කලා නිර්මාණවල රඟපාපු දේශපාලනඥයෝ

නළු නිළියන්ගෙයි දේශපාලනඥයන්ගෙයි ගොඩාක් සමානකම් තියනවා. දෙගොල්ලොම වේදිකාවක රඟ පානවා. ඒ වගේම දෙගොල්ලොම ගැලරියෙන් විසිල් බලාපොරොත්තු වෙනවා. හැබැයි දේශපාලනඥයන්ගේ රඟපෑම් තාවකාලිකයි. ජනතාවට තේරුනොත් මේගොල්ලෝ රඟපෑමක් විතරයි කියලා කරන්නේ ඊළඟ වතාවෙ වේදිකාවෙන් ඉවතට යන්න එයාලට සිද්ධ වෙනවා. ඒත් නළු නිළියන්ට හරියට රඟපාන කල් වේදිකාවේ රැඳී ඉන්න අවස්ථාව ලැබෙනවා. අද අපි කතා කරන්න යන්නේ අපේ රටේ දේශපාලනඥයෝ රංගනයට පිවිසිච්ච අවස්ථා අවස්ථා කීපයක් ගැන. එහෙනම් වැඩි කතා බහක් නැතුව මේ අයව හඳුනා කියා ගමු.

 

1. මහින්ද රාජපක්ෂ 

මේ තමයි දේශපාලනඥයින් අතරින් රංගනයට පිවිසිලා පස්සෙ කාලෙක ලංකාවේ  ඉහළම තනතුරට ගිය දෙවෙනි පුද්ගලයා (පළවෙනියා කවුද කියලා මේ ආටිකල් එකේම තියෙනවා). මෙතුමාව රංගනයට යොමු කර ගන්නෙත් සුවිශේෂී පුද්ගලයෙක්. ඒ තමයි සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා මහතා. එවකට නියෝජ්‍ය කතා නායක තනතුර දරාපු ගාමිණී ෆොන්සේකා මහත්මයා තමන්ගේ “නොමියන මිනිස්සු”  චිත්‍රපටියේ ජනරාල්වරයෙකුගේ චරිතය නිරූපණය කරන්න කෙනෙක්ව හොය හොය හිටියා. දවසක් පාර්ලිමේන්තුවේ සභාවාරයකදී  මහින්ද රාජපක්ෂ මහතා මුලසුනට ආචාර කරලා පාර්ලිමේන්තුවෙන් ඉවත්ව යන ආකාරය දකින ගාමිණී ෆොන්සේකා මහත්මයාට තමන් හොයපු නළුවා මහින්ද රාජපක්ෂ කියලා ඒ මොහොතේම වැටහුණා. මේ තමයි මහින්ද රාජපක්ෂ මහතාගේ පළමු රංගනය. ඊට පස්සේ එතුමා බැද්දෙ සෙනෙහස ටෙලිනාට්‍යයේ ගමරාළ කෙනෙකුගේ චරිතයකුත්, උදාගිර ටෙලි නාට්‍යයේ දේශපාලනඥයකුගේ චරිතයත් රඟපෑවා.

 

2. ජේ. ආර් ජයවර්ධන

වතාවක් ජේ. ආර් ජයවර්ධන මහත්මයා ඇමරිකානු ජනාධිපති රොනල්ඩ් රේගන් මහතාව මුණ ගැහුනම මෙන්න මෙහෙම කියලා තියෙනවා. 

“බොහෝ දෙනෙක් නළුවෙක් ජනාධිපති වුණු පළවෙනි අවස්ථාව විදිහට ඔබ ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති වීම සැලකුවත් ඇත්තටම බැලුවොත් මම තමයි රටක ජනාධිපති වෙච්ච පළවෙනි නළුවා”. 

ජේ. ආර් ජයවර්ධන මහත්මයා කියලා තියෙන විදිහට ඒක වෙන්නේ මෙහෙමයි. ජේ. ආර් ජයවර්ධන මහත්මයා තරුණ කාලේ “සමාජ සේවකයා” නමින් ගුවන්විදුලි නාට්‍යයක් රචනා කරලා තියෙනවා. මේ ගුවන් විදුලි නාට්‍යයට ජයවර්ධන මහත්මයා වගේම එතුමා ගේ බිරිඳ වුණු එලීනා ජයවර්ධන මහත්මියත් ඔහුගේ මිතුරෙකු වුණු මහාචාර්ය ගුණපාල මලලසේකර මහත්​මයාත් රංගනයෙන් දායක වෙලා තියෙනවා. මුදලිඳු ඊ. ඒ අබේසේකර නිෂ්පාදනය කරපු මේ ගුවන්විදුලි නාට්‍යය 1939 මාර්තු 29 දා රේඩියෝ සිලෝන් හරහා විකාශය වෙලා තියෙනවා.

 

3. ආචාර්‍ය එන්. එම් පෙරේරා 

ලංකාවේ පළවෙනි කතානාද චිත්‍රපටය විදිහට සැලකෙන්නේ කඩවුණු පොරොන්දුව. ඒ කඩවුණු පොරොන්දුව තිරගත වෙන්න බොහෝ කාලයකට කලින්, ඒ කියන්නේ 1925 දී ලංකාවේ පළවෙනි කතානාද චිත්‍රපටය නිෂ්පාදනය වුණා. මේ චිත්‍රපට​යේ නම වුණේ “ශාන්තා හෙවත් රාජකීය වික්‍රමය” .ආචාර්ය එන්. එම් පෙරේරා තමයි මෙහි ප්‍රධාන චරිතය වුණු රාජ කුමාරයාගේ චරිතය රඟපෑවේ. මේ රඟපෑම වෙනුවෙන් රුපියල් සීයක මුදලක් එතුමාට ගෙවලා තියෙනවා. නමුත් අවාසනාවකට වගේ මේ චිත්‍රපටයේ රීල් එක අභිරහස් ගින්නකින් විනාශ වීම හින්දා ලංකාවේ අයට කවදාවත් බලාගන්න නම් හම්බ වෙලා නෑ. මේ බලාපොරොත්තු කඩවීම හින්දමද මන්දා ආචාර්ය එන්. එම් පෙරේරා ඉන්පසුව කිසිම රංගනයක යෙදිලා නෑ.

 

4. සුජීව සේනසිංහ 

දේශපාලනය හින්දා නිතරම විවේචනයට ලක් වුණත් සුජීව සේනසිංහ කියන්නේ අපේ රටේ ඉන්න දේශපාලනඥයින් අතරින් කඩවසම්ම පුද්ගලයෙක් කියන එක අපිට පිළිගන්න වෙනවා. මේ කඩවසම් දේශපාලනඥයා අපිට මේ වෙනකොට එකම එක චිත්‍රපටයකින් මුණ ගැහිලා තියෙනවා. ඒ සුමිත්‍රා පීරිස් මහත්මිය අධ්‍යක්ෂණය කළ “යහළුවෝ” චිත්‍රපටය. මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කළේ සුජීව සේනසිංහ මහත්මයාගේ අයියා වුණු දොස්තර නාමල් සේනසිංහ. ඒ චිත්‍රපටයට අදාළ කටයුතු කතා කර ගන්න ලෙස්ටර් සුමිත්‍රා යුවළ මුණගැසෙන්න ගිය සුජීව සේනසිංහව දැකපු ගමන් මේ චිත්‍රපටයට සම්බන්ධ වෙන්න කියලා ඔවුන්ගෙන් ඉල්ලීමක් ලැබෙනවා. තමන් කිසිදිනෙක රඟපා නැති බව කියන සුජීව එම අවස්ථාවේ එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළත් පසුව ඔවුන්ට එකඟ වෙනවා.

 

5. මර්වින් සිල්වා 

මේ දවස්වල මර්වින් සිල්වා මහත්මයාගේ නම සහ දුටුගැමුණු කියන නම නිතරම එකට කියවෙනවා. “වීර දුටුගැමුණු” කියන සංවිධානය හරහා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා  කියලා මර්වින් සිල්වා මහත්මයා කරපු ප්‍රකාශය මීට හේතු වෙලා තියෙනවා. ඇත්තටම “සුරංගනා ලොවින්” කියන ළමා චිත්‍රපටය වෙනුවෙන් මර්වින් සිල්වා මහත්මයා දුටුගැමුණු චරිතය රඟපාලා තියෙනවා. මීට අමතරව ඉදිරියට එන්න නියමිත “දොස්තර හොඳ හිත” චිත්‍රපටියේ “චව් චව්” ගේ චරිතයත් එතුමා නිරූපණය කරන්න නියමිතයිලු. හැබැයි බොහෝ දෙනෙක් නොදන්නවා වුණාට එතුමා “ලව් ඉන් බැන්කොක්” චිත්‍රපටියෙන් තමයි මුල් වරට රංගනයට පිවිසිලා තියෙන්නේ, ඒ ගරු රඟපෑමක් විදිහට.

 

6. ටී. බී ඒකනායක 

පාසල් කාලයේ ඉඳන්ම වේදිකා නාට්‍ය නිෂ්පාදනය කරමින් සහ රඟපාමින් සුළු සුළු කලා කටයුතු වලට දායක වුණු ටී. බී ඒකනායක මහත්මයා යුගවිලක්කුව ටෙලි නාට්‍යය නිෂ්පාදනය කරලා ජාතික තලයේ කලාකරුවෙක් බවට පත්වෙනවා. නමුත් කලාව සඳහා ඔහුට වැඩි අවධානයක් යොමු කරන්න අපහසු වෙන්නේ දේශපාලනයත් එක්ක ඔහු කාර්යබහුල වීම නිසා. නමුත් ඉඩ ලද හැම විටෙකදිම රඟපෑම අමතක කරන්නේ නැති ඒකනායක මහත්තයා මේ වෙන කොට කටුඉඹුල, මහතලා හටන, සරදියෙල්, පබා වගේ ටෙලිනාට්‍ය කිහිපයකම රඟපාලා තියෙනවා.

 

7. හිරුණිකා ප්‍රේමචන්ද්‍ර

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සිනමාවට අත්පොත තැබුවේ පහු ගිය අවුරුද්දේ. සිරස ෆිල්ම්ස් මගින් නිෂ්පාදනය කරපු “උදුම්බරා” චිත්‍රපටයේ ක්‍රීඩා උපදේශිකාවකගේ චරිතය රඟපාමින්. තමන්ට චිත්‍රපට සදහා විවිධ ආරාධනා ලැබුණත් දේශපාලනය කරන කෙනෙක් විදිහට මේ චරිත ගැන සෑහීමකට පත් වෙන්න බැරි නිසා තමන් ඒවා ප්‍රතික්ෂේප කළත්, උදුම්බරා චිත්‍රපටයේ පිටපත කියවීමෙන් පස්සේ තමන් ඒ චරිතය නිරූපණය කරන්න තීරණය කළ බවත්  හිරුණිකා මහත්මිය කියලා තිබ්බා.ඒ වගේම ජැක්සන් ඇන්තනි වගේ ප්‍රවී​ණයෙක් සමග එක එක තව වැඩ කරන්න ලැබීමත් තමන්ට ලැබුණු සුවිශේෂී අවස්ථාවක් කියලා උදුම්බරා ගැන කතා කරද්දි හිරුණිකා මහත්මිය කියනවා.

 

එහෙමනම් ඉතින් මේ අයගේ රඟපෑම් ගැන ඔබට තියෙන අදහස්  කමෙන්ට් තීරුවේ සඳහන් කරන ගමන් අනිත් අය වෙනුවෙන් වෙනුවෙන් මේ ආර්ටිකල් එක ෂෙයාර් කරගෙනත් යන්න.