මුලින්ම ජොබ් එකකට යන දවස කියන්නේ කාටත් වැදගත් දවසක්නේ. හා හාපුරා කියල රැකියාවකට යන කෙනෙක් උනත්, රැකියාව මාරු කරල අලුත් රැකියාවකට යන කෙනෙක් උනත් ඔය කාටත් මේ දවස වැදගත් වගේම තමයි ටිකක් විතර හිත කලබල දවසක්. පොඩි බයක්, චකිතයක් හිතේ තියාගෙන තමයි ඔය කොයි අයියත් ඉතින් මුල්ම දවසේ වැඩට යන්නේ. ඔය කලබල අස්සේ අමතක වෙන්න පුළුවන්, හැබැයි විශේෂයෙන් අවධානය යොමු කරන්නම ඕන කාරණා 7ක් ගැන තමයි මේ කියන්න යන්නේ.
1. අඳින විදිහ
මේක වැදගත්ම කාරණාවක් මුලින්ම රැකියාවකට යන දවසෙදි. ඒ කිව්වේ හරියට බැලන්ස් කරලා මධ්‍යස්ථ ඇඳුමක් ඇඳන් යන්න ඕන. ඔයා කොච්චර ෆැෂන් පැත්තට බර කෙනෙක් උනත් මහා ලොකුවට සුකුරුත්තන් දාපු ඇඳුමක් අඳින්නනම් එපා. ඒ වගේම තමයි ඔහේ කාඩ පාටට අහුවෙච්ච එකක් ඇඟේ දාගෙන යන්නත් එපා. මොකද කතාවටත් කියනවනේ “First Impression is the Last Impression” කියලා. ඉතින් අලුතෙන් වැඩට යන දවසේ දකින කෙනෙකුගේ හිතේ ඇඳෙන මුල්ම චිත්‍රෙ හොඳ එකක් කරන්න පුළුවන් ලොකුම ආයුධය තමයි ඇඳුම. පිටින් බලලා මනුස්සයෙක් මනින්න එපා කිව්වට අපි කවුරුත් අඩු වැඩි වශයෙන් කරන්නෙම ඒක තමයි. ඒ නිසා හොඳ ප්රොෆෙෂනල් පාට ඇඳුමක් ඇඳන් යන්න අමතක කරන්න එපා.
2. කෑම
අලුතෙන් යන තැන අවට පරිසරය ගැන අපිට ලොකු අවබෝධයක් නැහැනේ. කෑම කන්න වෙනම හදපු තැනක් තියෙනවද, ඉඩ පහසුකම් කොහොමද කියන දේවල් වැඩියම නොදන්නා නිසා සරල කෑම වේලක් අරගෙන යන්න. කඩෙන් කන්න ගන්නව කියල සල්ලි අරන් යන්නනම් එපා. අහල පහල කඩයක් නැත්තම් අපහසුතාවයට පත්වෙන්න තමයි වෙන්නේ. ඒ නිසා හොඳම වැඩේ තමයි සැන්ඩ්විච් එකක් වගේ සරල කෑමක් අරන් යන එක.
අනිත් එක තමයි මතක ඇතුව උදේට බඩ පිරෙන්න කාල යන්න. මොකද රස්සාවට ගිය මුල්ම දවසෙම හාමතේ කලන්තේ දාල වැටුනොත් නෝන්ඩි ගොඩයිනේ.
3. ප්‍රසන්න බව
ඔන්න අලුත් රැකියා ස්ථානෙට ගියා කියමුකෝ. ගියපු වෙලාවේ ඉඳන් තක්බීර් වෙලා වගේ පුම්බගෙන ඉන්නනම් බැහැ. දකින ඕන කෙනෙක් එක්ක සුහඳව හිනාවෙන්න. ඔයත් එක්ක කතා කරන්න එන අයට, රිසෙප්ෂන් එකට හොඳින් හිනාවෙලා ගුඩ් මෝනින් කියන්න. මොකද ඉස්සරහට ලඟින්ම වැඩ කරන්න වෙන අය ඔය අතරේ ඉන්න පුළුවන්. මුල ඉඳන්ම ශේප් එකේ තියාගන්න එක ඇඟට ගුණයිනේ.
4. අවශ්‍ය ලිය කියවිලි
මුලින්ම වැඩට යන දවසට කලින් ආයතනයට කතා කරලා දැනගන්න එද්දී අරගෙන එන්න ඕන ලිය කියවිලි මොනවද කියල. එක්කෝ එයාලම ඊමේල් එකකින් වගේ ඒ බව දැනුම් දෙයි. ඔය අතරේ තියෙන්න පුළුවන් උප්පැන්න සහතික, හැඳුනුම්පත්, අධ්‍යාපන සහතික වගේ දේවල්. ඉතින් කලින් සූදානම් වෙලා ඔය අවශ්‍ය ලිපි ලේඛන එහෙම අරන් යන එක දෙගොල්ලන්ටම ලේසී. ඔයා ගැන හොඳ ප්‍රතිරූපයකුත් මුල්ම දවසෙම ඇතිවෙයි.
5. ඔරිජිනල් සහතික
හැබැයි කලින් කියපු ගොඩේ සහතික වලට කිසිම වෙලාවක ඔයාගේ ඔරිජිනල් සහතික ඉල්ලන්න නම් කිසිම ආයතනයකට බැහැ. ඒක ටිකක් තදින් ඔලුවේ තියාගන්න. ඔරිජිනල් සහතිකය බලන්න ඕන කියල කියනවනම් ඒවා අරගෙන ගිහින් පෙන්නලා සහතික කරපු පිටපත් විතරක් තියාගන්න දෙන්න. මුල් දවසේ කලබල අස්සේ මඟ නොහැර මීටරේ තියාගන්න ඕන දෙයක් තමයි මේක. නැත්තම් පස්සේ කාලෙක ඔයාගේ උවමනාවකට උනත් මුල් සහතික අරගන්න ගියාම කරදර වෙන්න පුළුවන්. ග්‍රාමසේවා සහතික, පොලිස් සහතික වගේ ආයෙත් ගන්න පුළුවන් සහතික ඇරුනම ඔයාගේ අධ්‍යාපන, සේවා සහතික වගේ ඒවගේ මුල් පිටපත් දෙන්න බැහැ කියල කාරුණිකව කියන්න කිසිසේත්ම බය වෙන්න එපා.
6. රැකියා ගිවිසුම
රැකියා ගිවිසුම කියන්නේ අපේ අවධානය යොමු කරන්න ඕන කාරණා අතරිනුත් වැදගත්ම කාරණාවක්. මොකද කිව්වොත් ඔය ගිවිසුමේ තියෙන දේවල් වල හැටියට තමයි අපිට ඉදිරි කාලෙම ආයතනයත් එක්ක වැඩ කරන්න වෙන්නේ. මාසික වැටුප, පරිවාස කාල සීමාව, රාජකාරී දින, නිවාඩු කියන ඔක්කොම කරුණු කාරණා හොඳින් කියවල බලල මිසක් කලබලේට ගිවිසුම අත්සන් කරන්නනම් එපා. සම්මුඛ පරීක්ෂණයේදී එකඟ වුණු කාරණා වලට වඩා වෙනස් දෙයක් ගිවිසුමේ සඳහන් වෙනවනම් ඒ ගැන අහන්නත් බය වෙන්න එපා.
7. වෙනත් රැකියා කොන්දේසි
කලින් කියපු රැකියා ගිවිසුමේ ඇතුලත් නොවෙන කොන්දේසි ආයතනයේ තියෙන්න පුළුවන්. ඒ කිව්වේ නිවාඩු අනුමත කරගැනීම, ඩ්‍රෙස් කෝඩ් එක ඒ කිව්වේ අඳින පළඳින විදිහ ගැන වගේ කාරණා. මේවා හුඟක් වෙලාවට HR handbook එකේ සඳහන් වෙන්න පුළුවන්. නැත්තම් සාමාන්‍යයෙන් කාලාන්තරයක් තිස්සේ ආයතනයේ පුරුදු විදිහට පවතින දේවල් වෙන්නත් පුළුවන්. ඉතින් මුල් දවසෙම ඔය කාරණා ගැනත් අහල බලල අවබෝධයක් ගන්න එක වටිනවා අනාගතේ රැකියාව කරගෙන යනකොට.
Leave a Reply