යළි හමු නොවන පුංචි තිරයේ ආදරණීය තාත්තලා

අපි පහුගිය ටිකේම නිළියෝ ගැන නොසෑහෙන්න කතාබහ කරා. ඒ ආර්ටි​කල් ටික ලියාගෙන යද්දි අපිට හිතුණා, නිළියෝ ගැන වගේම පුංචි තිරයෙන් අපිට සමීප වුණු ආදරණීය නළුවන් කිහිප දෙනෙක් ගැනත් කතා කරන්න. හැබැයි මේ වෙනකොට මේ සියලු දෙනාම අපි අතරින් සදහටම සමු ගෙන ගිහිල්ලා. ඉඳහිට පැරණි ටෙලි නාට්‍ය විකාශනය වෙද්දී ඔවුන් පිළිබඳ ව මතක අලුත් වෙනවා. හැබැයි අද පරපුරේ බොහෝ දෙනෙක් මේ අයව අඳුනනවද කියන එක ප්‍රශ්නයක්.

 

1. ජී. ඩබ් සුරේන්ද්‍ර 

ගුණතිලක වික්‍රම සුරේන්ද්‍ර  මහතාව අපි බොහෝම දෙනෙක් අඳුනන්නේ ‘යශෝරාවය’ ටෙලි නාට්‍යයේ වීරසේකර මහතා ගෙ චරිතය රඟපෑම නිසා. නමුත් ඔහු පුවත්පත් කලාවේදියෙක්, වේදිකා නාට්‍ය නළුවෙක් සහ චිත්‍රපට නළුවෙක් විදියට ක්ෂේත්‍රය තුළ විශාල ලෙ​ස ගෞරවාදරයට පත් වුණු කෙනෙක්. ‘රන්මසු උයන, සංක්‍රාන්ති සමය, එක වහලක් යට’ එතුමා රංගන දායකත්වය ලබාදුන් අනෙකුත් ටෙලි නාට්‍ය.

 

2. අසෝක පීරිස් 

ලංකාවේ එතෙක් මෙතෙක් බිහි වුණු ජනප්‍රියම ළමා නවකතාව සහ ළමා ටෙලිනාට්‍යය විදිහට කවුරුත් පිළිගන්නේ අඹ යහළුවෝ. මේ අඹ යහළුවෝ ටෙලි නාට්‍යයේ සුනිල්ගෙ පියාගේ චරිතය රඟපෑවේ අශෝක පීරිස් මහතා. ඒ වන වන විටත් එතුමා ‘ගුරු ගෙදර, විරාගය’ වැනි චිත්‍රපටිවල රඟ පා සම්මානයට පාත්‍ර වූ නළුවෙක්. ඇන්ඩෘ ජයමාන්න මහතාගේ “චල අචල” ටෙලි නාට්‍යයේ  ඇලෙක්ස්ගේ චරිතය රඟපෑමෙන් හොඳම නළුවා විදිහට එතුමා සම්මානයට පාත්‍ර වුණා. ක්‍රිස්තියානි භක්තිකයෙකු ලෙස දැඩි ආගමික ජීවිතයක් ගත කළ එතුමා  2007 දෙසැම්බර් 24 වන දින කවුරුත් නොසිතූ නිමේෂයක අපෙන් සදහටම සමු ගත්තා.

 

3. එඩ්වඩ් ගුණවර්ධන 

ජයන්ත චන්ද්‍රසිරි මහත්මයාගේ ‘වෙද හාමිනේ’ ටෙලි නාට්‍ය කියන්නේ අපේ ටෙලි නාට්‍ය කලාවට අලුත් නළු නිළියන් කිහිප දෙනෙක්ම හඳුන්වා දෙන්න සමත් වුණු නාට්‍යයක්. ඒ වගේම අදටත් කතාබහට ලක්වෙන ටෙලි නාට්‍යයක්. මේ ටෙලිනාට්‍යයේ වෙද මහත්මයාගේ චරිතය රඟපාමින් එඩ්වඩ් ගුණවර්ධන රංගන ශිල්පියා ක්ෂේත්‍රයට පිවිසෙනවා. ඉන්පසුව ටෙලි නාට්‍ය ගණනාවක විවිධ චරිත හරහා එතුමා ප්‍රේක්ෂකයන්ට සමීප වෙනවා. ඇතැම් අවස්ථාවල හාස්‍යෝත්පාදක චරිත පවා එතුමා පැකිලීමකින් තොරව රඟපානවා. එතුමා රඟපෑ අවසාන ටෙලි නිර්මාණ අතරින් “ඉසුරු යෝගය” ටෙලි නාට්‍යයේ රේවතීගේ පියා ලෙස කළ රඟපෑම ජනතාවට අතිශයින් සමීප වුණා.

 

4. හෙන්රි ජයසේන 

ගම්පෙරළියේ පියල්ගේ චරිතය හරහා සිනමාවේ නොමැකෙන නමක් තියපු හෙන්රි ජයසේන මහත්මයා ලංකාවේ ටෙලිනාට්‍යවල තමන්ගේ නම තියන්නෙ ‘දූ දරුවෝ’ ටෙලිනාට්‍යයේ සුදු සීයා විදිහට. නමුත් එතුමා වැඩිම සේවයක් සිදු කරන්නේ වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයට, ඒ බර්ටෝල් බ්‍රේෂ්ටව මෙරට රසික ජනතාවට “හුණුවටයේ කතාව” හරහා හඳුන්වාදීමෙන්. ‘නෑදෑයෝ’ ටෙලි නාට්‍යයේ එතුමා අහංකාරයෙන් හිස උදුම්මා ගත් වලව් පැලැන්තියේ පියෙකුගේ චරිතය නිරූපණය කළා. තම බිරිඳ වූ මානෙල් ජයසේන මහත්මිය ගේ අභාවයෙන් පසුව කලා ලෝකයෙන් යම් තාක් දුරකට දුරස්ථ වී සිටි එතුමා 2009 වසරේදී ජීවන රඟ මඩලට සමුදුන්නා.

 

5. එච්. ඒ පෙරේරා 

‘දූ දරුවෝ’ ටෙලි නාට්‍යයේ ඩයස් ගේ චරිතයෙන් අපිට සමීප වුණු එච්. ඒ පෙරේරා මහතා ඒ වඩා කොටත් සිනමා සහ වේදිකා නාට්‍ය නළුවෙක් විදිහට සාර්ථක වූ කෙනෙක්. ඩයස් මහතාගේ චරිතයෙන් ඔහු තමන්ගේ දියණිය ගේ යහපත වෙනුවෙන් සියලු දෑ කරන පියකුගේ චරිතය සාර්ථකව නිරූපණය කළා. ‘කඩඉම, යශෝරාවය සහ සිටුවරයෝ’ මෙතුමා තමන්ගේ  රංගන දායකත්වය ලබා දුන් අනෙකුත් ටෙලි නාට්‍ය නිර්මාණ.

 

6. දයා අල්විස් 

දයා අල්විස් මහත්මයා පියාගේ චරිතය වගේම විවිධ පරාවල චරිත රැසක් නිරූපණය කළා. උදාහරණයක් විදිහට ‘පබා’ සහ ‘වසූදා’ ටෙලි  නාට්‍යවල ඔහු රඟපෑ චරිත ‘හිරුට මුවාවෙන්’ ටෙලි නාට්‍යයේ රඟපෑ සැර පරුෂ පියාගේ චරිතයට වඩා සම්පූර්ණයෙන්ම වෙනස්. ඒ වගේම එතුමා දක්ෂ තිරනාටක රචකයෙක්. ‘බෝඩිම’ ටෙලි නාට්‍යයේ  හාස්‍යෝත්පාදක රංගනයක නිරත වුණු එතුමා ‘නිවටයා’ නාට්‍යයේ දී අතිශය වෙනස් චරිතයක් නිරූපණය කළා. රිය අනතුරකින් තුවාල ලබා සතියක් පමණ දැඩි සත්කාර ඒකකයේ ගතක​ර 2015 දී එතුමා තම දිවි ගමන නිම කළා.

 

7. රාජා සුමනපාල 

රාජා සුමනපාල මහත්මයා ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය වෙන්නේ “අලි ජේමිස්” කියන නමින්. ඒ කෝපි කඩේ මාලා නාටකය හරහා. නමුත් ඉන් බැහැරව එතුමා ජනතාවට සමීප වුණේ ‘හිරුට මුවාවෙන්’ ටෙලි නාට්‍යයේ අහිංසක තාත්තගේ චරිතය රඟපෑම නිසා. රාජා සුමනපාල මහත්මයාගේ ආදරණීය බිරිඳ වන රත්නා සුමනපාල මහත්මි​ය කියන විදිහට ඇයව කලා ක්ෂේත්‍රයට හඳුන්වා දෙන්න මූලිකත්වය ගන්නේද රාජා සුමනපාල මහත්මයායි. ඇය තවමත් කෝපි කඩේ මාලා නාට්‍යයට තමන්ගේ රංගන දායකත්වය ලබා දෙනවා.

 

මේ ලැයිස්තුවට එන්න ඕන තව නම් ඕගොල්ලන්ට මතක් වෙනවා නම් ඒ අය ගැන කමෙන්ට් තීරුවෙන් අපිට කියන්න. ඒ වගේම මේ ආටිකල් එක ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා. 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *