කොස් ගහ බත් ගහ උනා වගේ ම තමයි පොල් ගහත් කප්රුකක්. කෑම හදද්දී පොල් කිරි ඕනෑ වෙනවනේ. ඉතින් මෙච්චර කාලයක් පොල් මිරිකලා ඉතිරිවන කුඩ්ඩ විසි කරා නම් අද ඉඳන් ඒ ක්‍රමේ වෙනස් කරමු. අන්තිම අඩිය වෙනකන් ම කප්රුක එලව එලවා තමයි දේවල් දෙන්නේ.
1. පොල් පිටි සාදා ගැනීමට
පාන් පිටිවලට හුරු වුණ ජීවිතෙන් මිදෙන්න පොල් පිටි කියන්නේ හොඳ වික්ල්පයක්. ශරීරයේ ඇති අනවශ්‍ය බර අඩු කරගන්න හිතාන ඉන්න අයට පොල් පිටිවලින් හදපු ආහාර ගන්න එක හොඳයි කියලා කියනවා. පොල් පිටි හදාගන්න හරිම ලේසියි. පොල් කුඩු අරගෙන කබලේ බැදලා අව්වේ වේලලා කුඩු කරගන්න තමයි තියෙන්නේ. පොල් පිටිවලින් සාදාගන්න රසවත් ආහාරයක් තමයි රොටී. එහෙමයි කියලා පොල් පිටිවලින් හදන රොටියට ආය පොල් එකතු කරන්න යනවා එහෙම නෙවෙයි.
2. තෙල් හින්දවා ගැනීමට
පොල් පිටි හදාගන්න පොල් කුඩු වේලගත්තා වගේ ම හොඳින් වේලුණාට පස්සේ පොල් කුඩු මෝලකට ගෙනිහින් දුන්නා ම තෙල් කරවලා දෙනවා. හැබැයි ඉතින් මේවා ආහාරයට ඒ තරම් සුදුසු නෑ. පහන්වලට තෙල් දාන්න වගේ භාවිත කරන්න පුළුවන්. නමුත් තෙල් ගන්නවා කියලා සෑහෙන ලෝඩ් එකක් එකතු වෙනකන් ඉන්න හොඳ නෑ. පරක්කු වෙන්න වෙන්න තෙල් හින්දවන්න පුළුවන් හැකියාව අඩු වෙනවා. අන්න ඒ නිසා කිලෝ එකක් විතර ප්‍රමාණයක් එනකන් ඉන්න.
3. වියළි සමට
අපේ ආච්චිලෑ කාලේ ඉතින් රූපේ පවත්වා ගන්න පාවිච්චි කරපු ආලේපයක් තමයි පොල් කුඩු. පොල් කුඩු ඇඟේ අතුල්ලා ගැනීමෙන් ඇත්තට ම වෙන්නේ වියලුණ සමට පණක් දෙන එක. ඒක හරියට මොයිස්චරයිසින් ක්‍රීම් එකක් ගානවා වගේ තමයි. සම නැවුම් ගතියකින් තියෙන නිසා සුමුදු තරුණ පෙනුමකුත් ලබා දෙනවා.
4. පොළව මැදීමට
මේ පොල් කුඩුවලින් පොළව මැදීමේ කලාව ඉස්සර නම් සෑහෙන වුණා. මගුල් ගෙදරක් මළ ගෙයක් සැට් වුණා ම පොල් කුඩු මළු පුරවලා ගේන්නේ පොළව මදින්න. හැබැයි කාලයත් එක්ක එතනින් මිදිලා එක එක පොලිෂ්වලින් සෑහීමට පත් වෙන්න කට්ටිය තීරණය කරා. හැබැයි කරනවා නම් අදටත් සුපිරි ම වැඩක් මේක. ගාණත් ඉතුරුයි.
5. අත්කම් නිර්මාණ සඳහා
ඉස්සෙල්ලා ම පොල්කුඩුවල මේ අංශය ගැන තේරෙන්නේ ඉස්කෝලේ කාලේ දී. එක එක නිර්මාණවලට පොල් කුඩු වේලලා ගෙනල්ලා ඒවා පාට කරලා හෙන සෙල්ලමක් දානවා. එතනින් පටන් ගත්තු ඒ වැඩේ මහා පරිමාණ අත්කම් නිර්මාණ දක්වා අරගෙන ගිහින් යහමින් මුදල් උපයන්නත් පුළුවන්.
6. සත්ත්ව ආහාරයක් ලෙස
ගෙදර හරක් ඇති කරනවා නම් (මේ මොහොතේ මේ ලිපිය කියවන ඔබට කළ අපහාසයක් නම් නෙවෙයි) උන්ට පොල් කුඩු කියන්නේ රසවත් ආහාරයක්. රහ විතරක් නෙවෙයි ප්රෝටීනත් අඩංගුයි. විශාල ගව පට්ටිවල මහා පරිමාණ වශයෙන් මේ පොල් කුඩු භෝජනය සිද්ධ කෙරෙනවා. මේ ආශ්රයෙන් සත්ත්ව ආහාර පවා නිෂ්පාදනය කරන්න සමහරු පෙළඹිලා.
7. කොම්පෝස්ට් පොහොර සැකසීම
කුඩා මල්පැලවලට දාන්න කොම්පෝස්ට් පොහොර සකස් කරගන්නවා නම් අනිත් අඩුමකුඩුම එක්ක පොල් කුඩු ටිකකුත් එක් කරන්න.
Leave a Reply