පළවෙනි රාජසිංහ එහෙමත් නැත්නම් සීතාවක රාජසිංහ රජුව හැඳින්වෙන්නේ මේ ලක් පොළවෙන් බිහිවුණු විශිෂ්ටම රණශූරයෙක් හැටියටයි. ආසියානු බිමකදී පරංගින් ලැබූ දරුණුම පරාජයන් උරුම කර දෙමින් යුද ශක්තිය අතින් ඉතා බලවත්ව හිටපු රාජසිංහ රජතුමාගේ වීරත්වය ඔහුගේ සතුරන් පවා නොපැකිළිව පිළිගත්තා. නමුත් අවසානයේ ඔහුට මියයන්න වෙන්නේ සාමාන්‍ය උණ පඳුරක කටුවක් පාදයේ ඇනීමෙන්. මේ වගේ ශක්තිමත් පුද්ගලයෙක්ව මරු තුරුළට යවන්න උණ කටුවකට පුළුවන් වුණේ කොහොමද කියන එක අදටත් බොහෝ දෙනෙක්ට තියන ගැටළුවක්. ඒ ගැටළුවට පිළිතුරුත් බොහොමයක් තියනවා. මේ කියන්න යන්නෙ අන්න ඒ විදිහට සීතාවක රාජසිංහ රජුගේ මරණය සිදුවූ ආකාරය ගැන කියැවෙන අප්‍රකට සහ ප්‍රකට කතා ගැනයි.
1. බලන සටනින් ලද පරාජයත් සමග සිදු වූ දෛවෝපගත පසු බැසීම
සීතාවක රාජසිංහ රජුගේ මරණය සිද්ධ වුණේ ඔහුට වයස 59දී කියලයි පැරණි මූලාශ්‍රවල සඳහන් වෙන්නෙ. සමහර තැන් වලදි මේ වයස 58ක් හැටියටත් සඳහන් වෙනව. උඩරට රාජධානියේ පළමුවෙනි විමලධර්මසූරිය නමින් රජවුණු කොනප්පු බණ්ඩාරත් එක්ක සටනට රාජසිංහ රජතුමා පිටත් වෙනව. මේ දෙපිරිස අතර බලන ප්‍රදේශයේදි සටනක් ඇවිලෙනව. මේ සටනින් රාජසිංහ රජතුමාගේ හමුදාවට අත්වෙන්නෙ පරාජයක්. මේ පරාජයෙන් ශෝකයටත් ලැජ්ජාවටත් පත්වෙලා පසු බසිමින් හිටපු රාජසිංහ රජතුමාත් පිරිසත් පෙතංගොඩ උයනට ඇතුළු වෙනවා. මේ උයනේ අසු පිටින් ගමන් කරද්දි මඩ වගුරක් මග හරින්නට යන රජතුමා අසු පිටින් වැටෙනව. මේ වැටිල්ලෙදි රාජසිංහ රජතුමාගෙ මිරිවැඩි සඟලත් පසාරු කරගෙන යන්න ඇනෙන උණ පඳුරක කටුවක් නිසා රජතුමා දුර්වල වෙනව. නොබෝ දිනකින්ම ඔහු මිය යනව. ‘මන්දාරම්පුර පුවත’ නම් ඉතිහාස කාව්‍ය ග්‍රන්ථයේ සඳහන් වෙන මෙන්න මේ කතාව තමයි රාජසිංහ රජතුමාගේ මරණය ගැන වැඩිපුරම ප්‍රචලිත කතාව වෙන්නෙ.
2. පෙතංගොඩ උයනේ උණ පඳුරු ඒ තරම් නපුරුද?
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යටතේ අද වෙනකොට පවතින මේ පෙතංගොඩ උයනේ උණ පඳුරුවල ශේෂයන් අදටත් දැකගන්න පුළුවන්. මේ උණ පඳුරු ලංකාවෙ සාමාන්‍යයෙන් දකින්න ලැබෙන උණ පඳුරුවලට වඩා වෙනස් කටු සහිත පෙනුමක් තියන ඒවා වෙනව. මේවා දකුණු ඉන්දියාවෙන් මෙරටට ගෙන්නලා පෙතංගොඩ උයන අලින්ගෙන් ආරක්ෂා කරන්න තනල තියපු දිය අගල් වලට පිටතින් හිටවල තියනවා. කොහොම නමුත් මේ උණ පඳුරුවල කටු මාරාන්තික විෂය කියා නම් කිසිම තැනක සඳහන් වෙන්නේ නැහැ. එහෙනම් රජතුමා මරණයට පත් වුණේ කොහොමද?
3. නයෙක් දෂ්ට කළා යැයි දැක්වෙන මතය
රාජසිංහ රජතුමාගේ මරණය සම්බන්ධ එක් ප්‍රකට මතයක් වෙන්නේ මේ උණ පඳුරු අස්සේ ලැගුම් අරන් හිටපු විෂැති නාගයෙක් දෂ්ට කිරීමෙන් රජු මිය ගියාය කියන එකයි. රාජසිංහ රජු වගේ බලවන්තයෙක් නිකම්ම නිකම් උණ කටුවක් ඇනිලා මිය ගියාය කියන එක මදි පුංචිකමක් නිසා ජනතාව මේ නාග දෂ්ටනය ගැන කතාව ගොතන්න ඇතියි කියලත් මතයක් තියනවා. කොහොම වෙතත් ඒ කතාවට අනුව නාගයෙක් දෂ්ට කිරීමෙන් පස්සෙ එයට ප්‍රතිකාර කරන්නට සර්ප වෙදෙක්ව කැඳවලා තියනව. මේ වෙදා මහනුවර ප්‍රදේශයේ ඉඳන් එද්දි රජතුමා මරණයට පත්වෙලා අහවරයි කියලයි ඒ කතාවල සඳහන් වෙන්නෙ.
4. රජුගේ මරණයට හේතු වූවා යැයි කියන අසම්මත පෙම
සීතාවක රාජසිංහ රජු උණ කටුව ඇනීමෙන් සිදු වූ අනතුරෙන් මිය ගියා නොවේය, ඔහුව උපක්‍රමිකව මරණයට පත් කළාය කියන කතාවට හේතු සපයන්නේ එක්තරා පෙම් කතාවක්. මේ පෙම් කතාව ඇති වෙන්නේ රාජසිංහ රජතුමාගේ මුණුබුරෙක් වුණු රාජසූරිය කුමාරයා සහ රාජසිංහ රජතුමාට සේවය සපයපු දොඩම්පෙ ගණිතයා කියන යකැදුරාගේ දුවත් අතරයි. අතිශය සුන්දර රූප සම්පත්තියකට උරුමකම් කියපු මේ තරුණිය දවසක් දිය නාමින් ඉඳිද්දි රාජසිංහ රජතුමාගෙ දර්ශනයට ලක්වෙනව. වහාම ඇය කෙරෙහි හිත ඇදී ගිය රාජසිංහ රජතුමා කරන්නේ තමන්ගේ තනි කැමැත්තට ඇයව අන්ත:පුරය වෙත අරන් යන එක (මේ ගැන පරස්පර විරෝධී කථා තියනවා) රජතුමාට විරුද්ධ වෙන්න බැරි නිසා දොඩම්පේ ගණිතයත්, රජුගේ මුණුබුරා වන රාජසූරියත් ඉන්නේ වෛරයෙන්. මේ වෛරය නිසා ඔවුන් උපක්‍රමශීලීව රජතුමාගේ මරණයට හවුල් වෙන්න පස්සෙ කාලෙක තීරණය කළා කියල කියනව.
5. දොඩම්පෙ ගණිතයා සමගින් රාජසූරිය එක්ව සීතාවක රාජසිංහ ඝාතනය කිරීම
රාජසිංහ රජතුමාගේ මරණය සම්බන්ධ ආන්දෝලනාත්මකම මතයක් තමයි රජතුමා මියගියේ උණ කට්ටේ විසකට නෙමෙයි ය, උණ කටුවෙන් ඇති වුණු තුවාලයට විෂ බැඳීම මගින්ය කියන එක. මේ විෂ සකස් කර තිබෙන්නේ අශ්ව, ඇත්, ගව ආදී සතුන්ගේ මළපහ එකතු කොට තල තෙලෙන් කකාරවා තුවාළයට බැඳීමෙනුයි. මීට අමතරව දක්ෂ මන්ත්‍රකරුවෙක් වුණු දොඩම්පෙ ගණිතයා රජතුමාගේ තුවාළයේ විෂ ඉවත් කරන මුවාවෙන් වෙනත් හූනියම් බන්ධනයක් කරපු බවටත් ජනප්‍රවාද වල සඳහන් වෙනවා. ගැට හැත්ත ප්‍රදේශයට නම් වැටුණේ ගණිතයා ජප කරපු නූලේ හැත්තෑ වෙනි ගැටය දැමූ තැන හින්ද කියලත් කියනවා. රජතුමාට විෂ බැඳීමේ පාප කාර්යයට හවුල් වෙච්ච පේදුරු සිංඤෝ නැමති ක්‍රිස්තියානි වෛද්‍ය සහායකයා පස්සෙ කාලෙක මේ ගැන පාපොච්ඡාරණයක් කළ බවටත් කරුණු සඳහන් වෙනවා. රාජකීය වෛද්‍යවරයෙක් වුණු ශෙලේන්ද්‍රසිංහ නම් පුද්ගලයෙක් විසින් ලියන ලද පුස්කොළ සටහනකට අනුව උණකටුව ඇනීමෙන් පසු රජතුමා පහළ කළ රෝග ලක්ෂණ පිටගැස්ම රෝගයට සමාන බවට ඔහු සටහන් කරල තියනව.
6. මරණය සිදු වුණායයි කියන වෙනත් ආකාර
රාජසිංහ රජතුමාගේ මරණය සිද්ධ වුණ හැටි ගැන තවත් මතවාද තියනවා. ඉන් එකකට අනුව රජතුමා අසාධ්‍ය බවට පත්වෙන්නේ උණකටුව ඇනීමෙන් නෙමෙයි, රාජසූරිය විසින් යොදවපු පිරිසක් රජුගේ පාදයට පහර දීල තුවාල කිරීම නිසා කියලා කියනව. ඒ වගේම ඕලන්ද ජාතික බල්දියෙස්ගේ සටහනකට අනුව කියැවෙන්නේ විමරධර්මසූරිය අතින් ලබපු පරාජයෙන් කම්පාවට පත් වෙච්ච රජතුමා උණ කටුවකින් තමන්ටම ඇණගෙන ප්‍රතිකාර ප්‍රතික්ෂේප කරලා මියගියා කියලයි.
7. මරණීය ලක්ෂණ පහළ කරමින් මරණයට ළඟාවීම
උණ කටුව ඇණීමෙන් පස්සේ රාජසිංහ රජතුමා මරණයට පත්වෙන්නෙ දවස් 4ක් විතර ඉක්ම ගිය තැනයි. මේ කාලය ඇතුළත රජතුමාගේ ශරීරයේ සිදුවූ වෙනස්කම් ගැන ශෙලේන්ද්‍රසිංහගේ පුස්කොළ සටහනේ දැක්වෙන්නේ මේ විදිහටයි.
- පැය 32ක් පමණ ගතවුණ තැනදී රජතුමා සෙම් රෝගී තත්ත්වයකින් සහ ගැහෙන උණකින් යුක්තව වකුටු වී වැතිර සිටීම.
- පැය 48ක් ගිය තැනදී අප්‍රාණික ස්වභාවයක් පෙන්නුම් කිරීම.
- පැය 61ක් ගිය තැන හම කිරිමැටි මෙන් සුදුමැලි වී ගැලවී යන්නට පටන් ගැනීම.
- පැය 84දී හිස් කබලට අධික ලෙස දහඩිය දැමීම.
- පැය 88ක් ගිය තැනදී සන්නියෙන් මරණයට පත් වීම.
මේ ආකාරයේ රෝග ලක්ෂණ පිටගැස්ම රෝගයට සමාන බවට පසුකාලීනව සිදුකරපු වෛද්‍ය පරීක්ෂණ වලිනුත් අනාවරණය වෙලා තියනව.
8. මරණයෙන් පසු
සීතාවක රාජසිංහ රජතුමාගෙ මරණයෙන් පස්සේ රජු බවට පත්වෙන්න රාජසූරිය කුමාරයා සමත් වෙනව. නමුත් ඔහුට රජකම දරන්න ලැබෙන්නෙ අවුරුද්දක් වගේ ඉතා කෙටි කලක් විතරයි. මනම්පිටිය මොහොට්ටි, රාජසිංහ රජතුමාගේ සොයුරියක වන මත්තමගොඩ බිසවත් එක්ක එකතු වෙලා කුමන්ත්‍රණය කරලා රාජසූරියව මරා දමනවා. දොඩම්පෙ ගණිතයා බියෙන් පලා ගිහින් සැඟවෙනවා. මත්තෙමගොඩ බිසවගෙ මුණුබුරෙක් වුණු පස් හැවිරිදි නිකපිටියෙ බණ්ඩාර ඊළඟට රජකමට පත්වෙනවා.
Leave a Reply