දැන් අපිට ෆෝන් තියේ, ගේමින් ලැප්ටොප්ස් තියේ, පී එස්, එක්ස්බොක්ස් යනාදී විදියට සෑහෙන අයිටම් ටිකක් තියනවා සෙල්ලම් කරන්න. ඒත් ඉස්කෝලේ කාලේ මතක් කරාම නොකියා කට්ටෙන් ගහපු ගේම් වගේ ම ටීවි එකට සම්බන්ධ කරලා ගහපු වීඩියෝ ගේම් ටික තමයි මතක. මේවත් හැමෝට ම තිබ්බ ඒවා නෙවෙයි. ඒත් හැමෝම එක වගේ සෙල්ලම් කරපු සෙල්ලම් ටිකකුත් තිබුණා. මේවා තිබුණේ පන්ති කාමරේ. තමන්ගේ බෝඩරේ. තමන්ගේ රජදහනේ. ආයෙත් යන්න ඇත්නම් කියලා හිතෙයි මේවා මතක් වෙනකොට.
1. ක්ලිප් ගේම්
කොල්ලෝ කෙල්ලෝ භේදයකින් තොරව ගහපු ක්ලිප් ගේම පංච දාන එකේ ඉස්කෝල වර්ෂන් එක. පෑන් ක්ලිප් දෙකක් අරගෙන පංච ඉත්තෝ දානවා වගේ ඩෙස්ක් එකකට අතාරිනවා. ඒ විතරක් ය? සීන් එකට එන්ටර් වෙන්නේ මැද්දෙන් ඉරකුත් කපලා. ඊට පස්සේ ඉතින් එක ක්ලිප් එකක් බිමට බැටෙනකන් කැරම් සෙල්ලම් කරනවා වගේ අනෙක් ක්ලිප් එකෙන් ඒකට අනිනවා. මේක මේ විදියට ම නැතුව වෙන වෙන වර්ෂන් ඒ ඒ පන්ති අනුව පාවිච්චි කරා. සමහරු ක්ලිප් වෙනුවට සම්පූර්ණ පෑන ම ගත්තා.
2. වන් බම්ප්
වන් බම්ප් එක ගොඩක් සෙල්ලම් කරන්න යෙදුණේ කොල්ලෝ තමයි. ඉන්ටර්වල් එකේ ග්‍රවුන්ඩ් එකට ගිහින් අත පය දිගෑරලා ක්‍රිකට් සෙල්ලම් කරනකොට ම බෙල් එක ගහලා ඉවරයි. ඇත්තට ම ඒ වෙලාව මදි. ඉතින් ටීචර් පන්තියට එන්න කලින් ගහන වන් බම්පර් පාර ඔක්කොට ම වඩා හොඳයි. බැට් එකට කැඩිච්ච පුටු ඇන්දක් නැත්තම් ඉංග්‍රීසි අච්චුපොත වගේ පොතක් පාවිච්චි කරා.
3. රොබින්-මැරියන්
ගෑල්ලමයි අතර අතිශය ජනප්‍රිය වුණ මේ සෙල්ලම වගේ එකක් එංගලන්තේවත් නැතුවැති. කොළ කෑලිවල ලියනව රොබින් මැරියන් ඇතුළු සෙට් එකේ නම්. ඊට පස්සේ කොළ ටික අතාරිනවා මේසෙට. රොබින් ලැබුණ එකී මැරියන්ගෙන් සංඥා ඉල්ලනවා. බුදු අම්මේ ඉතින් මැරියන් උපරිම ට්‍රයි එක දාලා මේ ලෝකේ නැති සංඥා දෙනවා. ඒ විකාර තව මොකෙක් හරි බලාගෙන ඉඳලා මැරියන් මොකා ද කියලා කියන්න තියෙන්නේ.
4. නයි ගැසීම
නයි ගැසීම කෙසේ වෙතත් නයි ඇරීම නම් කට්ටිය සාර සුබාවට කරන්න ඇති. නයි ගහන්න නම් ඕනි කඩදාසියකුයි පෑනුයි විතරයි. සමහරු නයි ගහන්න ම වෙන ම පෑන් තියාගෙන හිටියා. සෙල්ලම වෙන්නේ නයෙක් වගේ වංගු තියන පාරක් ඇඳලා ඒකේ තරඟෙට යෑමෙන්. පෑනේ තුඩ කොලේට තියලා ලිස්සලා යවන එකයි කරේ. එතකොට නිකන් රූලකින් ගැහුවා වගේ කෙලින් ඉරක් එනවා. අද කාලේ ගොඩක් අය නම් අහලාවත් නැතුව ඇති.
5. කඩදාසි බෝම්බය/තුවක්කුව
මේක නම් වෙලාවකට එපා කරපු වැඩක් වෙනවා. බෝම්බේ පත්තු කරපු එකාට නෙවේ බෝම්බ පාර කන එකාට. කඩදාසියකින් හදාගන්න මේ ආයුධේ සමහර වෙලාවට දෙතුන් පාරක් වනනකොට කොළේ ඉරෙනවා. ඒත් කොල්ලෝ සැලුණේ නෑ මිත්‍රවරුනි. කන අස්සේ තියලා වෙලාවකට කොකා අදින්නේ.
6. වන් ටූ ත්‍රී බම්බල් බී – ස්ටොප්!
මොන්ටිසෝරියෙන් පටන් අරන් දහතුන් වසරක් වූ අධ්‍යාපනය තුළ අමතක කරන්න බැරි වුණ බම්බල් කතාව කරන්න නම් පන්ති කාමරයේ ටිකක් ඉඩ තියෙන්න ඕනි. ඔන්න ඉතින් නඩයක් ඉන්නවා පේළියට. එකෙක් ඉස්සරහට ගිහින් වන් ටූ ත්‍රී බම්බල් බී කියනවා නඩේට පිටුපස හරවන් ඉද්දී ම. ඒ එක්ක ම ස්ටොප් කියලා හැරෙනවා. මේ ටික වෙද්දී නඩේ ටික ඉස්සරහට ඇවිත් ඉන්න ඕනි හැබැයි කිසිම චලනයක් නොපෙන්වා. එහෙම පෙන්වන එකා එළියේ.
7. හුණු කොට්ට සෙල්ලම
පන්ති කාමරේ දෙපැත්තට බෙදෙනවා. ඊට පස්සේ එක එකාට හුණු කොට්ටෙන් ගහගන්නවා. සමහර ඩයල්වලට හතිය පවා හැදිලා තියනවා. සමහර උන්ගේ ඇස්වල වැදිලා නස්පැත්ති වෙලා තියනවා. ඒත් මේකේ නැවතිල්ලක් වුණේ නෑ. සෙල්ලමේ හොඳ ම ලෙවල් එක තමයි බිත්ති උඩින් අනික් පන්තිවල උන්ට දමලා ගහපු එක.
Leave a Reply