මිනිස්සු ප්‍රයෝජනවත් වැඩ කියලා හිතාගෙන කරන කාලෙ සහ සල්ලි කන වැඩ

මිනිස්සු ආසයි ප්‍රයෝජනවත් වැඩ කරන්න. කොච්චර නිස්සාර වැඩ කළත් මිනිස්සු ආසයි ප්‍රයෝජනවත් වැඩ කරන විත්තිය ලෝකෙට පෙන්වන්න. ඒ වැඩ බැරෑරුම් රාජකාරි කරගන්න. ඒ වුනත් මේ විදියට කරන ඇතැම් වැඩ කිසිම ප්‍රයෝජනයක් නැති වැඩ වෙන්න තියෙන ඉඩකඩ ඉහළයි. මේ නිසා සිද්ධ වෙන්න පුළුවන් ප්‍රධානම නාස්තිවීම් තුනක් තියෙනවා. පළමු දේ කාලය. දෙවැන්න මුදල්. තෙවැන්න මහන්සිය. මේ තුනම අතිශයින් වැදගත් නාස්ති නොවිය යුතු දේවල්. මෙන්න මේ කියන වැඩ නිසා මේ තුනම නාස්ති වෙන්න ඉඩ තියෙන නිසාම අපි මේ ගැන කියන්න කියල හිතුවා. ඔයාලත් මේ නාස්ති කරන්න යනවනං වැලකෙන්න දෙන උපදෙසක් වගේම මේ ගැන කවුරුහරි ජීවිතයට ලඟ කෙනෙක් උපදෙසක් ගන්න ආවොත් (බලෙන් කියන්න යන්න ඕන නැහැනෙ කාටවත්) ඒ ගැනත් කියන්න.

 

1. මිස්ටර් පර්ෆෙක්ට්

අපි අර මුලින් කියපු දේවල්වලින් මෙන්න මේ දේ සිද්ධ වුනොත් නාස්තියක් වෙන්නෙ අපේ මහන්සිය. අපේ මහන්සිය නාස්ති කරගන්න හොඳ නෑ. ඒකට හේතු කිහිපයක්ම තියෙනවා. ඒ ගැන හොඳින්ම පහදන්න කාරණයක් තමයි මේ. අපි රස්සාව කරද්දි අපි මිස්ටර් පර්ෆෙක්ට්ලා හෝ මල්ටි ටාස්කර්ලා වෙන්න කිසිසේත්ම හොඳ නෑ. ඇයි මෙහෙම කියන්නෙ කියල පුදුම වෙලා බලන්න එපා. සාමාන්‍යයෙන් ඔබ අහල තියෙන්නෙ මල්ටි ටාස්කර් කෙනෙක් හෝ මිස්ටර් පර්ෆෙක්ට් කෙනෙක් වුනොත් හොඳයි කියල වුනත් රැකියාවකදි ඔබ මල්ටිටාස්කර් කෙනෙක් වීම ඔබේ කර මත තවතවත් වැඩ වැටෙන්නට සහ ඔබට කිසිඳු වැඩක් නිසියාකාරව සිදු කරගන්නට අපහසු වෙන තත්ත්වයක්. ඒ වගේම ඔබ හැම දේම තිතට කරන මිස්ටර් පර්ෆෙක්ට් කෙනෙක් වීමත් ඔබේ වැඩ කටයුතුවල වේගය අඩාල කරවන මහන්සිය වැඩි කරවන දෙයක්. මේ කාරණය රැකියාවක් කරද්දි ප්‍රයෝජනවත් කියා සිතීම ඔබ වැඩිපුර කරදරයට මුහුණ දෙන්නට වෙන හේතුවක්.

 

2. DIY

ඔබත් ෆේස්බුක් හී නියැලෙන කාලය තුළ අනුන්ගේ ඕපාදූප සොයමින් සිටිනවා වෙනුවට වැදගත් වැඩක් කරනවා කියා උවමනාවටත් Do It Yourself  වීඩියෝ නරඹනවාද? නමුත් ඒ කිසිවකින් ප්‍රයෝජනයක් ගෙන තියෙනවාද? එවැනි අවස්ථා ඔබේ නිවසේ සිදුකරන්නට අවස්ථාවක් උදාවී නැතිද? නැතිනම් ඒ වැඩකටයුතු සිදුකරන්නට තරම් අවශ්‍ය භාණ්ඩ ඔබ සතුව නැතිද? ඔබ කෙතරම් ආහාර සකසන වීඩියෝ නරඹා තිබෙනවාද? එකම වීඩියෝව කිහිපවර නරඹා තිබෙනවාද? ඒ කිසිවක් මේ වන තෙක් අත්හදාබලා තිබෙනවාද? ඇත්ත වශයෙන්ම මිතුරෙකුගේ ඕපාදූපයකට මඩක් ගැසුවානම් ඔබට තියෙන ඒ සතුටවත් මෙයින් ඉතිරි වුනාද? සාමාන්‍ය පෘතග්ජන මිනිසෙකු ලෙසින් ආහාර උයන්න පිහන්නට හෝ ගෙදරදොරේ වැඩ තනිවම කරගන්නට ඔබට උනන්දුවක් ඇති විය හැකියි. නමුත් තවමත් ඔබ එය සිදු කර නොමැතිනම් මෙතෙක් කල් කෑම හදන, ඉලෙක්ට්‍රික් වැඩ, තෑගි ඔතන, වඩු වැඩ, ගෙවල් පිරිසුදු කරන වීඩියෝ නැරඹූ ඩේටා ප්‍රමාණය සහ කාලය නාස්තියක් බව සිතෙහි තබාගන්න.

 

3. ෆේස්බුක් නිවුස්

පහුගිය දිනවල ඇතිවුණු කලබලකාරී තත්ත්වයත් එක්ක බොහෝදෙනෙක් නිතර තමන්ගේ කාලය ගත කළ තැනක් වෙන්නේ ෆේස්බුක් වෙබ් අඩවියයි. පවතින රජය කලින් කලට එයට පිවිසීම තහනම් කිරීමත් සමග හොර පාරෙන් ගොඩවෙමින් වීරකමෙන් එහි කතා බහ කළ පිරිස එය සිදුකළේ ජාතික ආරක්ෂාව සහ තොරතුරු දැනගැනීමේ අයිතිය වෙනුවෙනුයි යැයි පාරම්බානු දකින්නට ලැබුනි. නමුත් එයම ජාතික ආරක්ෂාවට විශාල තර්ජනයක් ලෙසින් පෙනුනේ සාවද්‍ය තොරතුරු එහා මෙහා වීමත්, හමුදා මෙහෙයුම් පිළිබඳ හෙළි නොවිය යුතු දෑ හෙළි වීමත්, නොයෙක් වූ ප්‍රකාශ සිදු නොවුනු මුත් ජන කොටස් අවුස්සන සුළු මාතෘකා සමගින් ජනගත වීමත් සමගය. අප්‍රේල් පළමුදාට පමණක් දකින්නට ලැබෙන පුවතක් පිළිබඳ දෙවරක් සොයා බලන අප මේ වෙනුවෙන් වැය කරන කාලය සහ විශ්වාස කරන දෑ කොතරම් වැරදි දැයි තේරුම් ගත යුතුව ඇත.

 

4. ද කලෙක්ටර්

බොහෝදෙනෙක් ආටෝපය වෙනුවෙන් නොයෙක් දේ එකතු කරන්නට පෙම් කරයි. ඇතැමුන් නොකියවන මුත් පොත් එකතු කරයි. විවිධ රටවල කාසි සම්බන්ධයෙන් කිසිම හැදෑරීමක් හෝ දැනීමක් නැතිව දකින වාලේ කාසි එකතු කරයි. පොත් පුරවන්නට මුද්දර එකතු කරයි. ඇන්ටීක්ස්, සපත්තු හෝ හෑන්ඩ්බෑග් හෝ තමුන්ගේ ආශාවකින් හෝ මූල්‍යමය ශක්තියකින් තොරව කිසිවක් එකතු කරනවානම් එය අපරාධයක් බව සිහි තබාගත යුතුය. එය මුදල් සහ ඉඩ අපතේ යැවීමකි. ඔබට කිසිසේත් සතුටක් ගෙන නොදෙන පොත් නිවසේ ගොඩ ගසාගැනීමෙන් ඔබව උගතෙකු ලෙසින් පෙනේවි කියා සිතේනම් එය සැබවින්ම මුදල් සහ ඉඩ අපරාදයක් බව සිතට ගන්න. නූතනත්වයට කැමති ඔබ වැඩි අගයක් පෙනෙන්නට ඇන්ටීක් එකතු කළද තත්ත්වය එසේමය.

 

5. විචාර පොර

සාමාන්‍යයෙන් වෘත්තීයමය විචාරකයින් සිනමාපට නැරඹීම හෝ පොත් කියවීම හෝ කුමනාකාරයක කලා නිර්මාණ විඳීම සහ ඒ පිළිබඳ අදහස් දැක්වීම සාමාන්‍ය තත්ත්වයකි. බොහෝදෙනෙකු කලා නිර්මාණ පිළිබඳ ඔවුන්ට ඇති ගැටළු විසඳගන්නටත් මෙම විචාර උපයෝගී කරගනු දැකිය හැකි තත්ත්වයකි. නමුත් ෆේස්බුක් බොහෝදෙනෙකුට වේදිකාවක් වීමත් සමග පොරක් වීමට බොහෝදෙනෙකුට ඇති ආශාවන් ඔස්සේ යමින් කලා නිර්මාණ ස්පොයිල් කිරීම කාලයක් පටන් දකින්නට ඇති තත්ත්වයකි. එනම් නිසි දැනීමකින් තොරව කලා නිර්මාණයක් නිකුත් වුනු විගස එය කියවා හෝ නරඹා ඒ සම්බන්ධ තම මතය කියන්නන් පිරිසක් බිහිවීමේ විපාකයයි. එයින් එය නුදුරේ නරඹන්නට සිටින්නන්ට එය ස්පොයිල් වීම ඔවුන්ට කරන අපරාධයකි. එසේම පොරක් වන්නට කිසිදු ප්‍රයෝජනයකින් තොරව සිදුකරන මෙම ක්‍රියාවන් ඔබේ කාලයද අපතේ යැවීමකි. එනිසා වෘත්තිය කරුණක් නොවේනම් කරුණාකර කලා නිර්මාණ විචාරයට නොව විඳින්නට බලාගෙන ඊට සූදානම් වන්න.

 

6. වෙඩින්

මේ කාලය වන විට වෙඩින් යනු භාරදූර කාර්‍යයකි. ඒ වෙනුවෙන් සුවිශේෂ සූදානමක් වෙයි. ඒ වෙනුවෙන් නොයෙක් වූ රැකියා බිහිවී තියෙයි. ඒ වෙනුවෙන් සුවිසල් මුදලක් වැයවෙයි. වෙඩින් එකක අවශ්‍යතාවය විමසූ විට බොහෝ දෙනෙක් ඊට හේතු කියන්නේද අඩුවෙනි. ජීවිත කාලෙටම එකක් නිසා හෝ අම්මලා බල කරන නිසා වැනි හේතු ඒ අතර වෙයි. ඔබට අත දිගහැර වියදම් කරන්නට මුදල් තිබෙනවානම් ඒ පිළිබඳ කිසිඳු ආරවුලක් නැතත් ඔබ ඒ වෙනුවෙන් වියදම් කරන්නේ පර්සනල් ලෝන් එකකින් නම් හෝ ඔබ ඒ වෙනුවෙන් වියදම් කරන්නේ ඔබට මෝටර් රථයක් හෝ නිවසක් මිලදීගන්නට තිබුනු මුදල් නම් සැබවින්ම එය අපරාධයක් බව ඔබ සිතට ගත යුතුමයි. මේ අධික වියදම නිසා ඔබේ ජීවිතයේ සාර්ථකත්වයෙන් වසර ගණනාවක් පසුපසට ගියා විය හැකියි. ඒ නිසාම ඔබ අතිශය වැදගත් කියා සිතා සිටින අධික මුදලක් වැය කරන විවාහ මංගලෝත්සවය පිළිබඳ දෙවරක් සිතන්න.

 

7. අනුන්ගෙ වැඩ ගැන

මේ ගැන නං කියන්න තියෙන්නෙ සින්දුවක්. ප්‍රේමකීර්ති ද අල්විස් මහත්තයා ලියපු, වික්ටර් රත්නායක මහත්තයා සංගීතවත් කරපු, ෆ්‍රෙඩී සිල්වා මහත්තයා ගයන මේ ගීතයේ අගිස්සට වෙන්නට මෙම කතාවට අදාල පෙළක් තිබෙනවා. ඒ මෙසේයි.

“අනුන්ගෙ වැඩ ගැන විවේචනය කර කර ඉන්නවට වඩා

තමුන් දන්න දේ හරියට කරපං කියලා කීය හඬා”

ඇත්තටම ඔෆිස්වල කට්ටිය අනුන් කරන දේ හොයන්නෙ කේලම් කියන්න සහ ඒ තුළින් තමන් කැපී පෙනෙන්න හිතාගෙනයි. තමුන්ගෙ සහෝදර සේවකයෙකුට අගතියක් නොකර ඒ විදියට ඕපාදූප හොයන්න ගත කරන කාලය තුළ තමුන්ගේ වැඩ කොටස හරියට කළානං තමුන් නරක විදියකින් ලබාගන්න හදන තානාන්තරයක් හෝ වැඩි වැටුපක් සාධාරණව වැඩ කරලා උපයා ගන්න පුළුවන් බව වැටහේවි. ඒ වෙනුවෙන් නිස්කාරණේ මහන්සි වෙනවාට වඩා ඒක කොච්චර සැපතක්ද?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *