1987 අප්‍රේල් පළවෙනිදා ආරම්භ වුණු කෝපිකඩේ ටෙලිනාට්‍යය දකුණු ආසියාවේ වගේම ආසියාවේ එක දිගට විකාශය වන දීර්ඝතම ටෙලි නාට්‍ය මාලාවක් විදිහට සැළකෙනවා.
කෝපි කඩය ඇරඹෙන්නේ තේවිස් ගුරුගේ මහත්මයාගේ සංකල්පනාවක් අනුව. වෙනත් රූපවාහිනී නාලිකා නොතිබුණ සමයෙක කෝපිකඩේ ටෙලිනාට්‍යයට අති මහත් ජනප්‍රියත්වයක් ලැබුණා. මේ නිසාම බොහෝ දෙනා කෝපි කඩේ ටෙලි නාට්‍යයේ ඊළඟ කතාංගය විකාශනය වන දින තෙක් නොඉවසිල්ලෙන් බලා හිටියා. මේ අවුරුදු 32ක කාලය පුරාවටම කෝපි කඩේ ටෙලිනාට්‍යයට විවිධ රංගන ශිල්පීන් ශිල්පිනියන් සහභාගි වුණා. ඇතැම් අය කෝපි කඩේ ටෙලි නාට්‍යයේ රඟපෑමෙන් ඉවත් වුණා. සමහර රංගන ශිල්පීන් නම් කෝපි කඩේට වගේම ජීවන රඟ මඩලටත් සමු දුන්නා.
මේ අද ආටිකල් එක ඒ වගේ අපෙන් සමුගෙන ගිය, අපි ආදරේ කරපු චරිත කිහිපයක් ගැන.
1. කෝපි කඩේ ලොකු හාමිනේ – දෙනවක හාමිනේ
කෝපි කඩේ අයිතිකාරිය විදිහට අපිට මුණ ගැහුණේ සිංහල සිනමාව හරහා අපේ රටේ හැම දෙනාගෙම ආදර ගෞරවාදරයට පත් වුණු චරිතයක්. ඒ තමයි දෙනවක හාමිනේ. සිනමාවට පිවිසෙද්දිත් ඇය මිත්තණියක්. මේ නිසාම ඇයට මුළු සිනමා ජීවිතය පුරාවටම ලැබුණේ මවගේ සහ මිත්තණියගේ චරිත. මේ නිසාම කෝපිකඩේ තුළ නිතැතින්ම ඇයට හිමිවුණේ එහි වැඩිමහල් ම චරිතය. කෝපි කඩේ ගමේ සියලුම දෙනාම වගේ ප්‍රශ්නයක් උනාම ඇගේ උපදෙස් බලාපොරොත්තු වුණා.
2. සොමි නෝනා – චිත්‍රා වාකිෂ්ඨ
කෝපි කඩේ ලොකු හාමිනේගෙ වැඩිමහල්ම දියණියගේ චරිතය රඟපෑවේ චිත්‍රා වාකිෂ්ඨ. මේ නිසාම දෙනවක හාමිනේ තමන්ගේ වයසත් සමග කෝපි කඩේ ටෙලි නාට්‍යයෙන් ඉවත් වීමත් එක්ක කෝපි කඩේ ප්‍රධානත්වය නිතැතින්ම හිමි වුණේ චිත්‍රා වාකිෂ්ඨට. තමන්ගේ නැගණියගේ චරිතය රඟපෑ රත්නා සුමනපාල සමඟ එක්ව කෝපි කඩේ ටෙලිනාට්‍යයේ ජීව ගුණය පවත්වාගෙන යෑමට ඇය සුවිශාල කාර්යභාරයක් ඉෂ්ට කළා.
3. සාමෙල් අප්පුහාමි – විමල් වික්‍රමආරච්චි
විමල් වික්‍රමාරච්චි කලාකරුවා සාමෙල් අප්පුහාමි නම්න් රඟපෑවේ කෝපිකඩේ ලොකු හාමිනේ ගේ පුතාගේ චරිතය. ඔහුගේ හදිසි මරණය දක්වාම දිගටම එම චරිතය ඔහු රඟපෑවා. ඔහුගේ මරණය කෝපි කඩේ ප්‍රේක්ෂකයන්ට වගේම කෝපි කඩේ ශිල්පීන්ටත් දැඩි කම්පනයක් ඇති කළා. ඒ නිසාම ඔහුගේ මරණය පාදක කරගෙන කෝපි කඩේ එක කතාංගයක් ප්‍රදර්ශනය කිරීමට කෝපි කඩේ නිෂ්පාදක කණ්ඩායම කටයුතු කළා.
4. රත්නෙ ළමයා – ලාල් සේනාධීර
රත්නෙ ළමයා අපිට හමු වෙන්නෙ කෝපිකඩේ ගමේ අන්නාසි කොටුවක් පවත්වාගෙන යන පුද්ගලයෙක් විදිහට. ගමේ සිදුවන අකටයුතුකම්වලට ප්‍රමුඛත්වය ගන්නේ රත්නෙ ළමයා. ඔහුගේ සහයට ඩිංගි මහත්තයා සහ ගජං ඔහු ළඟින්ම හිටියා. ඒත් රත්නෙ ළමයා ගේ චරිතය රඟපෑ ලාල් සේනාධීර ක්ෂේත්‍රය ඇතුළේ හිතහොඳ පුද්ගලයෙක් විදිහට ජනප්‍රියත්වයට පත් වෙලා තිබ්බ කෙනෙක්. එතුමාත් හදිසි හෘදයාබාධයක් නිසා අපි අතරින් හදිස්සියේ සමුගෙන ගියා.
5. එන්සිනා – සුසිලා කූරගම
කෝපි කඩෙන් අපිට නිතරම හමු වුණු චරිතයක් වුණේ එන්සිනා. වේදිකා නාට්‍ය ශිල්පිනියක් විදිහට වගේම ගායිකාවක් විදිහටත් අපේ රටේ ජනතාව ඈව හඳුනා ගෙන සිටියා. නමුත් ඇයම කියපු විදිහට එන්සිනා චරිතය නිසා ඇයට මුළු රටේම ආදරය ලැබුණා.
6. පොලී මුදලාලි – මාටින් ගුණදාස
කෝපි කඩේ ගමේ අයට අතමාරුවක් ඉල්ල ගන්න යන්න තිබ්බ එකම පිහිට තමයි පොලී මුදලාලී. හැබැයි ඉතින් ගිනි පොලියට. පොලී මුදලාලි ගම්වැසියන්ට විවිධ අඩන්තේට්ටම් කරන පුද්ගලයෙක්. ගොඩක් අවස්ථාවල ගමේ පාරවල්, ඉඩම් බලෙන් අල්ලා ගන්න, නාන ලිඳ පවා වහන ජාතියෙ පුද්ගලයෙක්. මේ නපුරු චරිතයත් රඟපෑවේ සැබෑ ජීවිතයේ අහිංසක සහ නිරහංකාර පුද්ගලයෙක්. ඒ මාටින් ගුණදාස මහතායි. සැබෑ ජීවිතයේ වෘත්තියෙන් සංගීතඥයෙක් වුණු එතුමා දක්ෂ සර්පිනා වාදකයෙක්.
7. අබිලින් – චන්ද්‍රසිරි කොඩිතුවක්කු
අබිලින්ගේ චරිතය තරම් අපේ රටේ ප්‍රේක්ෂකයන්ට සමීප වුණු වෙනත් චරිතයක් නැතුව ඇති. කෝපි කඩේ නරඹපු නැති කෙනෙක් වුනත් වැඩිපුර ඕපදූප හොයන මනුස්සයෙකුට කියන්නේ අබිලින් කියලා. ඒතරම් අබිලින් චරිතය ගැන අපේ රටේ කතා වෙලා තියෙනවා. සමහරක් විට මේකට එක හේතුවක් වෙන්න ඇත්තේ අපිට සමාජයේ විවිධ තැන්වලදී මේ වගේ ඕපදූප හොයන මිනිස්සු මුණ ගැසෙන නිසා වෙන්නත් පුළුවන්.
මේ සටහනට අපි එක් කර ගත්තේ කෝපි කඩේ ටෙලි නාට්‍යයේ රඟපාලා අපෙන් සමුගෙන ගිය ශිල්පීන් අතරින් කීප දෙනෙක් විතරයි. මේ ලැයිස්තුවට එක් කළ යුතු තවත් ශිල්පීන් ඉන්නවා නම් කමෙන්ට් තීරුවේ අපිට කියන්න කියලත් ඉල්ලීමක් කරනවා.
Leave a Reply