටින්ග්ස් ඇපල් කැමරා පද්ධතියේ තියෙනවා. 

ඒ එක්කම අනෙක් ස්මාට්ෆෝන් වල ලේසියෙන් දකින්න නොලැබෙන අලුත් අලුත් හැකියාවන් එහෙමත් අයිෆෝන් එකත් එක්ක අඳුන්වලා දෙන්න ඇපල් සමාගම දක්ෂයි. හොඳම උදාහරණය තමයි අයිෆෝන් 11 එකත් එක්ක හඳුන්වලා දීලා තියෙන ස්ලෝ මෝෂන් සෙල්ෆි වීඩියෝ හැකියාව. හිතලා බලන්න මේ ෆීචර් එක ඉන්ස්ටග්‍රෑම් එකට කොහොම ප්‍රයෝජනවත් වෙයිද කියලා!

 

6. බැටරි ලයිෆ් එක

සැකයක් නැතුවම අයිෆෝන් ගත්තහම අයිෆෝන් 11 එකේ තමයි ඉහළම සඵලතාවයක් තියෙන බැටරි පද්ධතිය තියෙන්නේ කියලා කියන්න පුළුවන්. මෙතන ඇත්තටම තියෙන්නේ බැටරියේ ධාරිතාව ලොකු වීමක්ම නෙවෙයි. ඊට වඩා අලුත් සිස්ටම් එක සෑහෙන්න හොඳ කළමනාකරණයකින් බැටරි බලය භාවිතා කිරීමක් තමයි තියෙන්නේ. උදාහරණයක් විදියට ගත්තොත් 3D Touch වගේ හැකියාවන් එක්ක වුනත් වඩා දීර්ඝ කාලයක් අයිෆෝන් 11 බැටරිය බහින්නේ නැතුව තියෙනවා.

 

7. අනෙක් වැඩි දියුණු කළ සහ අලුතින් හඳුන්වා දුන් විශේෂාංග

HomeKit කියන්නේ ඇපල් අයිෆෝන් 11 එකේ තියෙන හැකියාවන් එකතුවක්. උදාහරණයක් විදියට HomeKit Secure Video හැකියාව පාවිච්චි කරලා විශේෂ ක්‍රියාකාරකමක් හඳුනාගෙන රෙකෝඩ් කරන්න පුළුවන්. මේ විශේෂ ක්‍රියාකාරකම මිනිස්සු, සත්තු, වාහන වගේ ඕනම එකක් වෙන්න පුළුවන්. ඒක සුරක්ෂිතව iCloud එකේ සේව් වෙනවා. එතකොට ඒ වගේ තවත් හැකියාවන් කිහිපයක්ම HomeKit යටතේ දැකගන්න පුළුවන්.

ඇපල් අයිෆෝන් 11 එකේ FaceID පහසුකමත් වැඩි දියුණු කෙරිලා තියෙනවා. දැන් මුහුණ හඳුනාගෙන ඒ ආශ්‍රයෙන් බයෝමෙට්‍රික් අගුලක් අරින එක තවත් වේගවත්.

ඒ වගේම අයිෆෝන් 11 එකත් එක්ක තත්‍යාසන්න යථාර්තයේ අත්දැකීම් වලටත් සහායක් තියෙනවා. උදාහරණයක් විදියට තත්‍යාසන්න යතාර්ථය නැතිනම් ඔග්මෙන්ටඩ් රියැලිටි හැකියාවන් පාවිච්චි කරනවා නම් ඒක වඩාත් ස්වභාවික අත්දැකීමක් විදියට විඳගන්න අයිෆෝන් 11 උපාංගය අවස්ථාව ලබාදීලා තියෙනවා.

මීට අමතරව තවත් බොහෝමයක් නවීනයි කියන්න පුළුවන් විශේෂාංගයන් සහ හැකියාවන් අයිෆෝන් 11 සහ iOS 13 එක්ක ලැබිලා තියෙනවා.

 

මේ ඔක්කොමත් හරි. ගොඩක් දෙනෙක්ට ප්‍රශ්නේ තියෙන්නේ iPhone 11 එකේ ගිණි ගණන් මිල නියම කිරීම. ශ්‍රී ලංකාව ඇතුළේ මේ වෙනකොට iPhone 11 සාමාන්‍ය සංස්කරණය රුපියල් 156,000 වගේ ඉඳලා 172,000 දක්වා වගේ මිල නියම වෙනවා. එතකොට iPhone 11 Pro 256GB එක රුපියල් 273,000 න් ඉහළට තමයි අලෙවි වෙන්නේ. එතකොට මේ අයිෆෝන් සංස්කරණ තුනෙන් ඉහළින්ම තියෙන iPhone 11 Pro Max එකේත් ඉහළම සංස්කරණය වෙන 512GB උපාංගය දෙයියනේ කියලා රුපියල් 339,000 ක වගේ මිලකට ලබාගන්න පුළුවන්!!

ඉතින් ඇත්තටම මේ වගේ ගාණක් දීලා අලුත්ම අයිෆෝන් 11 එකක් ගන්න එක වටිනවද? ඇත්තටම ඒක තීරණය වෙන්නේ ඔබ මත. ඕන නම් අයිෆෝන් එකක් කියන්නේ තමන්ගේ ජීවිතේ අත්පත් කරගත යුතු තත්ත්වයක් කියලා හිතන්න පුළුවන්. ඒ කියන්නේ කවදා හරි රුපියල් ලක්ෂ තුනහමාරක් කියන්නේ නතින් කියන තත්ත්වෙකට එනවා කියලා අධිෂ්ඨාන කරගත්තොත්, එතනට ආවට පස්සේ අලුත්ම අයිෆෝන් 11 එකට ඒ ගාණ වියදම් කරන එක අවුලක් නෑ. මොකද ඒක නිකම්ම උපාංගයක් විතරක් නෙවෙයි, ඒක තමන් පිළිබඳව ස්ටේට්මන්ට් එකක්. හැබැයි එහෙම නැතුව ණය වෙලා, ලඟ තියෙන බඩු මුට්ටු විකුණලා අලුත්ම අයිෆෝන් 11 එක ගන්නවා කියන්නේ තේරුමක් නැති වැඩක්. ඒක තමන් පිළිබඳ ස්ටේට්මන්ට් එකක් වෙන්නෙ නෑ!  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *