ස්ලොත් මොකද මෙච්චර ස්ලෝ වෙලා තියෙන්නේ?

ස්ලොත් ස්වභාවිකව ජීවත් වෙන්නේ කොස්ටරීකා රට වගේ දකුණු සහ මධ්‍යම අමරිකානු රටවල. මේ සතා හැසිරෙන විදිහ කොයිතරම් මන්දගාමීද කියනවා නම් ඌ හැරෙන පෙරලෙන එක ඉරියවුවක් බලාගන්න මිනිස්සුන්ට ඌ දිහා ගොඩක් වෙලා බලා​ගෙන ඉන්න වෙනවා. ඒ නැතත් කූඩු වල ඇතිකරන ස්ලොත් ලා දවසින් වැඩි කාලයක් නිදාගන්න නිසා ස්ලොත් සතුන් හැරෙනවා පෙරලෙනවා බලාගන්න එක සත්තු වත්තකට ගියත් ටිකක් අමාරුයි. මේ සතුන් මොකද මේ මෙච්චර ස්ලෝ වුනේ කියන එක ගැන කට්ටියට හො​ඳ උනන්දුවක් තියෙනවා. හරියටම මේ නිසයි මූ ස්ලෝ වුනේ කියන්න කාටවත් බැහැ. ඒත් ​ඌ ස්ලෝ වෙන්න හේතු එකෙන් එක පරිසර විද්‍යාඥයින් විසින් ඉදිරිපත් කරලා තියෙනවා.

 

1. ස්ලොත් ගේ වාර්තාගත ස්ලෝ එක

ස්ලොත් කියන්නේ වාර්තාගත ස්ලෝ එකක් ඇති සතෙක්. ස්ලොත් ගේ ස්ලෝ එක සූටෝපියා කාටුන් එකත් සමග ලොවපුරා ජනප්‍රිය වුණා. ඇත්තටම ඇත්ත ස්ලොත් කියන සතාත් එවැනි ම වූ දැඩි මන්දගාමී ස්වරූපයකින් වැඩ කරන සතෙක්. ස්ලොත් සතා දවසක​ට මීටර 38කට අඩු දුරක් තමයි ගමන් කරන්නේ. නිතරම තුරු මුදුන් වලට වී ඉන්​න ස්ලොත්, කො​ළ ආහාරයට ගන්නවා. තමුන් අවට තිබෙන කො​ළ ජාති පමණක් ආහාරයට ගන්නා ස්ලොත් ශක්තිය ආරක්ෂා කරගෙන සෙමෙන් ජීවත් වීම ස​ඳහා ජීවමාන උදාහරණයක් විදිහ​ට විද්‍යාඥයෝ සලකනවා.

 

2. අඩුවෙන් ලැබෙන ශක්තිය පිරිමසාගැනීම

ඉන්ධන අඩුවෙමින් යනවිට ආසන්නයේ ශෙඩ් එකක් නොමැති නම් කාර් එක මධ්‍ය වේගයකින් වායුසමන ආදිය නැතිව ධාවනය කිරීම සාමාන්‍ය සිරිතයි. එසේම ස්ලොත්ද ඌට ලැබෙන කැලරි ප්‍රමාණය අඩු ආහාර වේල නිසා ස්ලෝ එකේම වැඩ කිරීමට පෙළඹි සිටිනවා. ආහාර විදිහ​ට කො​ළ පමණක් ආහාරයට ගන්නා වඳුරන්, ගවයින් වැනි සතුන් කො​ළ වලට අමතරව වෙනත් ශක්ති ජනනය කරගත හැකි ආහාරද ඉ​ඳහිට ලබා ගන්නවා. ඒ වගේම ඒ වෙනත් ශාක භක්ෂකයින්ට විවිධ ආකාරයේ කො​ළ ජාතිද නිතරම ලැබෙන​ව. එහෙත් ස්ලොත්ට බොහෝවිට හමුවන්නේ එකම වර්ගයක කො​ළ ජාති පමණයි. එම නිසා ස්ලොත්ට දිනකට ලැබෙන කැලරි ප්‍රමාණය අඩුයි. එබැවින් ස්ලොත් වැඩිපුර ද​ඟලලා, උඩපැනලා මහන්සි නොවී, සිටින ඉරියව්වෙන්ම වැඩි කාලයක් ගතකිරීමට පුරුදු වෙලා ඉන්නවා.

 

3. වාර්තාගත නින්ද

ඇතිකරන ස්ලොත් සතෙක් සාමාන්‍යයෙන් පැ​ය 16ක් පමණ නිදාගන්නා බව පැවසෙනවා. මේ වර්ගයේ සතුන්ගෙන් වැඩිම කාලයක් නිදාගන්නා සතා ලෙස ස්ලොත් සතා වාර්තා වලට එකතු වෙලා ඉන්නවා. එහෙත් වනගත ස්ලොත් සතුන් නිදාගන්නේ පැය 10කපමණ කාලයක් බව ජර්මානු විද්‍යාඥයින් පිරිසක් විසින් සොයාගෙන තියෙනවා. ඇතිකරන ස්ලොත් සතුන්ට කෑම නිතරම සපයනවා. ඉතින් උන් “තවත් මොන එහෙකට අපි ඇහැරිල ඉන්නවාද?” කියලා හිත​ල වැඩියෙන් නිදනවා ඇති.

 

4. සතුරො අඩුයි

මීයන් වගේ සතුන් ගතතොත් නිතරම උන් දුවනවා, පනිනවා, හැංගෙනවා. මොකද මීයන් වගේ සතුන්ට විලෝපිකයින් හෙවත් උන්ව අල්ලාගෙන කන්න බලාගෙන ඉන්න සතුන් වැඩියි. ස්ලොත් සතා ස්ලෝ වැඩි නිසාම උගේ රෝම තට්ටුව පෙ​ළක් වෙලාවට පාසි පෙ​ඳ වලින් කොළ පාටට වැහෙනවා. එතකොට හැංගිලා ඉන්න ලේසියි. කොළ පාට ගස් උඩ නොපෙනී ඉන්න ස්ලොත් ට, ස්ලොත් ඉන්න පරිසරයේදී එහෙමට කියලා සතුරන් නැහැ. කලාතුරකින් වගේ සතුරෙක් හිටියත් ඒ වගේ අවස්ථාවල ස්ලොත්ට පහරදෙන්න ශක්තිමත් අතක් තියෙනවා. මේ අත් වල වුල්වරීන්ට වගේ දිග නියපොතුත් තියෙනවා. බාහුබලයෙන් මිනිහාටත් වඩා සවිමත් ස්ලොත්ගේ කකුල් දෙක නම් එච්චර ශක්තිමත් නැහැ.

 

5. ඉපැරණි යුගයේදී ස්ලොත්

මට වසර එකොලොස් දාහකට විතර ඉස්සර පෘථිවියේ ජීවීන් විදියට තිබුන ගහකොළ, සතා සීපාවා ඔක්කොම වගේ ලොකු දේවල් වුනා. ඒ කාලේ පෘථිවියේ තිබුන පෝ​ෂ පදාර්​ථ වැඩි වීම නිසා ඒ යුගේදි හැදුන ගහකො​ළ වගේම සතුනුත් විසාල වුනා. ඒ කාලේ මේ ස්ලොත් සතෙක් ටොන් කිහිපයක බරින් යුක්ත වෙන්න ඇතිය කියලා විද්‍යාඥයෝ විශ්වාස කරනවා.

 

6. නිවර්​තන දේශගුණය

නිවර්තන කලාපය වසරේ හැම කාලෙකදිම හො​ඳ උෂ්ණත්වයකින් යුක්ත වෙනවා. ඒ නිසා ශීත කාලයේදී සිරුර උණුසුම්ව තබාගන්න වැඩි මහන්සියක් නිවර්​තන සතුන්ට උවමනා කරන්නේ නැහැ. ස්ලොත් සතාත් නිවර්​තන පරිසරය තමයි සිය වාසය විදියට තෝරාගෙන තියෙන්නේ. කොස්ටරීකා සහ අප්‍රිකාවේ ස්ලොත් ඉන්න පළාතුත් කඳුකරයේ සීතල නැති බොහොම සෞම්‍ය තත්ත්වයේ නිවර්​තන වනාන්තර කලාප වෙනවා. ස්ලොත් කියන්නේ චලතාපී සතෙක්. ඒ කියන්නේ පරිසර උෂ්ණත්වය අනුව උන්ගේ සිරුරේ උෂ්ණත්වය වෙනස් වෙනවා.

 

7. තවත් දේ

ස්ලොත් ගේ ලෝම වල තියෙන පෙ​ඳ පාසි වැස්ම ඌ නිතරම ලෙවකනවා. ඒ නිසා ඒ වැස්ම කාලයක් යද්දි සවිමත් වෙලා වැස්සෙන් ඌව ආරක්ෂා කරනවා. පරිසර උෂ්ණත්වය අනුව සිරුරේ උෂ්​ණත්වය වෙනස් වෙන නිසා ස්ලොත් පාන්දර ජාමේදී ගස් උඩට නැගලා දවල් ​වෙන්න හිමිහිට පහ​ළට බහිනවා. කොහොම වුනත් කෑම හොදහැටි තියෙනවා නම් මහන්සි නොවී එකතැනකට වෙලා පාඩුවේ ඉන්න පුළුවන් කියන එකට ජීවමාන උදාහරණයක් විදියට ස්ලොත් සලකන්න පුළුවන්. ස්ලෝ වීම ලෙඩක් නෙමෙයි, ස්ටයිල් එකක් කරගත්ත ස්ලොත් ඇත්තටම සුන්දර ජීවියෙක්.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *