වාහනේට ඉන්ෂුවරන්ස් ක්ලේම් එකක් පහසුවෙන් ගන්න ටිප්ස් 7ක්

අද අපි කල්පනා කළා ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් ගැන කතා කරන්න. අපි දැකල තියෙනවා ගොඩක් ගෘප්ස් වල, පේජ් වල වගේම කතාබහේදීත් ගොඩක් දෙනෙක් ඉන්ෂුවරන්ස් කොම්පැනි වලට දෙස් දෙවොල් තියනවා. ​ඒකට හේතුව හොයාගෙන ගියාම පේන්නේ ඉන්ෂුවරන්ස් ක්ලේම් එකක් නිසා ඇති වෙච්ච ප්‍රශ්නයක් විදිහට. ඒත් කොච්චර බැන්නත් ගොඩක් දෙනෙක් තවමත් ෆුල් ඉන්ෂුවරන්ස් දාන්නේ ඇයි කියලත් සමහර වෙලාවට හිතෙනවා. ඉතින් කාගේත් දැනගැනීමට කියන්නේ 2010 අවුරුද්දේ මේ ඔක්කොම ඉන්ෂුවරන්ස් කොම්පැණි එකතු වෙලා වාහන ක්ලේම්ස් විදිහට විතරක් රුපියල් බිලියන දොළහකට පොඩ්ඩක් අඩුවෙන් (11,785,172,000) ගෙවල තියෙනවා. ඉතින් ඔච්චර ගෙවලත් ඇයි මෙච්චර බනින්නේ? කොයි හැටි උනත් අපිට හිතෙන දේ තමයි ක්ලේම් එකක් ගන්න අමාරු වෙන්නෙ සහ ගන්න බැරි වෙන්නෙ යම් තාක් දුරට තමන්ගේම යම් යම් අඩුපාඩු නිසා කියල. ඉතින් අන්න ඒ අඩුපාඩු නොවී ක්ලේම් එකක් ලේසියෙන් ගන්න ටිප්ස් හතක් ගැනයි අද කතාව. ආහ්, ඊට කලින් කියන්න ඕනෙ අපි මේ කතා කරන්නේ රථවාහන රක්ෂණය සම්බන්ධව විතරයි හොඳේ.

 

 

1. ඉන්ෂුවරන්ස් දාන වෙලාවේ කරන වැරදි

මෙතැනදී තමයි ගොඩක් අයගෙන් සිද්දවෙන ලොකුම වැරදි සිද්දවෙන්නේ. ඉන්ෂුවරන්ස් එකක් දානවා කියන එක ටිකක් මිල අධික දෙයක් තමයි. ඒත් එහෙමයි කියල ඉන්ෂුවරන්ස් කරද්දී ඉන්ෂුවරන්ස් එකේ ගා​ණ නෙමෙයි වැදගත්ම දේ කියල තේරුම් ගන්න. හොඳ වාහනයක් ගන්න කොච්චර මහන්සි උනාද, එතරම්ම වාහනේට ඉන්ෂුවරන්ස් එකක් ගනිද්දී ඒ ගැන වැදගත්කමක් හිතට අරන් මහන්සි වෙලා තමන්ට ගැලපෙනම තැනකින් ගැලපෙනම විදිහේ ඉන්ෂුවරන්ස් එකක් දාගන්න උත්සාහ කරන්න. උදාහරණයක් විදිහට කිව්වොත්, හිතන්නකෝ එක ඉන්ෂුවරන්ස් කොම්පැනියක් තියෙනවා හයර් කරන වාහන වල පාර්ට්ස් හොරකම් කිරීම් වලට ක්ලේම් ගෙවන්නේ නැති, එත් ප්‍රිමියම් එක ගොඩක් අඩු. එතකොට ඔයාගේ තියෙන්නේ හයර් කරන වාහනයක් නම් කොච්චර ප්‍රිමියම් එක අඩු උනත් ඒ වගේ ඉන්ෂුවරන්ස් එකක දාල වැඩක් තියෙනවද? නැහැනේ. අන්න ඒ වගේ තමන්ගේ වාහනේට සහ තමන්ට හරියටම ගැලපෙන එකක් තමයි කරගන්න ඕනෙ. ඒකට ගොඩක් හොයල බලන්න වෙනවා. ගොඩක් අය හොයල බලනවා කියල කරන්නේ ගිහින් කෝටේෂන් එකක් ඉල්ලන් ඇවිත් ඔක්කොම එකට තියල බලල ගා​ණ අඩුම එක තෝරාගන්න එක. එක ​නෙමෙයි වෙන්න ඕනෙ. කොන්දේසි, නීති රීති, අතීත වාර්තා එකී මෙකී නොකී හැම දේම හොයල බලන්න ඕනෙ දාන්න කලින්.

 

 

2. ක්ලේම් කරන විදිහ සම්බන්​ධ වැරදි

මේකත් ගොඩක් අය කරන වැරද්දක්. ඒ කියන්නේ ඉන්ෂුවරන්ස් කොම්පැනියෙන් කොම්පැනියට ක්ලේම් කරන විදිහ වෙනස්. ඒ කියන්නේ සමහර ඒවායේ ක්ලේම් කරන්න තියෙන්නේ ඇප් එකක් හරහා. සමහර ඒවායේ හොට්ලයින් නම්බර් එකකට කතා කරලා. සමහර ඒවායේ ඔය මුකුත් නෑ, බ්‍රාන්ච් එකකට යන්න ඕනෙ. ඉතින් කලින් තමුන් හිටපු කොම්පැනියේ විදිහට තමයි මෙහෙත් කියල හිතන් ඉඳල වැඩේ දෙල් කරගත්ත කට්ටිය ගොඩක් අපි දැකල තියෙනවා. ඒ හින්ද ඉන්ෂුවරන්ස් එක දාන වෙලාවේදීම ක්ලේම් කරන විදිහ සහසුද්දෙන්ම අහගන්න. මොකද ඉන්ෂුවරන්ස් එකක් දාන්නේ පොලිසියට පෙන්නන්න විතරක් නෙමෙයි නිසා. 

 

 

3. නීතිය සම්බන්ධ නොදැනුවත්කම

ඇක්සිඩන්ට් එකක් කියන්නේ සුළුවෙන් තකන්න පුළුවන් කියල හිතන් හිටියට හැම වෙලේම එහෙම නෑ. සරලවම කිව්වොත් වාහන වලට වෙනම නීතියක් තියෙනවා. ඒ නීතියේ ලිඛිත ලියවිල්ල තමයි මෝටර් රථ (සංශෝධන) පනත කියන්නේ. ඉතින් ඒකෙ විදිහට පාරේ සිද්දවෙන සියළුම අනතුරු  ලඟම පොලිස් ස්ථානයට වාර්තා ක​ළ යුතුයි. ඉතින් ඉන්ෂුවරන්ස් කොම්පැනි සමහර වෙලාවට පොලිස් වාර්තා එහෙම ඉල්ලන්නේ අන්න ඒ නීතිය නිසා. ඒත් හැම එකටම ඉල්ලන්නේ නෑ. විශේෂ සිද්ධියක් නම් තමයි එහෙම ඉල්ලන්නේ. ඒ නිසා ඒ වෙලාවට ඒ ගැන බොරුවට කෑ ගහල තේරුමක් නෑ. පොලිස් වාර්තාවක් දෙන්නම අමාරු නම් දෙන්න අමාරු හේතුව එහෙම සඳහන් කරලා තමන් කොච්චර ඒ ඉන්ෂුවරන්ස් කොම්පැනියට වැදගත් පරිභෝගිකයෙක්ද කියන එක ඒත්තු යන විදිහට ලියුමක් ඉදිරිපත් කළා නම් බොහෝ දුරට ඒ අවශ්‍යතාවයෙන් නිදහස් වෙන්න පුළුවන් වෙයි. 

 

 

4. අවශ්‍ය ලිපිලේඛන සම්බන්ධ අඩුපාඩුකම්

මේකත් ගොඩක් අයගෙන් වෙන අඩුපාඩුවක්. වාහන අනතුරක් උනාම ​ඒක ඉන්ෂුවරන්ස් එකෙන් ක්ලේම් කරන්න යද්දී යම් යම් ලියකියවිලි ඕන වෙනවා. ඒවා බාරදෙන්න යම් යම් කාලසීමාවන් එහෙමත් දාල තියෙනවා. ඉතින් ඒ අවශ්‍ය ලියකියවිලි ඒ අදා​ළ කාලසීමාව ඇතුලේ බාරදෙන එක රක්ෂිතයාගේ වගකීම. ඉතින් එහෙම බාරදෙන්න අපහසුනම් ඒ අපහසුතාවය සඳහන් කරලා ලිපියක් මාර්ගයෙන් අදා​ළ කාලසීමාවන් දිගු කරගන්න පුළුවන්. ඉතින් එහෙම නැතුව තමන්ගේ අඩුපාඩුකම් තියෙද්දී බොරුවට ඉන්ෂුවරන්ස් කොම්පැනි වලට සද්දේ දාල තේරුමක් නෑ.ඒවා කතා බහ කරලා විසඳගන්න පුළුවන් දේවල්. ඉතින් ඇක්සිඩන්ට් එකක් උනාම ටිකක් තමනුත් නම්‍යශීලි වෙන්න. ලිපිලේඛන පුළුවන්තරම් ඉක්මනින් බාරදෙන්න.

 

 

5. ගරාජ් එක තෝරාගැනීම

සමහර ගරාජ් තියෙනවා ඒගොල්ලෝ දන්නවා ඉන්ෂුවරන්ස් වලින් වැඩ කරගන්න ගා​ණට. ඒ කියන්නේ එයාලට හැම ඉන්ෂුවරන්ස් එකක් එක්කම පොඩි පොඩි කනෙක්ෂන් තියෙනවා. ඒ නිසා කස්ටමර්ම හැම දේටම ගරාජ් එකටයි ඉන්ෂුවරන්ස් එකටයි දුවන්න ඕනෙ නෑ. ඒත් සමහර ගරාජ් වල ඔය මොනවත් නෑ. එයාල එයාලගේ ගා​ණ දුන්නොත් හදල දෙනවා. ඉන් එහාට මොනවත් නෑ. ඉතින් එහෙම ගරාජ් එකකට දැම්මොත් ඔයාට ගොඩක් මහන්සි වෙන්න වෙයි ක්ලේම් එකක් ගන්න යද්දී. ඉතින් ඒ නිසා වාහනේ දාන්න කලින් ටිකක් හොයල බලන්න එයාල ඉන්ෂුවරන්ස් එක එක්ක අදා​ළ වැඩ ටික කරගන්නවද කියල. ඒ​කෙම අනිත් පැත්ත තමයි සමහර ගරාජ් තියෙනවා රට කාලා වතුර බීපු. ඉතින් ඔයා නොදැනුවත්වම රෙපෙයාර් එකේදී පාර්ට්ස් අලුතින් දානවා වෙනුවට පරණ කෑලිම රෙපෙයාර් කරලා දාල තියෙන්න පුළුවන්. එතකොට හදල ඉන්ෂුවරන්ස් එකට පෙන්නද්දී ඒවා පරණ කෑලි කියල අහු වෙන්න පුළුවන්. එතකොට ඉතින් ක්ලේම් එක එතනම ඉවරයි. ඒ නිසා ඒ වගේ හොර ගරාජ් නැතුව හොඳ තැනකට වාහනේ දාන්න.

 

 

6. නියෝජිතයෝ

තමන්ගේ ඉන්ෂුවරන්ස් එක සම්බන්ධව හොඳ නියෝජිතයෙක් (Agent/ Advisor) ඉන්නවා කියන්නෙත් ක්ලේම් එකක් ලේසියෙන් ගන්න පුළුවන් වෙනවා කියන එක. ඉතින් තමන් දන්න කියන කෙනෙක්ගේ හෝ ඥාතියෙක් ගෙ හොඳ ඒජන්ට් කෙනෙක් ඉන්නවා නම් ඒ වගේ කෙනෙක් වැඩේට හොඳයි. හැම ඉන්ෂුවරන්ස් එකකම ඉන්නවා ගොඩක් හොඳට වැඩ කරන, කොම්පැනි එකේ ඉහ​ළම ඉන්න ඒජන්ට්ල. අන්න ඒ වගේ කෙනෙක් ඔයාගේ ඉන්ෂුවරන්ස් එක කරනවා කියන්නේ එය ඔයාගේ ක්ලේම් එක සම්බන්​ධයෙන් ලොකු බලපෑමක් අදා​ළ කොම්පැනියට කරනවා. ඒ නිසා වැඩේ ගොඩක් ඉක්මන් වෙනවා.

 

 

7. (අ)වංකභාවය

ඔය මොන දේ හරියට ක​ළත් වැඩක් නෑ මේක අවුල් නම්. ඒ කියන්නේ අනතුර හෝ වන්දි ඉල්ලන කාරණාව සත්‍ය වශයෙන්ම සිද්ද වෙච්ච දෙයක් නෙමෙයි නම් වන්දි ඉල්ලීමක් කරලා තේරුමක් නෑ. හොරට ක්ලේම් ගන්න අය ඉන්න පුළුවන්. ඒත් තමන් සහ තමන්ගේ හිත දන්නවා ඇත්ත. අනික තමන් ගමන් බිමන් යන වාහනේ දාල හොර වැඩ කරනවා කියන්නේ ඉතින් කතා කරලා වැඩක් නෑ. කොහොම උනත් ඕන ඔය හේතුව නිසාත් ක්ලේම් රිජෙක්ට් වෙනවා. ඇත්ත සිද්ධිය නොකිය වෙන වෙන දේවල් කියන්න ගියාම අන්තිමට කොහෙන්හරි අහු වෙනවා.  ඒ වෙලාවට ඉතින් කොම්පැනි වල නම් පේජ් වලයි ගෘප් වලයි දාගෙන නහින්න හදනවා. ඒ නිසා සිද්ධිය වෙච්ච විදිහටම ඉන්ෂුවරන්ස් එකට කියන්න. නැත්නම් පස්සේ පසුතැවෙන්න වෙයි.