අලුත් සෙට් එක්ක අපේ කෝච්චි පාරට අලුතින් එන කෝච්චි

අපේ දුම්රිය සේවය මේ දවස්වල හරි හරියට අලුත් වෙලා ලස්සන වෙනවා. පරණ රතුපාට පෙට්ටි ටික වෙනුවට අලුත් පවර් සෙට් දැන් දුම්රියවලට එනවා. ඒ වගේම දුම්රිය කීපයක් අලුතින්ම අපේ ට්‍රැක් වලට වැටිලා තියෙනවා. මේ දුම්රිය සේවාවට අලුතින් ආපු කෝච්චි යාළුවෝ ටික ගැන අපි විස්තර ටිකක් දැනකියාගනිමු.

 

1. එස් 13 කට්ටල 

2018 වර්​ෂයේ මුලින්ම ආපු එස් 13 එන්නේ ඉන්දියාවෙන්. ඊට පෙර අපි අවසානයට පවර් සෙට් හෙවත් බලවේග කට්ටල ලංකාවට ගෙනල්ල තිබුනේ 2012 වර්​ෂයේදී. ඊට වසර 6කට පසු අපේ දුම්රිය සේවයට එකතුවෙන එස් 13 පෙනුමින් නවීන පෙනුමක් ගන්නවා. අපේ ට්‍රැක් වලට හරියන දුම්රිය ගැන අදහසක් ඉන්දියාවට තියෙනවා. මේ අලුත් දුම්රියවල වායුසමන මැදිරි සහිත දුම්රියත් ආවා. එස් 13 කට්ටල වල සෑම මැදිරියකම එල් ඊ ඩී තිරයක් සවිකර තියෙනවා. දුම්රියේ ඇති ජී පී එස් කට්ටලය නිසා ඊල​ඟ දුම්රිය ස්ථානය මගීන්ට ඒ තුලින් බලාගන්නට හැකියාව තියෙනවා. පැයට කිලෝමීටර 100කට ආසන්න වේගයකට වුනත් යන්න පුළුවන් මේ දුම්රිය ලංකාවේ ට්‍රැක් වලනම් එච්චරටම වේගයකින් යන්​නේ නැතුව ඇති. 

 

2. එස් 14 කට්ටල 

ඉන්දියාවෙන් කලින් ගෙන්වාපු බලවේග කට්ටලවලට වඩා චීනයෙන් ගෙන්වාපු බලවේග කට්ටල බොහොම ශක්තිමත්. ඒ වගේම කල්පැවැත්මෙන් වැඩියි කියලා අපිට පසුගිය කාලේ ගෙන්වාපු බලවේග කට්ටල අනුව පේනවා. මේ එස් 14 උඩරට මාර්ගයේ ධාවනයට තමයි මුලින්ම හඳුන්වාදෙන්න යන්නේ. ලංකාවට ගොඩ බැහැලා මාස දෙක තුනක් ගියාට තාමත් එස් 14 පර්යේෂණ ස​ඳහා රට වටේ ධාවනය වෙනවා. ලංකාව තු​ළ පාවිච්චි ව​න දුම්රිය මාර්ග වලට වඩා චීනයේ දි පාවිච්චි කරන දුම්රිය මාර්ගව​ල පළල වෙනස්. ඒ කියන්නේ රේල් ගේජ් වෙනස්. ඒ නිසා ලංකාවට එන චීන දුම්රිය චීනයේදී ධාවනය කරන්නට තියෙන්නේ අඩු ඉඩකඩක්. ඒ නිසා ඔවුන් ලංකාවට ගෙනත්ම ටෙස්ට් රයිඩ් දුවන්න කටයුතු කරනවා වෙන්නට පුළුවන්. අලුත් එස් 14 අවසානයට චීනයෙන් ගෙන්වූ එස් 12 ට වඩා පෙනුමෙන් පොඩ්ඩක් වෙනස්. 

 

3. ඉන්දීය එන්ජින් 

දුම්රිය දෙපාර්​තමේන්තුවේ ආරංචි මාර්ග වල තිබුන විදියට නම් ඉස්සරහට අමරිකාවේ ජෙනරල් මෝටර්ස් සමාගමේ එන්ජින් කිහිපයක්ද අපේ දුම්රිය සේවයට එකතු වෙන්න නියමිත​ව තියෙනවා. ඉන්දියාවෙන් ගෙන් වූ බරසාර සාමාන්‍ය එන්ජින් වලට වඩා වැඩි දිග එම් 11 දුම්රිය එන්ජින් ආවා. ඒ දුම්රිය මෙතෙක් ලංකාවට ගෙන්වූ දුම්රිය අතර බලයෙන් වැඩිම එන්ජිම වුනා. මේ එන්ජිම ටොන් 120ක් තරම් අධික බරකින් යුක්ත නිසා අපේ ට්‍රැක් ටික එන්ජිමට හරියන්න නවීකරණය වෙන්න ඕනි කියලත් කතාවක් දෙපාර්​තමේන්තුව ඇතුලෙන්ම ඇවිල්ලා තිබුනා. කොහොම වුනත් යාල් දේවී සහ පුත්තලම් මාර්ගයේ ධාවන කටයුතු වලට දැනට ලංකාවේ තියෙන බලයෙන් වැඩිම මේ එම් 11 එන්ජිම දායක වෙලා තියෙනවා. 

 

4. ශ්‍රී දේවී දුම්රිය 

Image Source – slrailwayforum.com

එතෙක් වව්නියාවට විතරක් ගිය දුම්රියක් යන වෙලාවටම ඊට වඩා දිග අලුත් දුම්රියක් ආවා. ඒ අලුත් දුම්රිය ශ්‍රී දේවි කියලා හඳුන්වනවා. ඉන්දී​ය එස් 13 බලවේග කට්ටලයකින් ධාවනය වෙන ශ්‍රී දේවී කොටුවෙන් හවස 3.55ට පිටත්වෙනවා. ඒ දුම්රිය රාත්‍රී 10.16ට කන්කසන්තුරයට ලඟාවෙන්නට නියමිත​ව තියෙනවා. යාපනය සහ උතුරු පළාතේ යන උදවියට කොටුවෙන් හවස ගිහින් රෑ වෙන්න යාපනයට ලඟාවෙන මෙම කෝච්චිය වටිනවා. කොළඹට කාර්යාල වැඩක් කරගන්න ආපු උදවියට කලින් වැඩේ ගොඩදාගන්න හැකි වුනොත් එදාම හවස මේ කෝච්චියේ නැගලා ආයේ යාපනයට යන්න පුළුවන්. මේ දුම්රියේ ආසන වෙන් කරගන්න පහසුකමත් තියෙනවා. 

 

5. පුලතිසි දුම්රිය 

Train

Image Source – slrailwayforum.com

පොලොන්නරුවට දුම්රිය ස්ථානයක් තියෙනවාය, පොලොන්නරුවට කෝච්චියෙනුත් යන්න පුළුවන්ය කියලා නොදන්න පිරිසකුත් ලංකාවේ ඉන්නවා. මොකද පොලොන්නරුවට කියලා මී​ට කලින් කෝච්චි අමුතුවෙන් ගියේ නැහැ. මඩකලපු යන කෝච්චි තුනක් තමයි පොලොන්නරුවේ නතර කරගෙන ගියේ. දැන් එන අලුත් පුලතිසි ශීඝ්‍රගාමී දුම්රිය පොලොන්නරුවට විතරක්ම තමයි යන්නේ. සීමිත වූ ස්ථාන කිහිපයක විතරක් නවත්වන නගරාන්තර ශීඝ්‍රගාමී පුලතිසි දුම්රි​යේ ටිකැට් එක නම් ටිකක් විතර මිල වැඩියි. කොටුවෙන් හවස 3.05ට පිටත්වෙන පුලතිසි දුම්රිය පැය හයකින් විත​ර පොලොන්නරුවට ලඟාවෙන්නට නියමිතයි. ඒ වගේම පාන්දර තුනයි හතලිස් පහට තමයි පුලතිසි දුම්රිය පොලොන්නරුවෙන් එන්නේ. මේ දුම්රිය පොලොන්නරුවට ලඟාවෙන්නෙත් රෑ කාලයේ. ඒ වගේම පොලොන්නරුවෙන් පිටත්වෙන්නෙත් පාන්දරම. බස් වලින් දුරබැහැර සිට පො​ලොන්නරුවට එන මගීන් කියලා තිබුනේ මේ දෙගොඩහරි ජාමෙට එන යන දුම්රිය ඒ අයට නම් වැදගත් නැති බවක් තමයි. 

 

6. දක්ෂිණ ශීඝ්‍රගාමී දුම්රිය 

දකුණු රටේ උදවියටත් අලුතින් ඉන්ටර්සිටියක් ඕනි කියලා කාලයක් තිස්සේ සද්දේ තිබුනා. ඒත් දැන් ඉතින් රටට තියෙන දේශපාලන ග්‍රහචාරය අනුව පොලොන්නරුවට, කන්කසන්තුරයට, දකුණු රටට කලින් දුම්රිය එකතු වෙනවා. කොහොම වුනත් ගාලු කුමාරි දුම්රිය පිටත්වෙන හවස 2.30ට ආසන්න වෙලාවක පිටත්වීමට නියමිත මේ අලුත් දක්ෂිණ නගරාන්තර දුම්රිය එකතු වුනොත් දකුණු පළාතට එකතුවෙන පළමු නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රිය බවට එය පත් වෙනවා. කළුතර, පානදුර නවත්වන්නේ නැතුව බෙලිඅත්තට පැය හතර පහකින් ලඟාවෙන්න කාලසටහන් හදලා තියෙන අලුත් දක්ෂිණ ශීඝ්‍රගාමී දුම්රිය ල​ඟදීම දුම්රිය මාර්ගයට එකතු වේවි කියලා දුම්රිය ලෝලීන් බලාපොරොත්තු වෙනවා. 

 

7. උඩරටටත් හැඩකාරයෙක් 

උඩරට යන පොඩි මැණිකේ, උඩරට මැණිකේලට තවත් එක ශීඝ්‍රගාමී දුම්රියක් එකතු වෙන්නට සූදානමක් තියෙනවා. අලුතින් ගෙනාපු එස් 14 අපේ පාරට හරියනවද කියලා තාම ටෙස්ට් රන් දුවනවා. ඒ දුවලා ඉවර වුනාට පස්සේ උඩරට පාරට අලුත්ම පෙට්ටි එන්ජින් සහිත අලුත්ම සෙට් එකක් වැටෙයි කියලා දුම්රිය ගැන උනන්දු උදවිය කියනවා. ඇත්තටම අපිට මාසකෙට කලින් බුක් කරන්න ලැබුනත් බදුල්ලට කොටුවේ සිට ටිකට් බුක් කරගන්න එක කරන්න අමාරු වැඩක් නෙමෙයි, කරන්න බැරි වැඩක් වෙනවා සමහර සති අන්ත වලට එහෙම. ඉතින් ඒ විදිහට ඉල්ලුම තියෙන තැනකට අලුතින් දුම්රිය එකතු වීම විය යුතුම දෙයක්. 

 

අලුතින් ආපු සෙට් ගැන වගේම අලුතින් ආපු සහ එන්න තියෙන දුම්රිය ගැනත් අපි මේ හරහා පොඩි දැනුවත් කිරීමක් ඔයාලට කළා. දුම්රිය සේවාවට අලුතින් කට්ටල එකතු වුනාට සේවාවක් විදියට නම් තවමත් පසුගිය සියවසේ තියෙන අංශ ග​ණනාවක් තාමත් එහෙම්ම​ම තියෙනවා. දුම්රිය ටිකට් ලබා දීම ඔන්ලයින් සහ ඉලෙක්ට්‍රොනික මාධ්‍යයෙන් සිදුකිරීම, දුම්රිය ස්ථානවල පහසුකම් නවීකරණ​ය වගේම දුම්රිය සේවකයින් මගීන් කෙරෙහි දක්වන රළු අමු ගතිය ටිකක් අඩුකරන්නත් දුම්රිය සේවාවක් විදියට දියුණු කරන්න​ට ක​ළ යුතුම දේවල් වෙනවා. 

Cover Image Source – slrailwayforum.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *